
මේ දිනවල පවතින වියළි කාලගුණය නිසා බොහෝ ගස්වැල්වලට උදාවී ඇත්තේ අහිතකර තත්ත්වයක්. එහෙත් මෙවැනි වියළි කාලගුණයකදී සමහර ගස් වර්ග මලින් පලින් පිරී යනු දැකිය හැකියි.
ගෘහිණියන් ලෙස ඔබ එවැනි අවස්ථාවලදී තරමක් ඥානාන්විත වුවහොත් පවුලේ අයට කෑම මේසයේදී වෙනස්ම ආකාරයේ රසවත් අත්දැකීමක් ලබා දෙන්නට හැකි වනවා.
සාමාන්‍යයෙන් වැඩිපුර ආහාරයට ගන්නේ නැති බිලිංවලින් රසවත් කටගැස්මක් පිළියෙල කරගන්නට අවශ්‍ය වට්ටෝරුව අද රසඳුන කෑම තීරයෙන් ඔබට දැනගත හැකියි.
ඉතාමත් පහසුවෙන් සපයාගත හැකි, වස විසවලින් තොර මෙවන් ආහාරයක් අඩුම තරමේ කාර්යබහුල ජීවිතයෙන් මිදී ගෙවන සතිඅන්තය රසවත් කරගන්නට පුළුවන් බව මේ ආහාරය පිළියෙල කරගත් විට ඔබට වැටහේවි.
බිලිං බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :
තරමක් පැසුණු බිලිං ගෙඩි - 25
රතු ලූනු - 150 g
උම්බලකඩ මේස හැඳි - 2
බැදපු මිරිස් මේස හැඳි - 2
බැදපු තුනපහ සුවඳ කුඩු මේස හැඳි - 1
කරපිංචා
රම්පේ
පොල්තෙල් ස්වල්පයක්
ලුණු අවශ්‍ය තරමට
සුදු ලූණු බික් - 2
සාදන ආකාරය
බිලිං සෝදා සිහින්ව දිගට සහ හරහට තීරු මෙන් සිහින්ව ලියාගන්න. පසුව ලුණු දමා මිරිකා ගන්න. නැවත වතුරෙන් සෝදා ගන්න. දිය හොඳින් මිරිකා හරින්න.
තාච්චියකට තෙල් ස්වල්පයක් දමා රත්වන විට රම්පේ, කරපිංචා අඹරන ලද සුදුලූනු ද එයට එකතු කර බැදගන්න. සුවඳ දැනෙන විට උම්බලකඩ කුඩු ද එක්කරන්න. අවශ්‍ය පදමට ලුණු ද දමන්න.
දියර ගතිය සිඳෙන තෙක් පිසගෙන ළිපෙන් බා ඉවත් කරන්න. බත් සමඟ මෙන්ම පාන්, රොටී වැනි දෙයක් සමඟ ආහාරයට කදිමයි.
කුකුළුමස් දැන් නිතරම ආහාරයට ගන්නා මස් වර්ගය බවට පත්වෙලා. බහුලව මිලදී ගන්නට තිබෙන නිසා මෙන්ම පහසුවෙන් පිළියෙල කරගන්නට හැකි නිසා දැන් ඕනැම නිවෙසක ආහාර වේලට කුකුළු මස් වරදින්නේ නෑ.
හැමදාම හදන කුකුළු මස් කරියට අමතරව රසවත් ලෙසත් පහසුවටත් පිස ගත හැකි ‘හනී මස්ටඩ් චිකන්’ ඔබේ පොඩිත්තන් ආසාවෙන් රස කර කර ආහාරයට ගනීවි.
හනී මස්ටඩ් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
මීපැණි කෝප්ප - 1/2
අබ ක්‍රීම් - 60 g
එළවළු තෙල් මේස හැඳි - 2
දෙහි යුෂ මේස හැඳි - 2
සුදු ලූනු බික් - 3
පාස්ලි මේස හැඳි - 2
චිකන් ඩ්‍රම්ස්ටික් - 10
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සාදන්නෙ මෙහෙමයි.
මෙහි සියලු ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කොට චිකන් ඩ්‍රම්ස්ටික්වල හොඳින් තවරා ගන්න. පසුව ශීතකරණයේ පැය කිහිපයක් තබා ගන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන අවන් එකක අංශක 180 ක උෂ්ණත්වයක විනාඩි 15ක් පමණ තබාගෙන පසුව එය ග්‍රිල් කරන්න. ග්‍රිල් කරන විට එය වේළෙන්නට නොදී ඉතුරු වී තිබෙන තැවරුමෙන් ගාගන්න.
උපදෙස් විධායක සූපවේදී
සුජිත් ආරියරත්න