ජෝති අදත් ජීවමානයි | සිළුමිණ

ජෝති අදත් ජීවමානයි

ජනප්‍රිය ගායන ශිල්පියකු, මෙන්ම දෙස් විදෙස් බහුතර රසික ප්‍රජාවකගේ ගෞරවනීය ආදරයට පාත්‍ර වූ එච්.ආර්. ජෝතිපාල නම් වූ කලාකරුවාගේ 81 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්තමානයේ අපගේ සංගීත ක්ෂේත්‍රයෙහි එච්.ආර්. ජෝතිපාල කලාකරුවා විසින් ගායනා කළ බොහෝ ගීත විවිධ ගායකයන් විසින් ගායනා කිරීමට පෙලඹී තිබීම විශේෂත්වයක්. එච්.ආර්. ජෝතිපාල කලාකරුවා විසින් ගායනා කරන ලද බොහෝ ගීතවලට රසික රසිකාවියන් ඇළුම් කරන්නේ, අඩුතරමින් එතුමාගේ හඬ චායාවක් හෝ අසන්නට විය හැකියි.

එදා මෙන්ම අදත් එච්.ආර්. ජෝතිපාල කලාකරුවාට දිවයින පුරා මෙන් ම ‍ලෝකය පුරා ද රසික රසිකාවියෝ විශාල පිරිසක් සිටීම ද විශේෂත්වයක්. එතුමාගේ එම ජනප්‍රියතාවට ප්‍රධාන හේතුව වූයේ, පොදු ජන හදවතට ගීත ගැයීමයි. එසේම ඕනෑම ශෛලියකින් ගීත ගායනා කිරීම, එතුමා සතුව පැවති සුවිශේෂී වූ නිපුණතාවක්. මවුගුණ සුවඳ විදහ වූ “මේ නොනිමෙන දිවි ගමනේ...” ගීතය, එතුමා විසින් ගායනා කර, ඊට ලබා දුන් ජීව ගුණය මවු සෙනෙහසේ අගය තව තවත් උද්දීපනය කරනු ලැබූ බවද නොරහසක්.

එච්.ආර්. ජෝතිපාල කලාකරුවා ආදරය කෙරෙහි දැක්වූ මෘදු මොළොක් භාවය ද එතුමා විසින් ගායනා කළ “නීල දෑස පුරා, ආදර මල් පවනේ” අඬන්නේ ඇයි... සුදු මැණිකේ...” “එපා එන්න කියලා... මොකෝ මැණිකේ කිව්වේ” ආදී ගීත මගින් මනා ලෙස ප්‍රකට වනවා. එමෙන්ම “පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා...” වැනි ගීත මඟින් මධුර ගායන විලාසයට අමතරව එතුමා සතුව පැවැති මහා හඬ පෞරුෂය යොවුන් ප්‍රජාවගේ සිත් වශී කර ගැනීමට ද සමත් වූවා.

සිංහල සිනමාව තුළ ද දීර්ඝ කාලයක් පසුබිම් ගායනය තුළින් අති මහත් රසික රසිකාවියන් පිරිසක් වෙතට සමීප වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවා, චිත්‍රපට කර්මාන්තය තුළ ද අතිශය ජනප්‍රිය ගායකයකු ලෙස නමක් දිනා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

එච්.ආර්. ජෝතිපාල කලාකරුවා පරිත්‍යාගශීලී හදවතක් තිබුණු ගායකයෙක් ලෙසද හැඳින්විය යුතුයි. ස්වකීය රසික රසිකාවියන්ට පමණක් නොව, කිසියම් අවශ්‍යතාවක දී ඕනෑම කෙනකුට කිසියම් අස්වැසිල්ලක් ගෙන දුන් මානව හිතවාදියෙක්. ඇතැම් අවස්ථාවලදී තමන්ගේ ඇඳිවත පවා දන් දුන්න කෙනෙක්. මුදල් ඉපයීම එකම පරමාර්ථය කර නොගත් එච්.ආර්. ජෝතිපාල කලාකරුවා මුදල් වලට වහල් වී කිසිසේත් ස්වකීය කලාව පාවා නොදුන් බව ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මුදල් වලට පමණක් වහල් වී, ජනප්‍රිය වීමට කෙටි මාර්ග සොයන නවක ගායක ගායිකාවන්ට එච්.ආර්. ජෝතිපාල කලාකරුවා මහඟු ආදර්ශයක්.

වර්තමානයේ දී ජනප්‍රිය ගීත අනුකරණ රැල්ලට හසු වුණු තවත් කාල පරිච්ඡේදයක් නැති තරම්. මෙම අනුකරණ රැල්ල අපගේ සමාජයෙන් තුරන් කිරීම වෙනුවෙන් වර්තමානයේ දී බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන්, ගීතවල හිමිකම වෙනුවෙන් නැගී සිටින අවස්ථා බහුලව දක්නට ලැබෙනවා. මෙහිදී නිසි අවසරය නොලබා ගායනා කරන ඇතැම් ගායක ගායිකාවන්ට වන්දි මුදල් ගෙවීමට සිදුවන අවස්ථා ද දක්නට තිබෙනවා. එහෙත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ, අද දවසේ එච්.ආර්. ජෝතිපාල නම් වූ කලාකරුවා අප අතර ජීවත්ව සිටියේ නම්, නියත වශයෙන්ම තම ගීත ගායනා කරන කවර ‍හෝ පාර්ශ්වයක් වෙතොත්, එම පාර්ශ්වය තවදුරටත් දිරිමත් කරනු විනා, සිහිනෙන්වත් ඔවුන්ට එරෙහි නොවනු ඇත.

Comments