
ඇය දශක තුනකට අධික කාලයක සිට වේදිකාව, සිනමාව, පුංචිතිරය, එකසේ ජයගත් රංගන ශිල්පිනියකි. ප්‍රතිභාපූර්ණ කලා පවුලක සාමාජිකාවක වන ඇය එදා සිට අද දක්වා ම ස්වකීය රංගන ප්‍රතිභාව අපූර්ව ලෙස පසක් කරන්නීය.
‘රත්නා ලාලනී’ නම කියූ සැණින් ඔබේ මතකයට එන්නේ වේදිකාවේ ඇය කරනා හපන්කම්ය. ඒ තරමට ම ඇය මෙරට වේදිකාවට නැතුවම බැරි චරිතයකි. වේදිකාවේ වසර 30ක කාලයක් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය ප්‍රථම වතාවට නිෂ්පාදිකාවක් ලෙස ද කලඑළි බසින්නීය. ‘දෙසීය තුන්සීය’ මේ ඇගේ අලුත් ම නාට්‍යයේ නමයි. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඇය වේදිකාව මත රංගනයේ යෙදෙමින් ප්‍රගුණ කළ දැනුමින් අලුත් ආරක වේදිකා නාට්‍යයක් මෙරට වේදිකාවට හඳුන්වා දෙන්නීය.
මොකක්ද මේ දෙසීය තුන්සීය කියන්නෙ...
අපි නිෂ්පාදනය කරපු අලුත් ම සහ පළමු වේදිකා නාට්‍යය තමයි දෙසීය සහ තුන්සීය. කාමර දෙකක සිද්ධවෙන සිදුවීම් දෙකක් ඇසුරින් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇලෙක්සැන්ඩර් ඇන්පිලෝගේ ප්‍රථම පරිවර්තනය විදිහටමෙය හඳුන්වන්නට පුළුවන්.
ඇයි මෙහෙම නාට්‍යක් නිෂ්පාදනය කරන්නට හිතුවේ...?
ඇත්තට ම වසර 30ක පමණ කාලයක් වේදිකාවේ මම මගේ සැමියා සම්පත් තෙන්නකෝන් අප දෙදෙනා ම රංගන ශිල්පීන් ලෙස පමණයි කටයුතු කළේ. ඉතින් සම්පත්ට ඕනැ කරලා තිබුණා අපි අතින් ම වේදිකා නාට්‍යක් නිෂ්පාදනය කරන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ සඳහා ස්වතන්ත්‍ර වූ පිටපතක් හොය හොයා සිටියේ. එහෙම ඉන්න වකවානුවක තමයි ජයලත් මනෝරත්නයන් ඔහු නිෂ්පාදනය කරන්නට පරිවර්තනය කරපු මෙම නාට්‍ය එතුමාගේ කාර්ය බහුලත්වයත් එක්ක වෙනත් කෙනෙකුට නිෂ්පාදනය කරන්න දෙනවයි කියලා සම්පත්ට ආරාධනා කරන්නෙ. සම්පත් ඒ ආරාධනාව ඉතා කැමැත්තෙන් භාර ගත්තා. ඒ අනුව තමයි ‘දෙසීය තුන්සීය’ නිෂ්පාදනය වෙන්නෙ.
දෙසීය තුන්සීයෙහි රංගන ශිල්පීන් ගැනත් කතා කරමු?
ජයලත් මනෝරත්න, මම, සම්පත් තෙන්නකෝන්, ෆර්නි රෝෂිනී, සුජානි මේනකා, නිමල් ජයසිංහ, ඉෂාර වික්‍රමසිංහ, සමදරා මාබුලගේ, ජගත් පද්මසිරි, උපාලි බණ්ඩාර, සංජීව උපේන්ද්‍ර වැනි ප්‍රවීණයන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
ප්‍රධාන වශයෙන් 7 දෙනෙක් රංගන දායකත්ව ලබා දෙන මෙහි එක් දර්ශනයකට 20ක් පමණ සහභාගි වෙනවා. ප්‍රධාන රංගන ශිල්පීන් හත්දෙනා චරිත 14ක් නිරූපණය කිරීමත් විශේෂත්වයක්.
ඒ කියන්නෙ එක් නළුවෙක් ද්විත්ව චරිත ඉදිරිපත් කරනවද?
ඔව්.. ඉන්ටවල් එකට පෙර 200ක්. ඉන්ටවල් එකට පසු 300ක් වශයෙන්. උදාහරණ ලෙසට ජයලත් මනෝරත්නයන් දෙසීය වැනි කොටසේ මැනේජර් කෙනෙක් ලෙසට ද තුන්සීය වැනි එකේ සංගීතඥයෙක් ලෙසට රඟපානවා. ඇත්තට ම මෙය ප්‍රේක්ෂකයාට අලුත් ම අත්දැකීමක් බවට පත්වේවි. එකම කණ්ඩායමක් නාට්‍ය 2ක දකින්නට ලැබෙනවා.
මෙහි ඔබට හිමි චරිතය කුමක් ද?
මෙහි මරීනා ගේ චරිතයට පණ පොවන්නේ මමයි... ජයලත් මනෝරත්නයන්ගේ බිරිය හැටියට තමයි මා රඟපාන්නෙ. දෙසීය කොටසේ එලෙසත්... තුන්සීයෙ හෝටලේ පිරිසිදු කරන්නියක් ලෙසත් ද්විත්ව චරිත රඟපානවා.
දෙසීය, තුන්සීය තුළින් සමාජයට ලබාදෙන පණිවුඩය කුමක් ද?
දකින හැම සිදුවීමක් ම සත්‍ය වන්නෙ නෑ. මිනිසුන් එකිනෙකා විශ්වාස නොකිරීමත්, දකින දේ අනුව පමණක් විශ්වාස කිරීමත්, උදව්වක් කරන්නට ඉදිරිපත් වන මිනිසුන්ව උදව්ව ලබන පුද්ගලයා විශ්වාස නොකිරීමත් යන සමාජ යථාර්ථයේ නාට්‍ය තුළින් මැනවින් පෙන්වා දෙනවා.
කවදා කොහේදීද මේ කටයුත්ත සිදු කෙරෙන්නෙ.
ලබන 17 - 18 කොළඹ ලයනල්වෙන්ඩ් හිදී සවස 7ට වේදිකාගත වෙනවා. නමුත් මෙහි ප්‍රථම දර්ශනය රඟදැක්වුණේ 11 වැනිදා (ඊයේ) මහවැව මුද්‍රාදේවි රඟහල විවෘත කිරීමේ උත්සවය නිමිත්තෙන්.
දෙසීය, තුන්සීය ලයනල් වෙන්ඩ්ට්වලට පමණක් සීමා වෙයිද?
නැහැ. ඇත්තටම දැනටමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මේ නාට්‍ය දර්ශන සඳහා ආරාධනා ගණනාවක් ලැබිලයි තියෙන්නෙ. කාර්යබහුල රංගන ශිල්පීන් පිරිසක් සහභාගී වෙලා ඉන්න නිසා වෙලාව ඇති ආකාරයට ප්‍රදර්ශනය කරන්නට හිතාගෙන ඉන්නෙ. ඒ වගේම අප්‍රේල් ‘5’ පැරීසිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකම මෙය රඟදැක්වීමට නියමිතයි.
ඔබ වෘත්තියෙන් ගුරුවරියක්...
ඔව් මම දැනට කොළඹ රාජකීය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරියක ලෙස සේවය කරනවා.
කලා කටයුතු සහ වෘත්තිය සමබරව කරගෙන යන්නෙ කොහොමද?
ඇත්තටම මම පුංචි කාලේ ඉඳල ම කලාවේ නියැළිලා ඉන්නේ. විශ්වවිද්‍යාලයේ ඉන්න කොටත් කලා කටයුතු වලට සම්බන්ධ වුණා... ඉගෙනීමට බාධාවක් නොවන්නට තමයි ඒ දේවල් කළේ. දැනටත් මම උදේ වරුව පාසල් ගිහිල්ලා තමයි කලා වැඩවලට සම්බන්ධ වෙන්නේ. වැඩ භාරගන්නෙත් ගොඩක් වෙලාවට සවස් වරුවෙයි. පළමු තැන දෙන්නෙ මගේ වෘත්තියටයි.
මේ දිනවල ඔබේ කලා කටයුතු?
ප්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කළ ‘රන්දෝනි’ කියන චිත්‍රපටයේ ගුරුවරියක ලෙස රඟපෑවා. ඒ වගේ ම සෝමරත්න දිසානායකයන්ගේ මේ දිනවල ඉතා සාර්ථකව තිරගත වන ‘සරිගම’ චිත්‍රපටයට ද මා රංගනයෙන් දායක වුණා.