ප්‍රවීණ රංගන ශිල්පිනී නිලන්ති හීන්දෙණි‍යට කලාභූෂණ සම්මානයක් | Page 2 | සිළුමිණ

ප්‍රවීණ රංගන ශිල්පිනී නිලන්ති හීන්දෙණි‍යට කලාභූෂණ සම්මානයක්

 වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය, කෙෂ්ත්‍ර තුනටම ඇයගෙන් සිදු වු සේවය සුළුපටු නොවේ. ඒ නිසාම ඇය පසුගිය වසරේ කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. රංගන දිවියට හතළිස් වසරක් ගෙවුණත් අදටත් හරි හරියට කලා නිර්මාණවල යෙදෙන මේ කලාකාරිය නිලන්ති හීන්දෙණිය ය. පසුගියදා රසඳුනට ගොඩවැදුණු නිලන්ති තම රංගන දිවියේ මතකයන් ගැන අප සමඟ දොඩමළු වුයේ මෙසේයි.

•ඔබ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්..?

මම කැමතියි වේදිකානාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස හඳුන්වනවාට. වේදිකා නාට්‍ය සියයක පමණ මා රඟපා තිබෙනවා.

•කොහොමද වේදිකා නාට්‍ය කෙෂ්ත්‍රයට පිවිසුණේ..?

මා කැලණිය ගුරුකුල විද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව ආනන්ද ෆොන්සේකාගේ උදව්වෙන් ජී.එල් ආරියපාල මහතාගේ කල්පාන්තයක් සමග වේදිකා නාට්‍යයෙන් පළමුව රංඟනයට එක්වුවා. පසුව මගුල් හටන, රන් කූඩුව, නරි බෑනා, මුහුදු පුත්තු, ලියතඹරා, සත සහ සත, ඇසළ සඳ, අවන්හල, හිරු නැති ලොවක්, අහසින් වැටුනු මිනිස්සු, පොකුරු වැස්ස, බිසෝ ආදි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වුණා. ඇතැම් නාට්‍ය රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන, නිර්දේශිත නාමයන් අතරට පවා යන්න අවස්ථාව ලැබුණා.

•වේදිකාව ජයගත් ඔබ..පසුකාලීනව සිනමා නිළියක් වෙනවා?..‍

ඔව්, වේදිකාවෙන් සිනමාවට එන එක ඒතරම් අමාරු වුණේ නෑ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ මාතර ආරච්චි, සිරි කුලරත්නගේ වස්තුව, අපිනැවත හමුවෙමු, ආදි චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කර තිබෙනවා.

•කොහොමද..ටෙලිනාට්‍ය නිළියක් වුණේ..?

අශෝක සේරසිංහ මහතාගේ විනිශ්චය මා රඟපෑ මුල්ම ටෙලිනාට්‍ය. සුදෝ සුදු, ධාමිණි, කාව්‍යා, අපර්ණා, හැන්දෑව, කෝපි කඩේ, ස්වර්ණපාලි, පරෙවි කිරිල්ලි, අරුන්දති, බට්ටි, කෝරළේ මහත්තයා,ටෙලිනාට්‍යවල රංගනයෙන් දායකවී තිබෙනවා.

•ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිණියක් වන ඔබ අද රඟ දක්වෙන වේදිකා නාට්‍ය ගැන මොකද හිතන්නේ..?

1979 ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිණියක් වුණේ. මේ වනවිටත් මායාදේවි, මට පුරුෂයෙක් ඕනේ, සිල්ගත් කොක්කු, වේදිකා නාට්‍යවලින් රට වටේ යනවා. අද වේදිකාගතවන ඇතැම් නාට්‍යවල ගුණාත්මකබව අඩුවෙලා කියා හිතෙනවා.

•පසුගියදා ලැබුණු සම්මානය ගැන දැන ගන්න කැමතියි..?

හතළිස් වසරක් කලාව වෙනුවන් කළ සේවය අගයමින් සම්මානයක් ලැබුණා. ඒ ගැන නිහතමානි සතුටක් තිබෙනවා.

•ඔබගේ සැමියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ..?

ඔව්..ඔහු හිලරි රාජපක්ෂ. 1983 අපි විවාහවුණේ . දියණියක් සිටිනවා ෂෙන්යා රාජපක්ෂ. ඇය විවාහකයි. සැමියා ජයන්ත පෙරේරා.

• ඉදිරි කලාකටයුතු මොනවාද..?

රූගත කිරීම් නිමවු ටෙලිනාට්‍ය කිහිපයක්ඉදිරියේදි විකාශය වීමට නියමිතයි. හොඳ නිර්මාණ ලැබුනොත් සතුටින් බාරගන්නවා.

Comments