ශාකුන්තලයේ සියුම් ඉසව් ස්පර්ශ කිරීමක්... | සිළුමිණ

ශාකුන්තලයේ සියුම් ඉසව් ස්පර්ශ කිරීමක්...

‘කාව්‍යයන් අතුරෙන් නාටකය රම්‍ය වේ. නාටකයන් අතුරෙනුදු ශාකුන්තලය රම්‍ය වේ’

මේ අවධාරණය කර ඇත්තේ පශ්චාත්කාලීන භාරතීය විචාරකයෙකු යැයි දැක්වුණ ද සංස්කෘත නාට්‍යය පිළිබඳ බහුතරයකගේ පොදු මතය වන්නේ ද ඒ ය.

මහාචාර්ය ආරිය රාජකරුණා විසින් (ගොඩගේ ප්‍රකාශනයක් වශයෙන්) පළකරන ලද ‘භාරතීය මහාකවි කාලිදාසගේ සකුන්තලා නාට්‍යය පිළිබඳ නව අර්ථකථනයක් සහ වෙනත් ශාස්ත්‍රීය නිබන්ධන නම් වූ කෘතිය වැදගත් වන්නේ මේ අනුව ය. දීර්ඝ ග්‍රන්ථ නාමයක් සහිතව මුත් පිටු 88 කින් සමන්විත වන මෙම කුඩා කෘතිය වත්මන් තරුණ පරපුරට වඩාත් උපයෝගී විය හැක්කකි යි අපට සිතෙයි. මීට ඇතුළත් වන්නේ මහචාර්ය ආරිය රාජකරුණා විසින් වරින්වර ලියා (පුවත්පත්වල) පළකරනු ලැබූ ශාස්ත්‍රීය මට්ටමේ ලිපි 11 කි. මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා නාට්‍යය පිළිබඳව ලියවුණු දීර්ඝ ලිපි දෙකක් හැරුණුවිට යට සඳහන් ශාස්ත්‍රීය ලිපි 10 ද ඊට ඇතුළත් වේ. ඒ අනුව, පුරාණ ලෝකයේ ස්ත්‍රීන් රඟ පෑ එකම වේදිකාව සංස්කෘත රංගපීඨයයි. (සිංහල පරිවර්තනය කළ භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය පිළිබඳ විමර්ශනයක්), පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අංශය මගින් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී රඟදැක්වුණු ‘චලන හා නිසල’ රංගනයට නැගුණු මහාකවි රබීද්‍රනාත් තාගෝර්ගේ ‘සුභා’ සහ ‘ගීතාංජලී’, රූකඩ නාට්‍ය කලාව හා සංස්කෘත නාට්‍යකලාව හඳුන්වා දුන් විශ්‍රාමලත් මහාචාර්ය ජයදේව තිලකසිරි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘රැගෙන අවි මම ද එමි’ හා ජේ.එම්. සින්ජ්ගේ ‘මුහුදු යන්නෝ’ නාට්‍ය පිළිබඳ විමසුමක්, ඔශු යසුජිරෝගේ තොතෝකියෝ වෘත්තාන්තය, මහා සිනමාව කියවීම (හිනිදුම සුනිල් සෙනෙවි), පණ්ඩිත සිරි තිලකසිරිගේ මුවදෙව්දාවත සංස්කරණය පිළිබඳ හැඳින්වීමක්, ‘මාර්ටින් වික්‍රමසිංහ චින්තනය අනාවරණය කෙරෙන අගනා ග්‍රන්ථ තුනක් (දයාපාල ජයනෙත්ති, සඳගෝමි කොපරහේවා සහ නුවරඑළියේ හේමපාල සම්පාදනය කළ), සිංහල නවකතා විචාරයෙන් සමුගත යුතු කාලය එළඹිලා යන ලිපි මෙම කෘතියේ සංගෘහිතව ඇත. මේ ලිපි බොහොමයක ශාස්ත්‍රීය වටිනාකමක් මෙන් ම කාලීන වැදගත්කමක් ද තිබේ. එසේ වුව ද ඉඩ අවකාශ ද සැලකිල්ලට ගනිමින් මෙහිදී අප විසින් විමසුමට ලක් කරනු ලබන්නේ මේ යුගයට වඩාත් වැදගත් යැයි සිතෙන ලිපි තුනක් ගැන පමණි. මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා නාට්‍යය පිළිබඳ ලියැවුණ ලිපි ද ඇතුළු ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අංශය මගින් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී රඟදැක්වුණු මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘සුභා’ හා ‘ගීතාංජලී’ සහ ඔශු යසුජිරෝගේ ‘තෝකියෝ වෘත්තාන්තය’ යනු මේ ලිපි ත්‍රිත්වයයි.

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ සිට ප්‍රභවය ලබා ඇති කලාමාධ්‍යයන් අතරින් බෙහෙවින් ම දියුණු තත්ත්වයකට පත් ව තිබුණේ නාට්‍යකලාව බව ප්‍රකට ය. ලෝකයේ පැරණි ම නාට්‍යකලාව පහළ වූයේ ක්‍රිස්තුපූර්ව පස්වන සියවසේදී ය. එහි ජාතභූමිය ලෙස සැලකෙන්නේ ග්‍රීසියයි. අනතුරුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ රෝම නාට්‍යකලාව පහළ වූ අතර ඊට සමගාමී ව මෙන් සංස්කෘත නාට්‍ය කලාව ද බිහිවන්නට ඇතැයි මහාචාර්ය රාජකරුණා පවසයි.

සංස්කෘත නාට්‍යකලාවට ආවේණික පොදු ලක්ෂණ කිහිපයක් කෙරෙහි මෙහිදී මහාචර්යවරයාගේ අවධානය යොමු වේ. පුරාණ ලෝකයේ ස්ත්‍රීන් රඟපෑ එක ම වේදිකාව සංස්කෘත රංගපීඨය බව මෙහිදී ඉස්මතු කර දැක්වෙන්නේ සිංහලට පරිවර්තනය වූ ‘භරතමුණිප්‍රණීත නාට්‍ය ශාස්ත්‍රය’ නම් වූ කෘතිය ඇසුරෙනි. මෙම කෘතිය කාණ්ඩ තුනකින් සමන්විත ය. (පරිවර්තනය: මහාචාර්ය වෝල්ටර් මාරසිංහ) පුරාතන යුගයේදී ග්‍රීසිය හා රෝමය වැනි අපරදිග රටවලත් අද දක්වා ම චීනයේ පිකිං ඔපෙරා රංගපීඨවලත් ස්ත්‍රී චරිත රඟපානු ලබන්නේ පිරිමින් විසිනි යි ඒ අනුව පෙන්වා දෙනු ලැබෙයි. එසේ වුව ද සංස්කෘත රංගපීඨයේ ආරම්භයේ සිට ම ස්ත්‍රී චරිත ස්ත්‍රීන් විසින් ම නිරූපණය කරන ලද බව භරතමුනිගේ නාට්‍යශාස්ත්‍රය පෙන්වා දී ඇති බව මෙහිදී අවධාරණය කෙරෙයි. මෙම පුරාතන නාට්‍ය කලාවේ විශිෂ්ටත්වය මහාචාර්ය රාජකරුණා සන්සන්දනාත්මකව දක්වන්නේ මෙලෙසිනි.

සංස්කෘත නාට්‍ය කලාව වූ කලි පුරාතන යුගයේදී ග්‍රීසිය හා රෝමය යන අපරදිග රටවලත්, චීනය හා ජපානය යන පෙරදිග රටවලත් පැවති නාට්‍ය කලාවන්ට වඩා සමහර අතින් ප්‍රගතිශීලී වූ මුහුණුවරක් ගත් කලා මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැකිය.

(29 පිටුව)

එවැනි විශිෂ්ටත්වයකට හිමිකම් කියන සංස්කෘත නාට්‍යකලාවේ මුදුන්මල්කඩ ලෙස හැඳින්විය හැකි වන්නේ මහාකවි කාලිදාසයන්ගේ ශාකුන්තලයයි. එය ක්‍රි.ව. පස්වන හෝ හයවන සියවසට අයත් වූවක් ලෙස සැලකෙයි. මෙහි මූලාශ්‍රය වන මහාභාරතයේ සකුන්තලා ආඛ්‍යානය සම්පාදනය වී ඇත්තේ ඊට සියවස් ගණනාවකට කලිනි. මහාභාරතය නමැති කෘතියේ එන සකුන්තලා ආඛ්‍යානය හකුළුවා දක්වන මහාචාර්ය රාජකරුණා එයත් මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා නාට්‍යයත් අතර වන සමානතා මෙන් ම අසමානතා ද පරිස්සමින් පෙළගස්වයි. මෙහිදී අපගේ මතකයට නැගෙන්නේ නවකතාවක් චිත්‍රපටයකට නැගීමේදී සිනමාකරුවා අතින් උචිත ලෙස සිදු වන සංස්කරණ කාර්යයයි. මූලාශ්‍රයේ සඳහන් කතා පුවත ප්‍රේක්ෂකයා හමුවේ වේදිකාගත කිරීම සඳහා කතුවරයා (කාලිදාස) එය ඉමහත් විපර්යාසයකට බදුන් කර ඇති බව මෙන් ම එය සිදු කළ ආකාරයත් මෙහිදී දැක්වේ. නාටකයෙන් නිරූපණය කෙරෙන සිදුවීම් මූලාශ්‍රයට වැඩියෙන් ප්‍රේක්ෂකයාගේ විශ්වසනීයත්වය තහවුරු කරන ආකාරය ද මහචාර්ය රාජකරුණා පෙන්වා දෙයි.

සකුන්තලා නාට්‍යය ලියූ කාලිදාසයන් තුළ පැවති ප්‍රධාන අරමුණ අතරේ සැඟවුණ වෙනත් සියුම් අරමුණු කෙරෙහි ද මෙහිදී මහාචාර්ය රාජකරුණා පාඨකයාගේ අවධානය යොමු කරවයි. සොබාදහම, වන ජීවීන් හා ගහකොළ කෙරෙහි සංවේදී වීමේ අවශ්‍යතාව ද මෙහිදී ඉඟි කෙරෙන්නේ නාට්‍යයේ චරිත ඇසුරෙනි. සකුන්තලා වරක් සිය යෙහෙළියන්ට කියා සිටින්නේ ‘මේ කේසර ගහ සුළඟට හෙලවෙන දලු නමැති ඇඟිලිවලින් මට අඬගහනවා වගෙයි. මම ඒකට ටිකක් සැලකිලි දක්වලා එන්නම්’ කියා ය. ඉන් විශද වන්නේ වෙස්සන්තර ජාතකයේ මද්‍රි දේවියට මෙන් ගහකොළ සමඟ, තිරිසන් සතුන් සමඟ සංවාදයේ යෙදිය හැකි, ඒ සම්බන්ධයෙන් පුරුදු පුහුණු කළ මනසක් සකුන්තලා සතු ව ද පැවති බව ය. ආසියාවේ මෙතෙක් නිෂ්පාදනය කෙරුණ උසස් ම චිත්‍රපටය කුමක් දැයි දැනගැනීමට මේ රටේ සිනමා රසිකයෝ ද මහත් කුහුලක් හා උනන්දුවක් දක්වති යි අපි සිතමු. 2015 වසරේ දකුණු කොරියාවේ පැවති 20 වන බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී මේ පිළිබඳ නිගමනයක් එළිදැක්වී තිබේ. ඒ අනුව ආසියාවේ මෙතෙක් බිහි වී ඇති උසස් ම චිත්‍රපටය වන්නේ තෝකියෝ වෘත්තාන්තයයි. ජපන් ජාතික ඔශු යසුජිරො 1953 වසරේදී නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය එහිදී ජයග්‍රහණය කර ඇත්තේ ආසියාවේ මෙතෙක් නිෂ්පාදිත විශිෂ්ට චිත්‍රපට නවයක් අබිබවමිනි.

විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම චිත්‍රපටයේ තිරනාටකය ද මීට වසර 30කට පෙර මහාචාර්ය ආරිය රාජකරුණා අතින් ම සිංහලට පරිවර්තනය වී තිබීමයි. (මෙය පළ ව ඇත්තේ ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට කථා නම් වූ ග්‍රන්ථයෙහි ය) මේ විශිෂ්ට චිත්‍රපටයේ තිරනාටකය කියවීමට හා එහි සුවිශේෂතා හඳුනාගැනීමට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පවා උදාසීන වීමේ ආදීනව මහාචාර්ය රාජකරුණා අවධාරණය කරන්නේ මෙසේ ය.

අද මෙරට සෞන්දර්ය විෂයන් උගන්වන විශ්වවිද්‍යාල කිහිපයක්ම තිබේ. වර්ෂයක් පාසා ඉන් බිහිවන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ද විශාලයි. කෙසේ වුවද ඔවුන් අතර ‘තෝකියො වෘත්තාන්තය’ තිරනාටකය කියවූ කෙනෙකු හෝ හැදෑරු කෙනෙකු සොයා ගැනීම අපහසුයි. ඉන් පැහැදිලි වනුයේ කුමක් ද? විශිෂ්ට ගණයේ චිත්‍රපටවල තිරනාටක කෙරෙහි ආචාර්යවරුන්ගේ මෙන්ම ශිෂ්‍යයින්ගේ අවධානය යොමු නොවූ බවයි. එබඳු රටක සම්භාව්‍ය ගණයේ චිත්‍රපට කලාවක් පහළ විය හැකි ද?

(56 පිටුව)

මහාචාර්ය රාජකරුණා මෙහිදී ඉඟි සපයන්නේ විභාග-රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක දුර්විපාක වශයෙන් සිදුවන සංස්කෘතික කාන්තාරකරණය ගැන විය හැකි ය. ලෝකය මිටින් ගත හැකි යැයි කියන අන්තර්ජාල ආදී තාක්ෂණික මෙවලම් මේ රටේ තරුණ පරපුරේ බුද්ධි ප්‍රභවය උදෙසා කොතරම් නම් දායක වී ඇත්තේ ද? තොරතුරු, දැනුම හා බුද්ධිය අතරේ පවතින්නේ කෙබඳු සබඳතාවක් ද වැනි ප්‍රශ්න සඳහා මෙහිදී අවකාශයක් විවර වන බවකි, අපට හැඟෙන්නේ.

මහාකවි රබින්ද්‍රනාත් තාගෝර්ගේ ‘සුභා’ නම් වූ කෙටිකතාව ඇසුරෙන් (එතුමාගේ ගීතාංජලී කාව්‍යයෙන් උපුටා ගැනුණ පාඨ කිහිපයක් ද සහිතව) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අංශය නව රංග ශෛලියකට අනුව නිෂ්පාදනය කළ ‘සුභා’ හා ‘ගීතාංජලී’ නාට්‍යය ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී වේදිකාගත වීම පිළිබඳ පුවත රැගත් ලිපිය ද කාලීන වැදගත්කමකින් යුක්ත ය. 2015 පෙබරවාරියේදී කල්කටා නගරයේ පිහිටි ශාන්ති නිකේතනයේ සතියක පමණ කාලයක් රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ උත්සවයක් පැවැත්වී ඇති අතර තාගෝර්ගේ සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් නිර්මාණය වූ නාට්‍ය හතරක් ද එහිදී රඟදැක්වී තිබේ. මේ නාට්‍ය තුනක් ඉන්දියාවේ විශ්වවිද්‍යාල මගින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අංශය දිරිපත් කළ නාට්‍යය වන්නේ ‘සුභා’ හා ‘ගීතාංජලී’ යි. ‘චලන හා නිසල රංගනය’ ලෙස හැඳින්වෙන රංග ශෛලියකින් නිෂ්පාදිත මෙම නාට්‍ය පිළිබඳ විස්තරයක් මෙන් ම සුභා කෙටිකතාවේ සාරාංශය ද මහාචාර්ය රාජකරුණා මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.

සුභා කෙටිකතාව කවර නාට්‍ය සම්ප්‍රදායකට අනුව වුව රංගනයට නැගීම දුෂ්කර කාර්යයක් වන බව ය, මහාචාර්ය රාජකරුණාගේ අදහස වන්නේ. ඒ සඳහා නවරංග ශෛලියක් නිර්මාණය කිරීමේ ගෞරවය නාට්‍යයේ අධ්‍යක්ෂිකා කංචුකා ධර්මසිරි වෙත පිරිනැමිය යුතු බව ද ඒ සමඟ ම අවධාරණය කෙරෙයි.

සකුන්තලා කතාපුවත අප අසා ඇති මුත් මෙහි සඳහන් අර්ථකථන අපට අලුත් ය. වැදගත් ය. ඒ අයුරින් ශාස්ත්‍රීය මෙන් ම තොරතුරුමය වටිනාකමකින් ද යුතු කෙටි ලිපි සංග්‍රහයක් පාඨකයාට ඉදිරිපත් කිරීම කාලෝචිත වන බව අපගේ අදහසයි. මෙහි අඩංගු සෙසු ලිපි දැනුම සඳහා මෙන් ම දැක්ම සඳහා ද අවකාශයක් විවර කරන බව අපගේ විශ්වාසයයි.

Comments