
ලොව රටවල් හැට අටක් පුරා සෑම නිවෙසක ම නිවැසියන්ට තමන්ගේ පවුලේ සාමාජිකයකු තරමට ආදරණීය වූ, දයාබර වූ, ළෙන්ගතු වූ, වීර චරිතයක් තිබේ. ඇය ජපානයේ ඔෂින්ය. ජපානයේ එන්එච්කේ නාළිකාවෙන් 1983 අප්‍රේල් 4 වැනිදා සිට 1984 මාර්තු 31 දක්වා විකාශය කළ ඔෂින් සැලකෙන්නේ සර්වකාලීනව එරට වැඩිපුරම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ නාට්‍ය ලෙසය.
මෙරට ජාතික රූපවාහිනිය ඔස්ස් ඔෂින් විකාශය කිරීමත් සමඟ මේ ආදරණීය, දිරිය චරිතය ශ්‍රී ලාංකේය අපේ ම චරිතයක් විය. ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා විකාශය වූ ඔෂින් චරිතයේ පුංචි ඔෂින් අපේ හදවත් වඩාත් සසල කළ දෙනෙතට දුක් කඳුළු මෙන් ම සතුටු කඳුළු ද නැංවූ චරිතයයි.
වයස අවුරුදු හයේ සිට දහය දක්වා දිවෙන ඔෂින්ගේ ළමා චරිතය නිරූපණය කළ දැරිය දැන් වයස අවුරුදු හතළිස් හතරක පරිණත කාන්තාවකි. අප ඇය හඳුන්වන්නේ පුංචි ඔෂින් යන ආදරණීය නමින් වුවත් ඇයගේ සැබෑ නම අයකෝ කොබයෂියි. පසුගිය පෙබරවාරි 3 වැනිදා ඇය ජාතික රූපවාහිනියට පැමිණියේ තමන්ට හද බැඳි ශ්‍රී ලාංකේය රසිකයන්ගේ උණුසුම් ආචාරය පිළිගැනීමටයි. පාසල් දූ දරුවන්ගේ, කලාකරුවන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට ගෞරවයට එදින ඇය පාත්‍ර වූවාය.
අයකො කොබයෂි නුදුරු අනාගතයේදී ඔෂින් චරිතයෙන් වගේ ම අපේ ම සිනමා චරිතයකින් ද ප්‍රේක්ෂකයන්ට සමීප වීමට නියමිතය. ඇය සුමිත්‍රා රාහුබද්ධගේ සම්මානිත නවකථාවක් වන කන්දක් සේ මා ඇසුරින් නිපදවෙන සිනමා පටයේ උපප්‍රධාන චරිතයක් රඟන්නීය. අන්තර්ජාතික කීර්තියට පත් නිළියක වුවද අයකෝ සැබෑ ජීවිතයේදීත් ඔෂින් හා සමානවම නිහතමානී බව ඇය සමඟ වැඩ කරන සැමදෙනාගේ ම අදහසයි. කන්දක් සේ මා සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන නිරෝෂා පෙරේරාෙග් රංගනයට මුව පුරා පැසසුම් ලබාදීමෙන්, එක් ජවනිකාවකට මුහුණ දුන් පසු අධ්‍යක්ෂගේ මුහුණ බලා තම රංගනයෙන් ඔහු තෘප්තිමත් වී ඇත්දැයි යන්න සනාථ කර ගැනීමෙන් ඇයගේ නිහතමානීකම ගැන මෙන් ම කැපවීම පිළිබඳව ද අපට සිතාගත හැකිය.
අයකෝ දස්කම් දක්වන්නේ රංගනයට පමණක් නොවේ. ඇය චිත්‍ර ශිල්පයට ද එක ලෙස සමත්කම් පාන්නීය. සිනමා පටයක් අතරතුර ලැබෙන විවේකයේදී අයකෝ අඳින සිතුවම්වලින් සතුටු වීමට ඇය සමඟ සිනමාපටයේ වැඩකටයුතු කරන සෙස්සන්ට ද අවස්ථාවක් උදාවේ.
අයකෝ කෙතරම් සිනමාපට ප්‍රමාණයක, ටෙලිනාට්‍ය ප්‍රමාණයක රඟපා තිබුණ ද ඔෂින් විකාශය කළ සෑම රටකම අදටත් ඇය ප්‍රසිද්ධ ‘ඔෂීන්’ නමින්මය. 2013 දී ඔෂින්ගේ ළමා විය ඇසුරින් ඔෂින් සිනමාපටය නිපදවිණි. එහි අයකෝ රඟන්නේ ‘මිනෝ’ නම් චරිතයයි.
ද ෆයර්ෆ්ලයි, ජෝ නෝ මායි, බේස්බෝල් කිඩ්ස්, මිරැකල් ඉන් ෆෝ ඩේස්, හා හා : ටෝකියෝ, අරු කසෝකු නෝ අයි ටු කනෂිම්, යුෂු නො හා යුරේටේ වැනි නිර්මාණ ගණනාවකටම අයකෝ රංගනයෙන් දායකවී තිබේ. එහෙත් “දැන් සතුටු කඳුළු හෙළන්න කාලයයි” යන අරුත රැගත් ඔෂින් නාට්‍යයේ පුංචි ඔෂින්ගේ චරිතය දස හැවිරිදි වියේදී ඇයට ජීවිත කාලය පුරාම සතුටු කඳුළු හෙළීමට අවස්ථාව උදාකර දී තිබේ. ඔෂින් නැවත නැවතත් විකාශය වන්නේ ජපානයේ පමණක් නොවේ. එය වරක් විකාශය කළ රටවල නැවත විකාශය කිරීම අනිවාර්යයෙන් සිදුවන්නකි. පුංචි ඔෂින් ලෙස රැඟූ අයකෝ පසුගිය වසෙර් ඉන්දුනීසියාවට ගියේ එරට පස්වැනි වරටත් විකාශය කරන්නට යෙදූ ඔෂින් ප්‍රවර්ධනය කිරීමටය. ඔෂින් නිසා ඇයට රටවල් ගණනකම සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. අයකෝ පවසන පරිදිම අද පරපුරටත් ඔෂින් පරමාදර්ශී නාට්‍යයක් වී තිබේ. ඒ සමඟ ම පුංචි ඔෂින් අයකෝ කොබයෂි ද යුග යුග ජන හද ළබැඳි චරිතයක් වී අවසානය.