
ඓතිහාසික සාහිත්‍ය දේශනය - 1958
මහාචාර්ය සෙනරත් පරණවිතාන
1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය ත්‍රෛමාසික සඟරාව’ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘සත්මඬල’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමි වේ. මේ ඓතිහාසික ලිපිය ශාස්ත්‍රාභිලාෂී මතු පරපුරට කියවා ගැනීම සඳහා මෙලෙස පළ කරනු ලබන්නේ, දැන් එහි පිටපතක් සොයා ගැනීම අතිශය උගහට බැවිනි.
එතුමා කථාවෙහි සඳහන් කළා මහාවංශය ප්‍රසාද සංවේග දෙක ඇති කරලීම සඳහා ලියූ ඉතිහාස ග්රන්ථයක් බව. ඒ ප්‍රසාද සංවේග හොඳ හැටි ම ලබාදෙන යුගයක් තමයි දඹදෙණි යුගය. දඹදෙණි යුගයෙහි නෂ්ටාවශේෂ පිළිබඳව තවම මට හිතෙනවා කිසිම සෙවිල්ලක් කෙරිලා නැත කියලා. අනුරාධපුර, පොලොන්නරු ආදි යුග පිළිබඳව හුඟක් දුරට සොයල තිබෙනවා. සීගිරිය පිළිබඳව මට හිතෙනවා මුළු ජිවිතයම වාගේ අපේ මහාචාර්ය තුමන් කැප කළා. දඹදෙණි නෂ්ටාවශේෂ ගැන කරුණු සෙව්ව කියන එක මට කියන්නට අමාරුයි. මේ වෙලාවේදි මා එවැනි නිෂ්ටාවශේෂ එකක් දෙකක් ගැන සඳහන් කරනවා. තවත් සාකච්ඡාවට සහභාගි වන අය ඉන්නට පුළුවන් නිසා වැඩිය කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දඹදෙණි පරාක්‍රමබාහු රජතුමා උපන්නේ ශ්රීවර්ධනපුරයෙහි කියන මහාවංශයෙන් පැහැදිලියි. වෙනත් තත්කාලීන ලේඛනවලින් පැහැදිලියි. මේ ශ්‍රී වර්ධනපුරය කුමක් ද කියල නිගමනය කිරීම බොහොම අපහසු කාරණයක්. ඒ පිළිබඳව ඉදිරිපත් වී තිබෙන මතභේද ගොඩක් තියෙනව. මේ නගර මේ ළඟම අඩ යොදුණක් ප්‍රමාණයේ තිබුණු බවත් පැහැදිලියි. මේ ශ්‍රී වර්ධනපුරය කුමක් ද කියල නිගමනය කිරිම බොහොම අපහසු කාරණයක්. මේ ළඟම අඩ යොදුනක් ප්‍රමාණයේ හැතැප්ම තුන හතරකට එහා විශාල නටබුන් තිබෙන පොලොන්නරු යුගයට අයත් කලාත්මක යම් යම් දේ තිබෙන ස්ථානයක් “වෙහෙරගල” නමින් සඳහන් වෙනවා.
මම මුලදී අදහස් කළා මීට අවුරුදු කීපයකට පෙර ඒ ස්ථානය දැකල මහාවංශයේ තොරතුරුත් එක් කරල සංසන්දනය කරල මේ ස්ථානය වෙන්ට පුළුවන් ශ්‍රී වර්ධනපුරය කියල. ඊට පස්සෙ ඒ අදහස මම පත්‍රයකටත් ලියල අපේ ඒ මහාචාර්යතුමා පුරාවිද්‍යා අධිකාරි වෙලා ඉන්න වේලාවෙදි ඉදිරිපත් කළා. මගේ මතකේ හැටියට උන්නැහේ සිතියමේ සටහන් කර ගත්තා. ඊට පස්සේ මේ ප්‍රසාද සංවේග යුගය පිළිබඳව මාත් තරමක් දුරට මාස ගණනක් මුළුල්ලේ සෙව්ව.
හුඟ දෙනෙකුට බලාගන්නට පුළුවන් එහෙම සොයාගෙන යන විට තවත් කීප පළක ජනකතා අනුව තොරතුරු සොයා ගන්ට ලැබුණා. ඒ එක පළක් තමයි ටැම්පිටිගොඩ කියල මේ ළඟ තිබෙන පුරාවස්තු තියෙන තැන. වෙහෙරගල පුරාවස්තුවලටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලංකා මිනුමේදී ඒ කාලෙ සිටිය අය මේ පුරා වස්තුවල කිසිම වටිනාකමක් නොදැන ගල් කණු කඩල වළවල්වලට දමලා පස් වහලා තිබුණ බව මට දැනගන්නට ලැබුණා.
තවමත් හුඟක් දුරට එහි නෂ්ටාවශේෂ තියෙනවා. ජනකථා අනුව මේ පැත්තේ අය අතරේ පවතිනව සමහර විට මෙතන කියල ඒ ශ්‍රී වර්ධනපුරය තිබුණේ. ඒත් අඩ යොදුන් ප්‍රමාණයි. ඊටත් වඩා තවදුරටත් සාක්ෂි සහිතව තවත් ජනප්‍රවාදයක් සාක්ෂි වශයෙන් ඓතිහාසික ශාස්ත්‍රිය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් ‘වීරගල’ අලව්වට කිට්ටුව කවුරුත් දන්නවා. මේ ඉදිරිපත් කරන්නේ ශ්‍රී වර්ධනපුරය ගැන විස්තර තරමක් දුරට ශාස්ත්‍රීය සාක්ෂි අනුවයි. ඉස්සර පුරාවිද්‍යා අධිකාරිව සිටි බෙල් මහත්මයා විසින් වාර්තා ගත කරපු කෑගලු වාර්තාවේ ‘නාරම්බැද්දේ’ ශිලා ලිපියේ සඳහන් වෙනව එහි පරාක්‍රමබාහුය කියල පිරිවෙනක් ගැන. එතකොට මහාවංශයේ සඳහන් වෙනවා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී වර්ධනපුරයේ විශාල විහාරයක් කරල, පරාක්‍රමබාහු නමින් පිරිවෙනක් කළ බවත්. ඒත් ඔය නාරම්බැද්දේ ශිලා ලිපියත් වීරගලත් දෙක අතරේ තිබෙන ඓතිහාසික නෂ්ටාවශේෂ අනුව දැනට තිබෙන සාක්ෂි අනුව, ඒවා දුර්වල නමුත් ඒ සාක්ෂි අනුවත්, ජනප්‍රවාද අනුවත්, ඒ ශ්‍රී වර්ධනපුරය වීරගල ප්‍රදේශයත්, නාරම්බැද්දත් ඇතුළු ප්‍රදේශය විය යුතු යැයි මම කල්පනා කරනවා. මා හිතනවා පරණවිතාන මහතා ඒ ගැන යමක් කියනවා ඇතැයි කියා. දඹදෙණි රාජ්‍ය වර්ෂ පිළිබඳව යමක්, මා සිතනවා එතුමාගේ කථාවේ සඳහන් නූණාදෝ කියල. ඒ කොහොම නමුත් කොච්චර කලක් මේ දඹදෙණි යුගය පැවතුණා ද කියන එක එතනත් බොහොම වැදගත්. මේකයි මා මේ වෙලාවේදී ඉදිරිපත් කරන කාරණය.
මූලාසනය - මීළඟට කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් වහන්සේ,
කොටහේනේ පඤ්ඤාකිත්ති ස්වාමින් වහන්සේ, - මූලාසනයේ නායක ස්වාමින්ද්රයන්ගෙන් අවසරයි, පින්වතුනි, මම වචන දෙකයි කතා කරන්නෙ. 1936 විද්‍යොදය වාර්ෂික සංග්රහයෙහි පරණවිතාන මහතාගේ ලිපියක සඳහන් වෙනවා ජාවක රට ගැන. එදා මෙන් ම අදත් ඒ මහතා ජාවක රට පිළිබඳව සමාන අදහසක් දරන බව පෙනෙනවා.
ඒ පිළිබඳව දඹදෙණියේ වැඩ සිටි මේධංකර මාහිමියන් වහන්සේගේ විනය සන්නය ඒක අමුද්‍රිත එකක්. ඒ පොතේ පාඨයක සඳහන් වෙනවා ඒ මහතා කාරණය පරීක්ෂණයට භාජන කරනවා ඇතැයි කියා. මා සිතනවා “අන්ධ නම් අන්ධ රට... අන්ධ නම් තමලිංගරට ජාවක රටයි” කියල. මේ හැටියට ජාවක රට “අන්ධ රට” කියන එකයි දඹදෙණි කාලයේ වැඩ සිටි මේධංකර මාහිමියන්ගේ අදහස. පරණවිතාන මහතාගේ විශද ඥානයට, විචක්ෂණ බුද්ධියට මේ කාරණය මා යොමු කරවන්නෙ සමහරවිට ජාවක රට පිළිබඳව ඒ මහතා අදහස් කරන අදහසට වඩා ‘අන්ධරට’ යන අදහස යෝග්‍ය යැයි මගේ කල්පනාව නිසයි.
පරණවිතාන මහතා - අන්ධරටය කියල එතැන තියෙන්නේ දකුණු ඉන්දියාවේ අන්ධරට ද? වෙන එකක් ද? ආන්ද්‍ර? ඒක වෙන්න බැහැ. තමලිංගම් කියන නම මහා නිර්දේශ පාඨයකත් තිබෙනවා. පුරාණ කාලයේ වෙළෙන්දන් යන ප්‍රදේශවල ලැයිස්තුවකය ඇතුළත් වන්නේ. තම්බ්රලිංග නම සඳහන් චන්ද්‍ර භානුගෙ ශිලා ලිපිය තිබෙන්නේ ‘ජෛයා’ කියන තැන. මලය අර්ධද්වීපයේ ඉහළ කොටසේ. එතැන ලිපියේ තියෙන්නේ චන්ද්‍රභාණු රජ්ජුරුවෝ තාම්බ්ර ලිංගේශ්වර කියල. ඒ කියන්නේ තාම්බ්රලිංග ප්‍රදේශයට අධිපති කියල. දකුණු ඉන්දියාවෙන් ගිහිල්ලා එතැන ශිලා ලිපියක් පිහිටුවන එක තේරුමක් තිබෙනවා යැ. ඒ නම චීන ලිපිවලත් තියෙන්නෙ තන්මලිං කියල. තාම්බ්‍රලිප්ති කියලා බෙංගාලයේ තිබුණු නැව් තොටටත් සමහර සිංහල ලිපිවල තියෙනවා තඹලිංගමුව කියල.
සුමනජෝති ස්වාමින් වහන්සේ, දඹදෙණි යුගයේ පුරාවස්තු ගැන කියන එක ගැන, දඹදෙණි යුගය පිළිබඳ සැලකිය යුතු පුරාවස්තු තිබෙන්නේ යාපහුවෙ. එතැන විශාල නගරයක්, කොටු බැම්මක් තියෙනවා. දළදා මාලිගාව පිහිටි තැන ගල් වැඩ තිබෙනවා. යාපහුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු ගණනක සිට වැඩ කළා. ඕනෑ කෙනෙකුට හොඳට බලාගන්නට පුළුවන් විධියට දැන් හරිගස්සල තියෙනවා. ඒ ඇරෙද්දි අනික් කියපු තැන්වල ඒ තරම් සැලකිය යුතු දෙයක් ඇතැයි කියල හිතන්න බැහැ.
ගල් කණුවක් දෙකක් නම් ඇති. පොළොව යට මොනව තියෙනව ද කියල කවුද දන්නෙ. රත්තරන් තියෙන්න පුළුවන්. මතුපිට තියෙන දේවල් තමයි කියන්නට පුළුවන්. ඔය නැම්බමර, අවට තිබෙන පුරාවස්තු ඔක්කොම දඹදෙණි යුගයට අයිතිය කියල කියන්නට බැහැ. දඹදෙණියේ ප්‍රදේශවල තිබෙන දේවල් කියන්නට පුළුවන්.
දඹදෙණි ප්‍රදේශයත්, යුගයත් දෙකක්. මම දැක්කා පත්‍රයේ තිබුණා මේ ප්‍රදර්ශනයේ කිල්ලෝට වගයක්, දුම්කොළ පෙට්ටියක්. දඹදෙණි කාලයේ පුරාවස්තු හැටියට පෙන්නල, මම හිතන්නෙ නැහැ ඒවා දඹදෙණි යුගයෙහි කියල. කොහොමහරි තියෙන්න පුළුවන්. දඹදෙණිය පැත්තේ තිබිල හම්බ වුණා කීව පලියට ම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ ය කියල කියන්නට බැහැ. ගල් කණුත් ඒවාගේ වෙන්නට පුළුවන්. විජයබාහු පරාක්‍රමබාහු යන රජවරුන්ට ඉස්සර වෙලත් මේ පෙදෙස්වල මිනිස්සු ඉඳල තියෙනවා. ක්‍රිස්තු වර්ෂයට ඉහත කාලෙයි කියන්නට පුළුවන් ශිලාලිපි හම්බ වෙලා තියෙනවා. ඒවා ලැයිස්තුවල තියෙනවා.
දඹදෙණි පුරාවස්තු ගැන සලකන විට විශේෂයෙන් සඳහන් කළ යුතු දෙපොළක් තියෙනවා. බෙලිගල ගලින් තනාපු බෝ කොටුවක් තියෙනවා. සඳකඩ පහණක් ආදියත් තියෙනවා. අනික් ස්ථානය යාපහුව. කවුරුත් ගොහින් ඇති යාපහුවට. කාටවත් ඔක්කොම තැන්වලට යන්නට පුළුවන්කමක් නැහැ. නොගිය තැන් බොහොම ඇති. එහෙම තැනක් තිබෙනවා නම් ආණ්ඩුවට දැන්වූවාම ඒ සම්බන්ධ කටයුතු භාර මුලාදෑනි ක්‍රියා කරනවා ඇති කියල මට හිතෙනව.
මට ප්‍රශ්නයකට උත්තර දෙන්ට බැරි වුණා. දඹදෙණි යුගය කියන්නේ මොකක්ද කියන එක කියන්නට. “කලියුගය” වගේ එකක් ද කියල වෙන්න ඇති අහන්නේ. වැඩි කාලයක් තිබුණේ නැහැ, දඹදෙණියේ රජවරු හිටපු කාලය. මාඝ රජ්ජුරුවෝ පොලොන්නරුව අල්ලා ගත්තේ 1215 අවුරුද්දෙ. 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සිංහාසනයට ආවෙ 1236. තිස්පස් අවුරුද්දයි රජ කළේ. විජයබාහු රජ්ජුරුවන් 4 අවුරුද්දයි රජ කළේ. බෝසත් විජයබාර් රජ්ජුරුවන්ට අවුරුදු දෙකක්වත් රජ කරන්නට බැරි වුණා. එතකොට ඔක්කොම 41 යි. බුවනෙකබාහු රජ්ජුරුවෝ මෙහෙ රාජ්‍යයට ඇවිත් දඹදෙණියේ ටිකක් කල් ඉඳල යාපහුවට ගියා කියල තියෙනවා. රාජ්‍ය කාලය කොච්චර ද කියල සඳහන් වෙලා නැහැ. කුරුණෑගල රාජධානිය තිබෙන කාලයේ මේ නගරයත් රාජධානියක් හැටියට තිබුණා.
තව කොටසක් ලබන සතියේ...