විකුම් පෙරේරා සමඟ අපි සිනාසෙමු | Page 4 | සිළුමිණ

විකුම් පෙරේරා සමඟ අපි සිනාසෙමු

සංගීතයේ නව මංපෙත් සොයා යමින් වසර 15ක පමණ කාලයක් පුරා සිදුකළ නිර්මාණ ගණනාවක් තිළිණ කරන විකුම් පෙරේරා අපට සිනාසෙන්නට ආරාධනා කරනවා.

ඒ ඔහුගේ ගේය පද රචනයෙන්, තනු නිර්මාණයෙන් හා ගායනයෙන් ආලෝකවත් වූ ‘අපි සිනාසෙමු’ සංයුක්ත තැටිය ජනගත කරමින්.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිධරයකු මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි විකුම්, ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජාතික සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කර, මේ වන විට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ අලෙවි කළමනාකරුවකු ලෙසින් සේවය කරයි.

මනෝ උපදේශන ක්ෂේත්‍රයේ ද අත්දැකීම් සපිරි විකුම් පෙරේරා ‘අපි සිනාසෙමු’ සංයුක්ත තැටිය එළිදක්වන්නේ නිර්මාණාත්මක ගීතය සංගීතමය ප්‍රතිකාරයක් ලෙසින් ශ්‍රාවකයා වෙත තිළිණ කිරීමේ උත්සාහයක් ලෙසිනි.

“අපි සිනාසෙමු සංයුක්ත තැටියේ ගීත අතර සරල ආදර ගීත කීපයක්, ළමා සංවර්ධනයට අදාළව දෙමාපියන් ඉලක්ක කරගත් ගීතයක්, ජීවිතයේ සතුටින් ඉමු කියන තේමාව අනුව නිර්මාණය වුණු ගීතයක්, සමාජ ප්‍රශ්න පිළිබඳ කතාබහකට ලක්කරන නිර්ධන පන්තිය පිළිබඳ ගීතයක්, විනෝදාත්මක ගීත දෙකක්, ඉංග්‍රීසි ආකෘතිය අනුව නිර්මාණය වුණු ගීත දෙකක් සමඟ ගීත 12ක් ඇතුළත්. මේ අතරින් විශේෂිත වන්නේ අපි හැම දෙනා තුළම සිටින සුදු කළු චරිත පිළිබඳව නිර්මාණය වුණු ඉතාම සංවේදී ගීතය. මෙය හින්දි ආකෘතියට අනුව කළ නිර්මාණයක්. මේ සඳහා විෂුවල් එකක් පවා කර තිබෙනවා.”

“අපි සිනාසෙමු සංයුක්ත තැටියේ අන්තර්ගත වන ගීත පිළිබඳව විකුම් ‍විස්තර කරන්නේ එලෙසින්.

විකුම් පෙරේරාට සංගීත ක්ෂේත්‍රයට එක්වන්නට ඔහුගේ පියාගෙන් ලැබී තිබුණේ ප්‍රබල පිටිවහලක්.

“මම ජීවත්වුණේ හඟුරන්කෙත ආසනයේ දුෂ්කර ගමක. මගේ පියා සංගීතය ඉගෙන ගෙන නෑ. නමුත් ඔහු සංගීතයට ගොඩක් ප්‍රිය කළා. දෙමළ ලයිමකින් රුපියල් හැත්තෑවකට සර්පිනාවක් අරගෙන ඇවිත් ඒක වාදනය කරමින් සිංදු කියනවා. ඕනම පැරැණි ගීතයක් ඔහුට වාදනය කරන්න පුළුවන්. ඒ වගේම හිතවතුන් කීප දෙනෙක් එකතු කරගෙන ස්ටේජ් ගහලා පැට්‍රල් මැක්ස් ලයිට් එළියෙන් ටීටර් පෙන්නනවා. මේ ආභාසය පුංචි කාලයේ ඉඳලම මට සංගීතය ප්‍රිය කරන්න බලපෑවා. මම පාසල් ගියේ පල්ලෙබෝගල මහා විද්‍යාලයට. එහි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් විෂයයක් ලෙස සංගීතය කළා. මම පුංචි කාලයේ ඉඳලම ගුවන්විදුලියෙන් ගීත අහනවා. ඒවායින් කිසියම් උත්තේජනයක් ලබාගෙන විවිධ ගීත නිර්මාණය කරන්නට පෙළඹුණා. ඒ එක්කම මම ගිහි පිරිත් කියන්න යොමු වුණා. එයින් හඬ පාලනය කරගන්නට හැකි වුණා.

මේ සියල්ල තුළින් ලබාගත් දැනුමින් ගීත විශාල ගණනක් නිර්මාණය කළා.” සිතේ මැවුණු අදහස් වචන බවට පෙරළා අකුරු කළ විකුම් ඒවාට තනු යොදමින් සංගීත නිර්මාණය කරමින් ගායනා කරනවා. එවැනි ගීත විශාල ප්‍රමාණයක් සිත තුළ සිර කරගෙන විකුම් රැකියාවක් සඳහා කොළඹට එනවා. ඉන්පසුව මේවා සංයුක්ත තැටියකට කැටි කරන විකුම් ‘අපි සිනාසෙමු’ නමින් අපට තිළිණ කරනවා.

“මම කොළඹට පැමිණියාට පසුව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මැතිතුමා ඇසුරු කරන්න ලැබුණා. ඔහුගේ ගුරුහරුකම් නිසා සිත දිරිමත් කරගන්නා මම මේ ගීත තැටිය නිර්මාණය කරන්නට පෙළඹුණා.

මේ සඳහා රංගවේදී කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මිහිර සිරිතිලක, සංගීතවේදී ගයාන් ගණකධාර, සංගීතවේදී තරිඳු ජයතිලක, සිනමා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් යන කලාකරුවන්ටත් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු, පෞරුෂ සංවර්ධන විශේෂඥ කුමා ඉද්දමල්ලෙන යන මහත්වරුන්ටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම ගාමිණි, රවී මිතුරන් දෙදෙනා ඇතුළු කාර්යාලයේ සෙසු යහළුවන් ආදරයෙන් සිහිපත් කරනවා.

අපිට සිනාසෙන්න කාරණා කීපයක් වුවමනා කරනවා. ‘අපි’ විදිහට සිනාසෙන්න ‘පිරිසක්’ ඕනැ. හැමෝම ‘එකට එකතුවෙන්න ඕනැ’. බොහෝ දේ කරන්න ඕනැ. පරිත්‍යාගය, ඉවසීම, සමානාත්මතාව, ආදරය ආදිය ප්‍රගුණ කරන්න ඕනැ. ඒ තුළිනුයි අපිට සිනාසෙන්න පුළුවන් වෙන්නෙ.

Comments