Bollywood | Page 2 | සිළුමිණ

Bollywood

මැර ප්‍රහාරයෙන්මැර ප්‍රහාරයෙන් පද්මාවතී නවතී

ඉන්දීය ජාතික සිනමා සම්මානයෙන් කිහිප වතාවක්ම පුද ලද සන්ජේ ලීලා බන්සාලිට තමන්ගේ අලුත්ම කෘතිය වන ‘පද්මාවතී’ චිත්‍රපටය නිර්මාණය කිරීමේ නිදහස අද අහිමි වෙලා. ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වන ශ්‍රී රාජ්පුට් කර්නි සේනා සංවිධානයේ දැඩි ප්‍රහාර සහ තර්ජන එල්ල වීම නිසයි ඔහුට එවැනි අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවී ඇත්තේ.

ජායිපූර්හිදී පසුගියදා මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙද්දී කඩා වැදුණු ශ්‍රී රාජ්පුට් කර්නි සේනාහි සාමාජික පිරිසක් එම දර්ශන තලයට පහර දී විනාශ කර තිබෙනවා. කර්නි සේනා සංවිධානය පවසන්නේ ඓතිහාසික කතාවක් රැගත් ‘පද්මාවතී’ චිත්‍රපටයට පසුබිම් වූ කතා පුවත බන්සාලි විසින් විකෘති කර ඇති බවයි.

ඉන්දීය පුරාවෘත්තයක සඳහන් රානි පද්මිණි නම්වූ රූමත් රැජනක සහ දිල්ලියෙහි සුල්තාන්වරයකු වූ අලවුද්දීන් ඛිල්ජි කේන්ද්‍ර කරගත් කතාවක් ‘පද්මාවතී’ චිත්‍රපටයට පසුබිම් වී තිබෙනවා. මෙවාර් ප්‍රදේශයේ පාලකයා වූ රානා රවාල් රතන් සිංගේ බිරිය වූ රානි පද්මිණී රැජන පැහැර ගැනීමක් මේ කතාවෙහි සඳහන් වෙනවා. ප්‍රවීණ සිනමාකරු බන්සාලි ප්‍රතිනිර්මාණය කරන මේ කතාව මුසු වූ ‘පද්මාවතී’ චිත්‍රපටයෙහි රානි පද්මාවතී ලෙස හඳුන්වා දී ඇත්තේ රානි පද්මිණි රැජන යැයි පැවසෙනවා. ඇය සහ අලවුද්දීන් ඛිල්ජි අතර ඇතිවන ප්‍රේමය මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නටයි බන්සාලි උත්සාහ කළේ. ඒ බව හැඟවීමට ඔවුන් දෙදෙනාගේ පෙම් ජවනිකා රැගත් ගීතමය දර්ශනයක් රූගත කරද්දීයි කර්නි සේනා සංවිධානයේ ප්‍රහාරය එල්ල වුණා.

මේ දර්ශනවල රඟපෑමට නියමිතව සිටියේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන රන්වීර් සිං සහ දීපිකා පදුකෝන්.

ප්‍රහාරයෙන් පසුව බන්සාලි තීරණය කළේ කර්නි සේනා සංවිධානය සමඟ සාකච්ඡා කරන්නටයි. ඒ අනුව සිදුවූ කතාබහේදී බන්සාලිත් කර්නි සේනා අතරත් එකඟත්වයක් ඇතිවුණා. බන්සාලි, කර්නි සේනාවෙහි ඉල්ලීම්වලට කන් දුන්නා. අලවුද්දීන් ඛිල්ජි සහ රානි පද්මාවතී චරිත දෙක ප්‍රේම ජවනිකා නිරූපණය නොකිරීම කර්නි සේනා සංවිධානයේ ප්‍රධාන ඉල්ලීමයි. එවැනි අදහසක් මතු කරන ගීතමය ජවනිකාවක් හෝ සිහිනයක් රැගත් අවස්ථාවක් හෝ නිරූපණය නොකළ යුතු යැයි ද තම සංවිධානයේ ලිඛිත එකඟතාවක් ලැබෙන තුරු චිත්‍රපටයේ රූගත කිරීම් නැවත ඇරැඹීමෙන් වැළකී සිටිය යුතු යැයි ද ඔවුන්ගේ තවත් ඉල්ලීම් දෙකක්. ප්‍රවීණ සිනමාකරු බන්සාලි, මේ ඉල්ලීම්වලට එකඟ වී ඇතැයි බොලිවුඩ් ආරංචිවල සටහන් වී තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ‘පද්මාවතී’ යන නාමය වෙනස් කිරීමටත් ඔහුට සිදුවී ඇතැයි තවත් ආරංචියක් පවසනවා.

‘සංගීත පුටු තරගයේ’ ජයග්‍රාහිකාව

   

  බොලිවුඩ් පුරයේ ‘සංගීත පුටු තරගයක්’ පසුගිය සති දෙක තුනේදී තිබුණාලු. චිත්‍රපටයක් වෙනුවෙන් මේ තරගය පැවැත්වුණා ය කියලයි ඒ දෙස බලා සිටි අය කියන්නේ. මේ සංගීත පුටු තරගය පැවැත්වී ඇත්තේ ‘ලක්නව් සෙන්ට්‍රල්’ නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නට අවස්ථාව ලබා ගැනීමටයි.

මේ තරගයේ තරගකාරියන් වුණේ නවක නිළියන් තුන්දෙනෙක්. ඒ අය තමයි, ක්‍රිටි සැනොන්, සයාමි ඛෙයර් සහ ඩයනා පෙන්ටි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නවක සිනමාකරුවකු වන රන්ජිට් තිවාරි. නිෂ්පාදකවරයා, නිඛිල් අද්වානි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා නම් තෝරාගෙන අවසන්. ඔහු තමයි, ෆර්හාන් අක්තාර්. මේ කඩවසම් නළුවා සමඟ රඟපෑමට පැවැත්වුණු ‘සංගීත පුටු තරගයෙන් ජය ලැබුණේ නවක නිළි ඩයනා පෙන්ටිටයි. ඒ අවස්ථාව ඇයට උදාවුණේ ක්‍රිටි සැනොන්ට මේ චිත්‍රපටයේ රඟපෑමට දින නොමැති වීමත්, සයාමි ඛෙයර්ට වඩා ඩයනා මේ චිත්‍රපටයේ චරිතයට වඩාත් ගැළපීම නිසයි. ඩයනාට නිරූපණය කරන්නට ලැබුණේ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියකගේ චරිතයක්.

මේ වන විට 31 වැනි වියෙහි පසුවන ඩයනා උපත ලැබුවේ පාර්සි ජාතික පවුලකයි. ඇය ඉන්දියාවේ ශාන්ත ක්ෂේවියර් උසස් අධ්‍යාපන ආයතනයෙන් ජනමාධ්‍ය උපාධියක් ලැබූ යුවතියක්. 2012 දී තිරගත වූ ‘කොක්ටේල්’ චිත්‍රපටයට ඇගේ මුල්ම රංගනය මුසු වුණා. ඉන් පසුව ඇය රඟපෑවේ ගිය වසරේදී තිරගත වූ ‘හැපි භාග් ජායෙගි’ චිත්‍රපටයේ.

ශ්‍රීදේවි දියණියගේ පෙම් කතාව

සිනමාවෙන්, රූපවාහිනියෙන් පමණක් නොවෙයි, අද කාලයේ පරිගණකයෙනුත් තරුවක් වෙන්න ඕනැම කෙනකුට පුළුවන්. සමාජ වෙබ් අඩවිවලින් තමයි තරුවක් වීමේ ඉඩකඩ තිබෙන්නේ.

ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ වැඩිමල් දියණිය ජාන්වි, තරුවක් බවට පත්වුණේ සමාජ වෙබ් අඩවිවල ඇගේ පින්තූර හුවමාරු වූ නිසයි. ඒ ජනප්‍රියත්වයත් සමඟම ඇය බොලිවුඩ් සිනමාවට පා තැබුවා. ඇය රඟන මුල්ම චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්ෂ කරන් ජොහාර්ගේ නිර්මාණයකැයි දැන් තහවුරු වෙලා. ඒ චිත්‍රපටයේ රඟන්නට ඇගේ පියා (බොනී කපුර්) ගෙන් අවසරය ඇයට ලැබී ඇති බවත් ආරංචියි.

බොනී සහ ශ්‍රීදේවිගේ දියණිය වූ නිසා ජාන්විව කවුරුත් හඳුනනවා. වෙබ් අඩවි ඔස්සේ නානාප්‍රකාර තොරතුරු පළ වීම නිසා තවත් ජනප්‍රිය වූ ජාන්වි රූබර යුවතියක්. ඇගේ සම වයසේ තරුණයන් වෙතින් මේ වන විට ඇයට ආදර ඇරයුම් ලැබෙමින් පවතින බවයි ආරංචි. කවුරුත් ඇගෙන් ආදරය පැතුවත්, ඇගේ සිත තුළ සිතුවම් වූ රුවක් තිබෙනවාලු. තතු දන්නා අය පවසන්නේ ජාන්විගේ හදවතට සමීපව සිටින්නේ ශිඛාර් පහරියා නම්වූ තරුණයකු බවයි. ශිඛාර්, මීට පෙර සාරා අලි ඛාන් සමඟ පෙමින් බැඳී සිටි බවත් පැවසෙනවා. ජාන්විගේ පෙම්වතාට ඇගේ දෙමවුපියන්ගේ එකඟත්වය ලැබී ඇති බවත් පසුගියදා ඔහු චිත්‍රපටයක මංගල දර්ශනයක් නරඹන්නට කපූර් පවුල සමඟ එක්වූ බවත් ආරංචියි.

Comments