පුංචි තිරයේ අලුත්ම තරුව මධුෂිකා | සිළුමිණ

පුංචි තිරයේ අලුත්ම තරුව මධුෂිකා

මේ දිනවල විකාශය වන සල් සපු නා, මීදුම් තරණ, ගැමුණු මහරජ, දඩකෙලි අරණ යන ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වන මධුෂිකා සඳරුවනි (20) ශ්‍රී ලාංකීය කලා ක්ෂෙත්‍රයට නවක තරුවකි. කොළඹ, කඩුවෙල උපන් මධුෂිකා පාසල් වියේ සිට කලා කටයුතුවලට ඇල්මක් දක්වන්නියකි. ඇය පහළ බෝමිරිය ශ්‍රී සීලංකර විද්‍යාලයෙන් සහ කොලොන්නාව හෙන්රි ඔල්කට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

කලාත්මක නිර්මාණ සඳහා දායක වීමට ඇයගේ ප්‍රතිභා පූර්ණ කුසලතාවයන් ඔපවත් කර ගැනීමේ අරමුණින් සරසවි නිර්මාණ රංග පීඨයේ නාට්‍ය හා රංග කලාව හදාරමින් සිටින ඇයගේ කලා ජීවිතයේ ආරම්භය සිදු වූයේ ද එම රංග පීඨයට සම්බන්ධ වීමත් සමඟය. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සංජය වික්‍රමසිංහ මහතා සිය කලා ගමනට උපකාර කළ බව මධුෂිකා පවසන්නීය. ඇයගේ කුසලතාවයන් හඳුනාගත් කලා ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙක් ඇය සිනමා නිර්මාණ කිහිපයකට දායක කරගෙන ඇත. ඉදිරියේ දී තිරගත වීමට නියමිත පෝරිසාදයා, ජය ශ්‍රී ඇමැතිතුමා යන සිනමා නිර්මාණයන්ට ද මධුෂිකා රංගනයෙන් දායකත්වය සපයන චිත්‍රපට කිහිපයකි.

තවද සංජය වික්‍රමසිංහගේ ‘ආදරණීය බබී‘ නවකතාව ඇසුරින් ඉදිරියේදී තිරගත වීමට නියමිත ටෙලි නාට්‍යයක උප ප්‍රධාන චරිතය ද ඇය නිරූපණය කිරීමට නියමිතයි.

සිරස ටීවී නිවේදන කටයුතුවලත් විවිධ නිවේදන කටයුතුවලත් නිරත වන මධුෂිකා පාසල් වියේ දී සන්නිවේදන විෂය හදාරා ඇත. පාසලේ වේදිකා නාට්‍යවලට ද රංගනයෙන් දායක වී ඇත. සිය කලා හැකියාවන් වැඩි දියුණු කරගනිමින් වෘත්තියක් ලෙස රංගන කටයුතුවල නිරත වීම මේ නවක තාරකාවගේ බලාපොරොත්තුවයි. ඇයගේ කුසලතායන් තවත් වැඩි දියුණු කරගනිමින් රංගන ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යමින් අනාගතයේ කලා ක්ෂේත්‍රෙය් දිදුලන තාරකාවක් බවට පත්වීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.


විජය ගී තරුව අවසන් මහා තරගය 18 දා

දිවංගත මානව හිතවාදී විජය කුමාරතුංගයන්ගේ 29 වැනි ගුණානුස්මරණ සංවත්සරයට සමගාමීව දීප ව්‍යප්තව පැවැත්වූ 'විජය ගී තරුව 2017 ' ආධුනික ගීත ගායනා තරගයේ අවසන් මහා තරගය ලබන 18 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී ප.ව. 3.00 ට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයන් පැවැත්වේ‍.


ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල හෙට

 ශ්‍රී ලාං‍කේය ඉතිහාසයේ ගුවන් විදුලි මාධ්‍ය සඳහා පැවැත්වෙන ප්‍රථම රාජ්‍ය සම්මාන උළෙල මෙවර ලෝක ගුවන්විදුලි දිනයට සමගාමීව හෙට ( 13) සවස 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න එම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, එම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන් සහ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන බර්ටි ගලහිටියාව හා නිව්ටන් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ‍.

මෙහිදී අංශ 25 ක් යටතේ භාෂා ත්‍රිත්වයෙන්ම නිෂ්පාදිත විශිෂ්ටතම වැඩසටහන් සඳහා සම්මාන හා සහතික ප්‍රදානය කිරීමට නියමිතය. ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා සුවිශිෂ්ට සේවයක් ඉටුකළ ප්‍රශස්ත ගුවන් විදුලි මාධ්‍යවේදීන් තිදෙ‍නකු වන විජය කොරයා, එස්.නාදන් හා ප්‍රභා රණතුංග එහිදී ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබති.

ජයන්ති කුරේ

 

Comments