
‘රේඛාව’ සිංහල සිනමාවේ විප්ලවයක් හෝ කැරැල්ලක් නොවූවත් එය සිනමා ඉතිහාසය වෙනස් කළ පැහැදිලි කඩඉම් රේඛාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ‘රේඛාව’ තිරගත වන්ට පූර්වයෙන් වූ සිනමාව වැරැදි සම්ප්‍රදායයන් දෙකක සංකලනයෙන් පිරිහී තිබුණා. එකක් ටීටර් නාට්‍ය සම්ප්‍රදාය. අනික දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට සම්ප්‍රදාය. මිනිසුන්ගේ සැබෑ ජීවිතයත් රිදී තිරයේ ඔවුන් දුටු ජීවිතයත් අතර බරපතළ වෙනස්කම් දක්නට ලැබුණා. එය තනිකරම අභව්‍ය සිදුවීම්වලින් ගහන අතිශය ව්‍යාජ වූත් සාමාන්‍ය භාවාතිෂය වූත් මනෝරූපිත ලෝකයක්. ‘රේඛාව’ ඒ සිනමාව පිටු දකිමින් යථාර්ථවාදී සිනමා රීතියකට පළමු පුරෝගාමී පියවර තැබුවා.
‘රේඛාවේ’ ආවේ ශාස්ත්‍රයක් මඟින් කියැවෙන අනාවැකියක් හා මිථ්‍යා විශ්වාසයක් බවට පත්ව ගැමි සමාජය තුළ කැලඹීමක් හටගත් කතා පුවතක්. චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය වන්නේ කුඩා දරුවන් දෙදෙනා. ඒ සේන හා අනුලා. කුඩා දරුවන් ප්‍රධාන චරිත රඟපෑවත් මෙය ළමා චිත්‍රපටයක් නොවේ. (කුඩා දරුවන් රඟපෑ පමණින් කිසියම් චිත්‍රපටයක් ළමා චිත්‍රපටයක් වන්නේ නැහැ) චිත්‍රපටය රූපගත කළ අවස්ථාවේත් එය රූපගත කළ ගමේ මිථ්‍යා විශ්වාස පැවතුණා. ගම පුරා බෝවෙන රෝගයක් පැතිර ගියෙන් ගම්මුන් විශ්වාස කළේ කොළඹ සිට චිත්‍රපට කණ්ඩායම පැමිණීම නිසා එය සිදුවූ බවයි.
පූර්ව ‘රේඛාව’ යුගයේ චිත්‍රපටවල බෙහෙවින් ම දක්නට ලැබුණේ පොතේ භාෂාවෙන් ලියැවුණ දෙබස් ‘රේඛාවේ’ ප්‍රථම වතාවට ස්වාභාවික දෙබස් භාවිතා කෙරුණි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා දෙබස් රචනා කළ අතර ඩී.ආර්. නානායක්කාර හා එන්.ආර්. ඩයස් දර්ශන තලයේදී ඒ ඒ අවස්ථාවන්ට අවශ්‍ය වූ අතිරේක දෙබස් ලිව්වා.”
චිත්‍රපටයේ එන නිමල්ගේ හා ප්‍රේමාගේ ආදර අන්දරය හා ඔවුන්ගේ විවාහය චිත්‍රපටයේ මූලික කතාවට අවශ්‍ය වන්නක් නොවේ. එය පොදුජන රුචිකත්වය සැලකිල්ලට ගෙන එකතු කළ ජවනිකා පෙළක් වූයේ යැයි මා සිතනවා.
ගමේ පාරම්පරික සංස්කෘතික ලක්ෂණ ‘රේඛාවෙන්’ දේශීයත්වය මැවීම සඳහා ඉතාම සූක්ෂ්ම යොදාගෙන තිබෙනවා. තොවිලය, රූකඩ නැටුම, ජාතික ඇඳුම, ඔරු පැදීම, ගොන් කරත්තය, ගොයම් කැපීම, පැදුරු විවීම, අලි නෑවීම, රබන් ගැසීම ඊට හොඳ නිදර්ශන.
‘රේඛාව’ මුළුමනින් ම එළිමහනේ රූපගත කළ සිනමා පටයක්. එහි එකම චිත්‍රාගාර දර්ශනයක්වත් නැහැ. චිත්‍රපටයේ එක් තැනක අභ්‍යන්තර දර්ශනයක් තිබෙනවා. (සූටිං සොරාගත් අබරණ පොඩි මහත්තයාට පෙන්වන අවස්ථාව) වහලක් නැති බිත්ති පමණක් ඇති නිවසක් සොයාගන්ට ලැබීමෙන් වහලට උඩින් සුදු රෙද්දක් අතුරා එයින් පෙරී එන ස්වභාවික ඉරු එළියෙන් ඒ අභ්‍යන්තර ජවනිකාව රූපගත කර තිබෙනවා.
‘රේඛාවේ’ එතෙක් සිංහල චිත්‍රපටවල දක්නට නොලැබුණු එසේ ම සිනමාරූපී අවස්ථා කීපයක් ම තිබෙනවා. අනුලාගේ ඇස් නොපෙනී ක්ලාන්ත වන තැන, අවමඟුල් පෙරහර, අවසානයේ තොවිල් පළෙන් පලාගොස් සේන වැස්සේ තෙමී දුවන ජවනිකාව විශිෂ්ට සිනමානුරූපී රූප මාලා පෙළක්.
‘රේඛාව’ විචාරයට ලක් කළ පිලිප් කුරේ මේ චිත්‍රපටයේ ඇතැම් ජවනිකා රොබට් ප්ලැහාර්ට්ගේ චිත්‍රපට සිහියට නංවන සුලු යැයි කියා තිබෙනවා. එය ගහ කොළ විචාරාත්මක නිරීක්ෂණයක්. ප්ලැහාර්ට්ගේ ‘ඉසියානා ස්ටෝරි’ චිත්‍රපටයේ කුඩා ළමයා කුඩා ගඟක පාරුවක නැඟී යන රූප සරණියේ වියළි ගස් කොළවලින් යුතු පරිසරය විදහා දැක්වෙන ආකාරය මෙවර ‘රේඛාව’ බලද්දී මටත් මතක් වුණා. ලෙස්ටර් එංගලන්තයේ සිටියදී නියමිත වශයෙන් ම මේ චිත්‍රපටය දකින්ට ඇතැයි මා සිතනවා.
චිත්‍රපටයේ රංගනය ද පැසසුම් කටයුතුයි. එහිදී ලෙස්ටර්ගේ ලොකුම ජයග්‍රහණය වන්නේ ඩී.ආර්. නානායක්කාර, එන්.ආර්. ඩයස් වැනි පීටර් නළුවන්ගෙන් හා වින්සන්ට් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ වැනි ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නළු නිළියන්ගෙන් එක සමාන රංග ප්‍රතිභාවත් උකහා ගන්ට සමත්වීමයි. විශේෂයෙන් ඩී.ආර්. ගේ රංගනය උත්කෘෂ්ඨයි. අපේ නළු නිළියකගෙනුත් කිසිදු ආධුනික බවක් පෙන්නේ නැහැ. ඒ ලෙස්ටර්ගේ අද්විතීය අධ්‍යක්ෂණය නිසා.
සිංහල චිත්‍රපටයක ප්‍රථම වතාවට ද්වි සිනමානුරූපී සංගීතයක් ඇසුවේ ‘රේඛාවෙන්’. එහි ගෞරවය හිමිවන්නේ තනු නිර්මාණය කළ සුනිල් ශාන්තටවත් සංගීත සංයෝජනය කළ බී.ඇස්. පෙරේරාටවත් නොව ඊට පසුබිම් සංගීතය සැපයූ කේ.ඒ. දයාරත්නට. ඔහු සිතාරය උපයෝගී කරගෙන සේන මුදල් පසුම්බිය රැගෙන දුවන තැන. අනුලා ක්ලාන්ත වී ඇද වැටෙන තැන. අනුලාට පෙනුම ලැබෙන තැන, අවමඟුල් පෙරහර, අවසාන ජවනිකාව අපූර්ව ලෙස සංගීතවත් කර ඒ ඒ අවස්ථා මනාව කුළු ගන්වා තිබෙනවා.
‘රේඛාව’ ඉංග්‍රීසියෙන් හැඳින්වූයේ ‘THE LINE OF DESTINY’ යනුවෙන් ඇත්තටම අවුරුදු 60 කට පසු ආපසු හැරිලා බලන කොට ‘රේඛාව’ සිංහල සිනමාවේ ඉරණම දැක්වුණු චිත්‍රපටයක් වූ බව ඉඳුරා පැහැදිලියි.
සුනිල් මිහිදුකුල