
ටෙනිසන් පෙරේරා
පසුගියදා පැවැති ගාලු ෆෙයාර් වේ සාහිත්‍ය උලෙළේදී හොඳම සිංහල නවකතාව ලෙස සම්මාන දිනාගත්තේ ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා ලියු ‘මහා රාවණ’ ප්‍රබන්ධ කෘතියයි. එය ටෙනිසන්ගේ 28 වැනි නවකතාව වෙයි. ටෙනිසන්ගේ අඩසියවසක සාහිත්‍ය කලා ජීවිතය විමසුමට හසු කෙරෙන උලෙළක් අද (05) කැලණිය බියගම ශාන්ත තෙරේසා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. මෙය නම් කර ඇත්තේ ‘කැලණි මිටියාවතේ ලිවිසැරි මහිමය’ කියාය. මහාචාර්ය දර්ශන රත්නායක, අනුරසිරි හෙට්ටිගේ ප්‍රධාන දෙසුම් පවත්වන අතර ලංකා ලේඛක සංවිධානය මෙය සංවිධානය කරයි.
• ඔබ සිවිල් බල රහිත නිර්ප්‍රභූ සමාජ අඩවියකින් ලේඛන කලාවට ප්‍රවිෂ්ට වූවකු යැයි මා සිතනවා.
ඔව්. අපි අයත් වුණේ නගරයේ පහළ මැද පන්තියට. මගේ මුල්ම රැකියාව රජයේ මුද්‍රණාලයේ වෘත්තිය ආධුනික. පඩිය මාසයකට රුපියල් එක්සිය විසිපහයි.
• කොහොමද සාහිත්‍ය කලාව කෙරෙහි උනන්දු වුණේ?
මම විදේශීය නවකතාවල සංක්ෂිප්ත ඉංග්‍රීසි අනුවාද කියෙව්වා. මුලින්ම එහි කතන්දරවලට ආශක්ත වුණා. කතා කලාව කියන්නෙ මොකද්ද කියන එක මුලින්ම දැනගත්තේ ඒ පොත්වලින්.
• ඒ පොත් කියවන්ට තරම් ඔබට ඉංග්‍රීසි භාෂීය දැනුමක් තිබුණා ද?
ඔව්. මොකද, පනස්හයට පෙර පරපුර වශයෙන් අපි ඉගෙන ගත්තේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රිසි පොතක් පතක් කියවන්න පුළුවන් දැනුමක් පාසල් වියේ සිටම අපට තිබුණා.
• විශ්ව සම්භාව්‍ය සාහිත්‍යයට අවතීර්ණ වන්ට විශේෂ පසුබිමක් තිබුණා ද?
මගේ වාසනාවට මං උසස් පෙළට දර්ශනය හැදෑරුවා. පෙරදිග දර්ශනය, අපරදිග දර්ශනය, නිට්ෂේ වගේ දාර්ශනිකයෝ, සංදෘෂ්ටිකවාදය, මනෝ විද්‍යාව, සිග්මන් ෆ්‍රොයිඩ්, කාල් යුංග්... මේවා හදාරද්දි අපේ බුද්ධි මණ්ඩලය පුළුල් වෙනවා. අප ජීවත්වන ළිඳට එහායින් විශාල අවකාශයක් තව තියෙනවයි කියලා හිතන්න පටන් ගන්නවා. සාහිත්‍ය සංක්ෂිප්ත අනුවාදවල නවතින්නෙ නැතුව විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය කරා මම විතැන් වුණේ ඒ අනුවයි.
• ඔබ ඔය කියන කාලේ නූතනවාදි සාහිත්‍යය සිංහල භාෂක සමාජයට ඇවිල්ලවත් නැහැ.
අපි කොහොමත් පසුගාමියිනේ. මෙහෙ ‘ගම්පෙරළිය’ ලියැවෙනකොට එහේ ජේම්ස් ජෝයිස්ගේ ‘යුලිසිස්’ වගේ නවකතා පළවෙලා ඉවරයි. අපි ලෝරන්ස්ගෙන් එහාට ගියේ නැහැ. මෙරට ශාස්ත්‍රීය කතිකාවල නූතන සාහිත්‍ය කතා වුණේ නැහැ. ජෝයිස්ලා, කෆ්කලා සිංහලට එන්නේ හැත්තෑව දශකයේදී කේ. ජී. කරුණාතිලකගේ පරිවර්තන ඔස්සේ.
• ඔබට විශේෂයෙන් බලපෑ ලේඛකයෙක් එකල හිටිය ද?
රුසියන් සාහිත්‍යයේ මං කැමැති ලේඛකයන් දෙදෙනකුට විතරයි. ඒ ඩස්ටොවුස්කි හා ගෝගල්. ඔවුන් දෙන්නා තමයි මනුෂ්‍ය අධ්‍යාත්මය විනිවිද ගිය ටොල්ස්ටෝයිට මගෙ ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ.
• ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කියන කෙටිකතා පොතෙන් ඔබ දැවැන්ත පිම්මක් ඉස්සරහට පනිනවා?
ලෝක සාහිත්‍ය කියැවීම, දර්ශනය හා මාක්ස්වාදය හැදෑරීම වෙතින් පෘථුල වූ චින්තනයේ භාව ප්‍රකාශනයක් විදියට තමයි මේ පොත එළිදකින්නේ. සමාජය පිළිබඳ ආගමික සංස්ථා පිළිබඳ මා තුළ තිබුණු කැකෑරෙන විරෝධය විවේචනය හා පිළිකුල මේ පොතෙන් හොඳහැටි පේනවා.
• ඔබ මාක්ස්වාදය හැදෑරුවා කියලා කිව්වා?
ඒ කාලේ තමයි 71 කැරැල්ලට පසුබිම සැකසුණේ. මම හිටියේ චීන පිලේ. කරුණාසේන ජයලත්ලා වගෙ අය එක්ක. සූරා කෑම කියන සංකල්පය අදටත් වලංගුයි.
• බුද්ධාගමට ගහනව නම් බුද්ධාගම ගැන හොඳ හැටි දැනගෙන ඉන්න ඕනෑ.
මම කාලයක් මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය සමඟ සම්බන්ධකම් පැවැත්වූවා. ඒ දවස්වල තමයි පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛෙත්‍රය වැනි යතිවරුන් හිටියේ. මම උන්වහන්සේ එක්ක ආගම් පිළිබඳ බුද්ධිමය කතිකා පවත්වනවා. බුදුදහම පිළිබඳ උන්වහන්සේට තිබුණේ විශිෂ්ට දැනුමක්. මම පහර දුන්නේ බුද්ධාගමට නෙමෙයි. එහි ආරක්ෂකයන් විදියට කටයුතු කරන සංස්ථාවට. මම ‘දුට්ඨ ගාමිණි නොමළ වගයි’ පොතෙන් බෞද්ධ මහා සම්මේලනය පවා විවේචනය කරනවා.
• ‘පුපුරන වෙඩිලි’ වැනි පොත් ලියලා ඔබට ප්‍රශ්න ඇති වුණේ නැද්ද?
කිසිම ලේඛකයකුට මුහුණ දෙන්න සිද්ධ නොවුණ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දෙන්න මට සිද්ධ වුණා. කොටින්ම මාව හතරවැනි තට්ටුවට පවා ගෙන ගියා. පොතක් ලියලා හතරවැනි තට්ටුවට කුදලාගෙන ගිය ලංකාවේ එකම ලේඛකයා මම. ඒ කාලේ හතරවැනි තට්ටුවට ගියානම් ගියාම තමයි. ආපහු එන්නේ නැහැ. දොඩම්පෙ මුදලාලිට වෙච්ච දේ අපි අහලා කියවලා තියෙනවා. පොලිස්කාරයෙක් මගෙන් එක එක ප්‍රශ්න ඇහැව්වා. මිනිහට මං කියන දේ තේරුම් ගන්න බැහැ කියලා සිංහල උපාධිය කරපු උප පොලිස් අධිකාරිවරයෙක් ගෙන්වල මගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. පැය දොළහක් ප්‍රශ්න කළා. ඇයි මේ වගේ පොතක් ලිව්වේ. ආගමට, සදාචාරයට පහර දෙන මේ පොත ලියලා තියෙන්නේ ද්වේෂයෙන් කියන එකයි ඔවුන්ගේ චෝදනාව වුණේ. කලාව ජනතාවගේ සුබ සිද්ධියට පාවිච්චි කරන මේ කාලයේ ජන ඇදහීම්වලට, ආගමික ශාස්තෲන්ට අපහාස කරලා ජනතාවට විරුද්ධව කලාව කරන්නේ ඇයි කියලා මගෙන් ඇහැව්වා. මම කිව්වා මම හොඳ බුද්ධාගම්කාරයෙක්. ධර්මාචාර්ය විභාගයෙන් සම්මාන ඇතිව පාස් වුණු කෙනෙක් කියලා. නමුත් ඕනෑම දෙයක් ප්‍රශ්න කරන්ට කලාවට ඇති අයිතිය කෙළෙසන්න මම ඉඩ දුන්නේ නැහැ. අන්තිමෙට මාව ඇප පිට නිදහස් කරද්දි අර ප්‍රශ්න කරපු පොලිස් නිලධාරියාම මගේ ඇපෙට අත්සන් කරලා මාව ගෙදර හැව්වා.
• ඔබව මේ විදියට දඩයම් කරද්දි ඒ කාලේ හිටපු කිසිම ලේඛකයෙක් ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නැද්ද?
මාත්තෙක්ක දේශපාලනය කළ කරුණාසේන ජයලත්ලා පවා අහක බලා ගත්තා. ඒ අය අපි ප්‍රගතිශිලියි කියලා හිතපු අයනේ. ඔවුන්ගේ පසුගාමිත්වය තමයි මං එදා දැක්කේ. ඒ කාලේ හිටිය ලොකුම ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ. පොතේ තහනමට විරුද්ධව ප්‍රකාශයක් ගන්න ගියාම එයා කිව්වා ‘කරදර කරන්න එපා’ කියලා. කා තුළත් තිබුණේ ඇඟ බේරා ගැනීමේ කලාව.
• සමාජ ජීවිතයේදී කොහොම ද? ඔබව නොසලකා හැරිය ද?
ආගම් විරෝධි, සදාචාර විරෝධි චෝදනා ආවා. කොටින්ම අපහාස චෝදනාත් නැඟුවා. මාව නිගණ්ඨයකු විදියකට සැලකුවෙ. කොටින්ම මාව අපරාධකාරයෙක් විදියට හංවඩු ගැහුණා.
• මේ වගේ හේතු නිසා ඔබ ලේඛන කලාවෙන් පසුබැස්ස?
අවුරුදු විසි ගානක් මං පොත් නොලියා හිටියා. මං එතෙක් ගමන් ගත් සාහිත්‍ය ධාරාව වෙනස් කළා. කතන්දර කලාවකට මුල් තැන දුන්නා. ඓතිහාසික නවකතා ලිව්වා. පස්සෙ ටිකින් ටික තමයි මායා යථාර්ථවාදය (MAGICAL REALISM) දක්වා ආවේ.
• ඔබේ පොත්වලට නිසි විචාරයක් කෙරුණයි කියලා හිතනව ද?
නැහැ. මගේ පසුකාලීන පොත්වල පාඨක පඨිතයක් (වියමනක්) තිබෙනවා. ඒ කියන්නේ පාඨකයා ඒක වෙනම රීඩ් කරනවා. විචාරකයන් මේක තේරුම් ගන්න බවක් පෙනුණේ නැහැ.
• ඔබේ ගෙදර අය ඔබේ පොත් කියවනව ද?
කියවනවා. ඒත් ඔබ අප වගේ ඒවා කියවන්නේ ඉන් සාහිත්‍ය රසයක් ලබාගන්න නෙමෙයි. මේ පොතෙන් ආණ්ඩුව විවේචනය කරලා තියෙනව ද? මේ පොතේ කුණුහරුප තියෙනව ද කියල හොයන්න.
• ඔබ තනිකරම වෘත්තීය ලේඛකයෙක්?
ඔව්. විශ්‍රාම ගියාට පස්සේ මං දැන් දවසකට පැය 10ක් 12ක් ලියනවා. කිසිම දවසක මොනවහරි නොලියා ඉන්නේ නැහැ. එහෙම නොලියා හිටපු දවසක් වෙත්ද ඒක කාලකණ්ණි දවසක් විදියටයි මම දකින්නේ.
• සමකාලීන සාහිත්‍ය ගැන ඔබ මොකද හිතන්නෙ?
අපේ සාහිත්‍යය හරිම දරදඬුයි; අනම්‍යයි. ලේඛකයා තමයි අධිපති වෙලා ඉන්නෙ. නවකතාවේ ජනෙල් දොරවල් වහගෙන. ඒක ඇතුළේ රත්තරන් පුරවලා තිබ්බත් වැඩක් නැහැ. සුවඳ පැන් ඉස්සට වැඩක් නැහැ. පිටතට සුවඳ හමන්නේ නැහැ. අපේ සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයක් නැත්තෙ ඒකනේ. අපි තවමත් ඉන්නේ ‘ගම්පෙරළිය’ යුගයේ.