සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

එතකොට ඒ කවුද?

රජිතාගේ සැමියා කොළඹින් බැහැර රාජකාරියක් සඳහා ගියේ පුරා සතියකින් පසුව, ආපසු එන බව ඇය හට දන්වමිනි. තමා හට නියමිත වූ රාජකාරිය දින පහකින් අවසන් වූයෙන් හේ පස්වැනි දින රාත්‍රියේ කොළඹට ළඟා විය. කල් ඇතිව, නොසිතූ මොහොතක තම බිරිය ඉදිරියේ පෙනී සිට ඇය මවිත කිරීමට සිතූ හේ ශබ්ද නොනඟා ගේට්ටුවෙන් වත්තට පැන තමා අත වූ යතුරෙන් හෙමින් සීරුවේ නිවසේ දොර හැර විදුලි පහන් නොදල්වාම තමා නිදන කාමරයට ගොස් එහි විදුලි පහන දැල්වීය. ඒ වෙලේ රජිතා කවුදෝ නාඳුනන මිනිසකු සමඟ තම යහනේ නිදා සිටිනු දුටු ඔහුට ඉහිලුම් නැති විය.

‘කවුද මේ?’ යක්ෂාවේෂ වූ සැමියා ඇසුවේ ලයිට් එළියට ඇහැරී, දෑස් දල්වා බලා, තම සැමියා දැක කලබල වී ඇ‍ඳෙන් බසින තම බිරිය දවා හළු කරන බැල්මක් හෙළමිනි. තම සැමියාගේ රුදුරු ඉරියව්වෙන් බියපත්ව ආපසු ඇඳ දෙසට හැරුණු රජිතා තතනමින් මෙසේ ඇසුවාය.

‘එතකොට මේ ඔයා නෙමෙයි ද?’

එතකොට වෙන්ඩ ඇති 

‘අනේ බලපංකො මාගරට් අපේ මහත්තයා දැන් හීනෙන් ඇවිදින්ඩ පටන් අරගෙනනෙ.’ තම මෙහෙකාරිය තමා වෙත පිරිනැමු තේ කෝප්පය අතට ගත් ඩල්සි පැවසුවේ කනස්සලු මුහුණක් පෙන්වමිනි.

‘හැබෑද නෝනා! එහෙනං ඒ විදියට හීනෙන් ඇවිදගෙන යනකොට වෙන්ඩ ඇති ඊයෙ රෑ දෙගොඩ හරියෙ මහත්තයා මං නිදා ඉන්න කාමරේටත් ආවෙ.’ මාගරට් කීවේ යමක් වැටහුණාක් මෙන් හිස වනමිනි.

ඒවා මදෑ

‘ඔයා යටතේ තියෙන ආයතනවලින්, මුදල් වංචා කරලා, ඒ ආයතනවලට බොහොම ලොකු හානි කරලයි කියල ඔය එක එකා කියන ඒවට පරල වෙලා. එහෙම සතයක්වත් හම්බ කළැයි කියල ඔප්පු කළොත් ඔයා ඉල්ලා අස්වෙනවයි කියල ඇයි අනේ ප්‍රසිද්ධියෙම කිව්වෙ.’ ඇමැතිවරයාගේ බිරිය ඇසුවේ කාර්යාලයේ සිට පැමිණ තම කාමරයේ ඇඳුම් මාරු කරමින් සිටි සැමියා දෙස බලමිනි.

‘මගේ අභියෝගෙ භාර අරගෙන කවුරුහරි එකෙක් ඉදිරිපත් වෙලා ඒක ඔප්පු කළයි කියමුකො. එහෙම දෙයක් වුණත් ඒක අපිට දැනෙනවද හාමිනේ? ඔය කියන විදියටම මම හම්බ කරපුවා තව ආත්ම දෙක තුනකට වුණත් අපිට සෑහෙනවනෙ.’ ඇමැතිවරයා පිළිතුරු දෙමින් කීවේ ය.

භාගයක් මරන්නෙ කොහොම ද?

පැය කීපයක් තිස්සේ කාර්යාලයේ ලිපිගොනු අතර හිරවී සිටි ගුණතිලක ඉන් පිටතට විත් ඒ අසල තිබූ හෝටලයට ගොඩවැදුණේ තද කුසගින්නක් දැනුණු බැවිනි.

‘ළමයා බැදපු කුකුළෙකුගෙන් භාගයක් එක්ක බත් ගේනවා.’ හේ වේටරයකු කැඳවා කෑම ඇණවුම්කොට අතකට සෝදා ගෙනැවිත් බලා සිටියේය. විනාඩි පහළොවකට ආසන්න කාලයක් ගතවුණ ද කෑම ගෙනන පාටක් නොවූයෙන් නොඉවසිලිමත් වූ ගුණතිලක වේටර් හට කතාකොට උස් හඬින් මෙසේ විමසුවේ තරමක කෝපයකිනි.

‘අයිසෙ දැන් මම කෑම ඕඩර් කරලා කොච්චර වෙලා ගියා ද? ඇයි තවම පරක්කු?’

‘පොඩ්ඩක් ඉවසන්ඩ සර්. බත් නම් ලැහැස්තියි. ඒත් තව කවුරුහරි කුකුළෙකුගෙන් භාගයක් ඕඩර් කරනකං සර්ට පොඩ්ඩක් ඉවසන්ඩ වෙනවා. අපිට කුකුළෙකුගෙන් භාගයක් මරලා බඳින්ඩ බැහැනෙ.’ වේටර් කීවේ ය.

අම්මාට තියෙන රුදාව මොකද්ද?

ලංකාවේ උසස් බාලිකා විද්‍යාලයකට ඇතුළත් කළ ද සෙල්ලක්කාර ගතිපැවතුම් හේතුවෙන් නිසි අධ්‍යාපනයක් නොලැබූ තම දියණිය විදෙස් පාසලකට යවන්නට කටයුතු කළ සුමනා තම දියණිය දෙස බලා, බැරැරුම් හඬින් මෙසේ කීවා ය.

‘දුව හොඳට මතක තියාගනිං. කිසිම හේතුවක් හින්දා තමන් පදිංචි කාමරේට පිරිමියෙක් වැද්ද ගන්නවා එහෙම නෙමෙයි, තේරුණා ද? දරුවෙක් එහෙම කළොත් ඒක දරා ගන්ඩ බැරුව ඒ අම්මා පැළිලා මැරෙයි.’

දියණිය විදෙස්ගතවී මාස කීපයක ඇවෑමෙන් දිනක් සුමනා තම දියණිය නැවතී සිටි කාමරයේ දුරකතනයට ඇමතුමක් ගත්ත ද එය දිගටම නාද වූවා මිස එයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත. පැයකට පමණ පසු නැවතත් දියණියට කතා කිරීමට ඇය උත්සාහ කළ ද එය නිරර්ථක විය. තවත් පැයකට පසු තෙවැනි වරටත් සුමනා දුරකථන ඇමතුමක් ගනිද්දී දුරකථනයේ අනෙක් පසින් නැඟුණේ දියණියගේ කටහඬය.

‘කොහෙද දුව මෙච්චර වෙලා හිටියේ. දැන් ඔයාට පන්ති ඉවර වෙලා පැය තුනකටත් වැඩියි නේද?’ මව ඇසුවේ කේන්තිය යටපත් කරගනිමිනි.

‘අම්මාම නේද මට කිව්වේ කිසිම පිරිමියෙක් මගෙ කාමරේට වැද්ද ගන්ඩ එපා කියල? ඉතින් මම අද මගේ පන්තියේ යාළු පිරිමි ළමයෙකුගෙ කාමරේට ගියා. ඉතින් ඒක දැනගත්තොත් පපුව පැළිලා මැරෙන්නේ එයාගෙ අම්මනෙ. ඉතින් අම්මට තියෙන රුදාව මොකද්ද?’ දියණිය සැහැල්ලු ස්වරයකින් ඇසුවාය.

 

Comments