
ශ් රී ලංකාව ලෝකයේ අනිකුත් රටවල් සමඟ සසඳා බලන විට ස්වභාවික විපත් තරමක් අඩු රටක්. ගිනිකඳු කියන්නෙත් අපේ රටට නුහුරු දෙයක්. ඒත් සෑමවිටම සක්‍රීයව පවතින ගිනිකඳු තිබෙන රටවලුත් මේ ලෝකයේ තිබෙනවා. ඒ අතින් අපි බොහෝ වාසනාවන්තයි. අද අපි කතා කරන්නේත් ගිනිකඳු පිපිරීමක් ගැන. හැබැයි මේ ගිනිකන්දේ විශේෂත්වය වන්නේ මෙය කන්දක් සේ දිස් නොවීමයි.
ගිනිකඳු පිපිරීමක් යැයි ඇසුණු විටම ඔබේ මතකයට එන්නේ විශාල කන්දක් මුදුනෙන් දුම් දමමින් ලාවා පිටවන ආකාරයයි. ඒ අපි දන්නා ප්‍රසිද්ධ ගිනිකඳු වන හෙලේනා, විසූවියස්, එට්නා, ෆූජියාමා, මුවානා කියා හා පේලේ වැනි ගිනිකඳු සියල්ලම මීටර් දහසකට වඩා උස විශාල කඳු ලෙසින් තිබෙන නිසායි. එහෙත් සෑම ගිනිකන්දක්ම එලෙසින් පවතින්නේ නෑ. ගිනි කන්දක් ලෙස හඳුන්වනු ලබන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ තිබෙන උණුසුම් ලාවා පොළොව මතුපිටට පැමිණෙන විවර වලටයි. මීට දින කිහිපයකට පෙර හවායි දූපත් හි ගිනි කන්දකින් ලාවා පිටතට පැමිණි අවස්ථාවක් කැමරාගත කිරීමට සංචාරකයන් හා භූ විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා. ඇත්තටම ගිනි කන්දක් ලෙස නොව ලාවා දිය ඇල්ලක් ලෙස තමයි මෙය හඳුන්වන්නට වන්නේ. හවායි හි කිලවේයා (Kilauea) ගිනි කන්ද පිහිටා තිබෙන්නේ හවායි දූපතේ දකුණුදෙසට වන්නට මුහුද අසබඩයි. එයින් ඇති වූ පැල්මකින් ලාවා කඳක් සාගරයට පතිත වීම ආරම්භ වී තිබෙනවා. පසුව විශාල පාෂාණ කොටසක් කන්දෙන් ගැලවී සාගරයට වැටී තිබෙන්නේ ලාවා කඳ ගලන විට කන්දෙන් එම පාෂාණ කොටස ටිකෙන් ටික වෙන් වීම නිසායි. ඉන්පසු එදිනම සවස තවත් කොටසක් කැඩී සාගරයට වැටී තිබෙන්නේ ඒ අසලින් ගිය බෝට්ටුවක සිටි සියලු දෙනාවම මවිතයට පත් කරමිනි. මෙම පාෂාණ කොටස වැටීමත් සමඟම සතියක් පුරා නොකඩවා ගැලූ විශාල ලාවා දිය ඇල්ල අවසන් වී තිබෙනවා.
හවායි යනු ගිනිකඳු වලින් සෑදී තිබෙන දූපත් සමූහයක්. මේ අතරින් කිලවේයා ගිනිකන්ද මීට වසර 300,000- 600,000කට ඇතිවී තිබෙන බව සැලකෙනවා. මෙහි විශේෂත්වය වන්නේ එදා පටන්ම මෙම ගිනි කන්ද සක්‍රීයව පැවතීමයි. 1790 දී මෙම ගිනි කන්ද පිපිරීමෙන් ජීවිත හානි සිදු වී තිබෙන බව සඳහන් වූවත් එයින් පසුව නම් අනතුරු පිළිබඳව කිසිඳු පුවතක් වාර්තා වන්නේ නෑ. මෙම ලාවා දිය ඇල්ල නිර්මාණය වීමට ලාවා පැමිණෙන නාළය විවෘත වී තිබෙන්නේ දෙසැම්බර්31 රාත්‍රියේ අක්කර 26ක ඉතා විශාල පාෂාණ කොටසක් ගැලවී මුහුදට වැටීමෙන් අනතුරුවයි. මෙලෙස දූපතෙහි පාෂාණ ගැලවීම ඉදිරියටත් සිදු විය හැකි නිසා එය අනාරක්ෂිත කලාපයක් ලෙස බලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
ඉතා උණුසුම් ලාවා සිසිල් සාගර ජලයට පතිත වන විට ඇතිවන පිපිරුම් නිසා උණුසුම් ගල් වැනි ද්‍රව්‍ය ඈතට විසි වන අතර මේ අසලට ගමන් කිරීම සංචාරකයන්ට තහනම් කර තිබේ. මීට අමතරව මෙහිදී පිටවන දුමාරයත් අතිශය භයානක බව විද්‍යාඥයන් පවසනවා. සෙල්සියස් අංශක 220ක තරම් අධික උෂ්ණත්වයකින් යුතු මීටර් 2ක පමණ විශාල ලාවා කඳක් නොකඩවා පතිත වීම නිසා අවට සාගර ජලයත් උණුසුම් වී තිබෙනවා. මේ නිසා සාගරයට සිදුවන හානියත් විශාලයි. අවසාන වශයෙන් පැවසීමට තිබෙන්නෙත් ගිනිකඳු නොමැති රටක ඉපදුණු අපි මොනතරම් වාසනාවන්තදැයි කියායි.