
රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි සන්නද්ධ අරගලයේ නොමැකෙන මතක සහ එහි තවමත් රටට හෙළි නොවූ ඇතැම් යටගියාවන් මතුකරන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය මේ දිනවල පූඩළුඔය, උලපනේ සහ නුවරඑළිය අවට රූගත කෙරේ.
පසුගිය දිනවල එම චිත්‍රපටයේ උද්ඝෝෂණ, පෙළපාළි සහ කැරලි කෝලාහල හා වනගත දර්ශන රැසක්ම රූගත කෙරුණේ තිස්සමහාරාමයේ පිහිටි රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදීය.
හැට දහසකට අධික තරුණ ජීවිත ප්‍රමාණයක් රටට අහිමි කළ ලෙයින් කඳුළින් සටහන් වන ඒ යටගියාව පිළිබඳ මෑතකාලීනව වසර එකහමාරක් තිස්සේ කළ පර්යේෂණයක් පාදක කොටගෙන ඊට අදාළ විවිධ වාර්තා සහ ලිපි ලේඛන ද ඇසුරු කොටගෙන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ සංකල්ප රචකයා ලෙසින් අප හමු වූ ආරියවංශ ධම්මගේ ය.
කමල් අද්දරආරච්චි, රෝහණ විජේවීරගේ චරිතය රඟන මේ චිත්‍රපටයට තවත් සියයකට අධික දක්ෂතම නළු නිළි පිරිසක් ද දහස් ගණනක් වන අතිරේක නළු නිළි පිරිසක් ද එක්ව සිටිති. මෑත කාලීනව සිංහල සිනමාව වෙනුවෙන් දේශීය ව්‍යවසායකයකු වැය කරන විශාලතම මුදලක් වැය කරන චිත්‍රපටයක් වන මේ සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන එකසිය පනහක් පමණ වෙතැයි එහි නිෂ්පාදිකා චමත්කා පීරිස් කියා සිටින්නීය.
ලොව ඉහළම තාක්ෂණය අන්තර්ගත ඇරී ඇලෙක්සා වර්ගයේ කැමරාවකින් රූගත කෙරෙන ප්‍රථම සිංහල චිත්‍රපටය වන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ ද රෝහණ විජේවීරගේ බිරියගේ චරිතය සුලෝචනා වීරසිංහ රඟයි.
දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්නශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න, බුද්ධික අබේරත්න ආදීහු මෙහි සෙසු චරිත නිරූපණය කරති.
අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ කැමරාව ධනුෂ්ක ගුණතිලකගෙනි. සහාය අධ්‍යක්ෂණයෙන් සමීර හසුන්ද කලා අධ්‍යක්ෂණයෙන් උදේනි සුබෝධිකුමාර ද අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුව ද සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේ ද සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේ ද විධායක නිෂ්පාදනයෙන් චන්දන සමරකෝන් ද රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගල ද නිශ්චල ඡායාරූපකරණයෙන් ධම්මික පතිරත්න ද එක්වන ගින්නෙන් උපන් සීතල සිනෙප්‍රෝ සමාගමේ නිර්මාණ කාර්යයකි.
විජේවීර චරිතය නිරූපණය කිරීමට ලැබීම මට විශාල ගෞරවයක්
කමල් අද්දරආරච්චි
රංගන ශිල්පියෙක් හැටියට රෝහණ විජේවීර වැනි දැවැන්ත දේශපාලන චරිතයක්, සත්‍ය චරිතයක් නිරූපණය කිරීම මඟින් එම රංගන ශිල්පියාව තවත් ඉහළට එසවෙන්න පුළුවනි. ඒ එම චරිතය සාර්ථකව නිරූපණය කළොත්. එසේ නොවුණොත් එතෙක් ඒ රංගන ශිල්පියා රංගන ක්ෂේත්රය තුළ ගොඩ නඟාගෙන ඇති ප්‍රතිරූපය විනාශ වෙන්නත් පුළුවනි. එම නිසා මෙවැනි තිර රචනයකට ඉහළ සාධාරණයක් ඉටු කිරීමට රංගන ශිල්පියාට සිදු වෙනවා. මෙවැනි චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව ඇති රංගන ශිල්පියකුට එය පැවරීම අධ්යක්ෂවරයාගේ වගකීමක්. රෝහණ විජේවීර නමැති දැවැන්ත දේශපාලන චරිතය නිරූපණය සඳහා මට අවස්ථාව ලබාදීම මට ලැබුණු විශාල ගෞරවයක් ලෙසයි මම සළකන්නේ.
මේ රටේ මිනිස්සු මගේ පෞද්ගලික ජීවිතය හරියට දන්නේ නෑ. බොහෝ විට මාධ්‍ය හරහා සහ වෙනත් සිදුවීම් හරහා මා පිළිබඳව ගොඩ නඟා තිබෙන චරිතය ඉතාම ආන්දෝලනාත්මක එකක්. කතාබහට ලක්වුණු එකක්. ඇත්තටම මම ඒ චරිතය නෙමෙයි. මම ගැඹුරින් ජීවිතය දකින ඉතාම මානව හිතවාදී මනුෂ්‍යයෙක්. මගේ ඒ ඇතුළත ජීවිතය හඳුනාගත් කෙනෙකුට පමණයි මෙවැනි චරිතයක් රඟපාන්න මට බාර දෙන්න පුළුවන්. මා පිළිබඳව මවල තියෙන ප්‍රතිරූපය දෙස බලන විට කෙනෙකුට හිතෙන්න පුළුවනි ඇයි මේ වගේ නළුවකුට මේ වගේ චරිතයක් රඟපාන්න දුන්නේ කියලා. නමුත් ඒ අභියෝගයන් සියල්ලම ජය අරගෙන තියෙනවා කියලයි මම හිතන්නේ. ඒ ගෞරවය මම මටම ලබා ගන්නවා. මම විශ්වාස කරනවා මේ චරිතය නිරූපණය කිරීම හරහා මගේ ප්‍රේකෂකයින්ට ඔවුන් මීට කලින් නොවිඳි අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වේවි කියලා.
රෝහණ විජේවීර සහෝදරයාගේ ජීවන චරිතය සහ දේශපාලන ජීවිතය පිළිබඳව ඉතාම ඒකාකාරී ඒක පාක්ෂික කතාවක් තමයි පැවැති සෑම රජයකින්ම මහජනතාවට ලබාදීලා තියෙන්නේ. ඒ සෑම රජයකටම රෝහණ සහෝදරයා තිත්ත කසායක් වුණා. එවැනි තත්ත්වයක් යටතේ රෝහණ විජේවීර චරිතයට සමාජය තුළ මතුවුණු ප්‍රතිරූපය සාර්ථක එකක් වෙන්න බැහැ. ඒ නිසා පෞද්ගලිකව මා තුළත් එතරම් අගයක් වටිනාකමක් මේ චරිතය පිළිබඳව තිබුණේ නෑ. රෝහණ විජේවීර චරිතය පිළිබඳව පොතපත කියවීමෙන් විශාල දැනුමක් ලබාගන්න මට බැරි වුණා. නමුත් මේ චිත්‍රපටයට අවස්ථාව ලැබුණාම මම විජේවීර සහෝදරයාව ළඟින්ම ඇසුරු කළ පුද්ගලයින් කීප දෙනෙක් සමඟම දීර්ඝව කතා කළා. පුවත්පත්වල පල වූ ලිපි කියෙව්වා. ඒ වගේම ඔහුගේ දේශපාලන කතාවල හඬපටවලට සවන් දුන්නා. ඒ මඟින් මම රෝහණ විජේවීර පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ චරිතය අධ්‍යයනය කරන විට මට ඔහු පිළිබඳව විශාල භක්තියක් ඇති වුණා. රෝහණ විජේවීර චරිතය නිරූපණය කිරීම මට විශාල ගෞරවයක් ලෙසයි මම සළකන්නේ.
විජේවීර සහෝදරයා ගැන හැදෙන පළමු ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණය මෙයයි
අනුරුද්ධ ජයසිංහ
රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජයේ විවිධ පුද්ගලයින් තමන්ගේ මාධ්‍ය හරහා විවිධ වූ නිර්මාණ ඉදිරිපත් කළා. පුවත්පත් කලාවේදීන් පුවත්පත්වලට ලිපි ලිව්වා. කවීන් කවි ලිව්වා. ලේඛකයිින් විවිධ වූ පොත් ලිව්වා. ඔහුගේ දේශපාලනයට පක්ෂ විපක්ෂ සියලුම දෙනා අතරේ ආන්දෝලනාත්මක පුවත් මැවූ පුද්ගලයකු බවටත් විජේවීර සහෝදරයා පත් වී සිටියා. විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු අද දක්වාම ඒ දේවල් සිදු වෙනවා. නමුත් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ඔස්සේ කිසිම නිර්මාණකරුවෙක් කිසිදු නිර්මාණයක් ඉදිරිපත් කරන්නට සමත් වුණේ නෑ. ඒ අඩුව සපුරාලන්නයි මම මේ උත්සාහ ගත්තේ. මේක බොහෝ කාලයක් මගේ හිතේ තිබුණු අදහසක්. ඒ සඳහා මම අවුරුදු කීපයක්ම තිස්සේ අධ්‍යයනයක යෙදුණා. ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටි කෙනෙක් හැටියට ඉතාම හොඳින් මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ වුවමනාවක් මට තිබුණා. හැබැයි ඒ සඳහා විශාල මුදලක් වැයවෙනවා. ඒ සඳහා සුදුසු නිෂ්පාදකයෙක් හෝ නිෂ්පාදන ආයතනයක් සොයමින් සිටින විටයි චමත්කා පීරිස් ඒ සඳහා ඉදිරිපත් වුණේ.
මෙම චිත්‍රපටයට සූදානම් වෙද්දී විජේවීර සහෝදරයාගේ සැඟවුණු ජීවිතය තුළදී ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් හමු වී සාකච්ඡා කළා. ඒ සැඟවුණු ජීවිතය තුළ ඔහු ජීවත් වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාගත්තා. මෙම චිත්‍රපටය බොහේ විට රූපගත වන්නේ විජේවීර සහෝදරයාගේ සජීවි ජීවිත කතාව සම්බන්ධ ස්ථානවලදී. එම තොරතුරු සොයා ගන්න විශාල අධ්‍යයනයක යෙදෙන්න සිදු වුණා. එවැනි අධ්‍යයනයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ.
'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය රූපගත කරන පසුතලයේදී පවා විජේවීර සහෝදරයා අවසන් කාලයේදී ළඟින්ම ඇසුරු කළ ළඟින්ම සිටි දේශපාලන සගයින් අපට සැම විටම උදව් කරනවා, මඟ පෙන්වනවා. නිවැරැදි කරගත යුතු තැන් පෙන්වා දෙනවා. එවැනි මඟ පෙන්වීමක් සමඟ තමයි මෙය නිර්මාණය වන්නේ.
මෙම චිත්‍රපටයේදී විජේවීර සහෝදරයාගේ චරිතය නිරූපණය කිරීම සඳහා ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි තෝරගන්න විශේෂ හේතු කීපයක්ම තිබුණා. ඉන් ප්‍රධානම කාරණය තමයි මෙවැනි බැරෑරුම් සහගත වගකීම් සහගත රංගනයක් ඉදිරිපත් කරන්න තරම් රංගනය තුළ කමල් ගොඩ නඟාගෙන ඇති විශ්වාසය. ප්‍රේක්ෂකයාට විශ්වාසයක් ඇති විය යුතුයි කමල් මේ නිර්මාණය සඳහා සාධාරණය ඉටු කරනවා කියා. පසුගිය අවුරුදු 10 ක පමණ කාලය තුළ කමල් දායක වෙලා තියෙන්නේ නිර්මාණ කීපයකට පමණයි. ඔහු තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. අපේ ආරාධනය ඔහු ඉතාම සතුටින් පිළිගත්තා.
ගාමිණී සුසන්ත