කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

නිද­හස


දළ රළු කළු මුහුද හැපි හැපි වෙරළ කරා
සැන­සෙයි ලක් මවගෙ නිද­හස් පහස උරා
සම­නොළ සිරස වැඳ හිරු වළා පටල ඉරා
නහ­වයි සිහ දදය රන් රැස් දහර පෙරා

සිහ­සුන් අරා වැජැ­ඹුණු හෙළ නර­වි­රු­වන්
ලක් නිද­හස පතා දිවි දුන් රණ­වි­රු­වන්
පිළි­ම­ල්හුගේ ගෙළ සිඳ දැමු විරු­ද­රු­වන්
නිද­හස සම­ර­මින් සැමැ­රිය යුතු­වි­රු­වන්

දහ­සක් වසක උරු­මය මගෙ සිහළ රටේ
නිද­හස් කිරණ රැස් දහ­රින් එළිය වැටේ
විව­රව සැලෙන සඳ සම්පත් බදු­රු­ගටේ
ජය ගී ගයයි සිඳු රළ පෙළ වෙරළ වටේ

අබි­මුව සතරු හිස් සිඳ සිඳ බිමට හෙළූ
කඩු­පත් ගැටෙන හඬ විසි­රුණු රුහිරු ගැලූ
ජය දද සෙවණෙ ජය­පැන් රණ­බි­මෙහි හැලූ
සට­හන් අදත් වා රැලි­වල තියනවලූ

සිංහල දෙමළ මුස්ලිම් යන කොටස් තුන
සෙසු ජන උරුම රැක මානව උසස් ගුණ
සාමෙන් සම­ගි­යෙන් විසු­මට සලස්වන
නිව­හල් රටක රජ වේවා! මිනිස් ගුණ

ජෝ. නව­රත්න


වැස්ස නුඹ කොහිද

රන්වන් ක­ර­ලින් බරවී
දෙක­න්න­ය­ටම
අටු­කොටු පුර­වපු
දානෙට මඟු­ලට මර­ණෙට
වී හාල් ටික සරි­කළ
මහා කෙත් යායට
අහෝ සිදු­වුණ විප­තක
අරු­මය...
ඉරි­තළා ගිය මහ­පො­ළොව
දිය බිඳක් යදී
මරණ මංච­කයේ සැත­පුණ
ආතු­ර­යෙක් වගේ...
දරා ගත නොහැ­කිව
මේ විපත..
නියං කොබෙයි රෑනත්
ගම අත­හැර ගිහින්...
උදැ­ල්ලට නගු­ලට
දෑතේ මතු­වුණු කර­ගැට
රිදුම් දෙන විට...
හිස් අහස දෙස බලා
හූල්ලන හැටි අප්පච්චි...
ගිනි හුළඟ වියරු වී
සොරා­ගෙන යන හැටි
වැව් පතුලෙ
අන්තිම දිය බින්දු­වත්...
හූ තලන විට නරි රෑන
තිගැස්සී ඇහැ­රෙයි
අම්මා...
මහා කෙත්යා­යට සිදු­වුණ
විපත ගැන කම්පි­තව

රත්න­සිරි පති­රණ
 


සම­රමු...!

ජාති ආගම් භේද දුරැලා එකම රට වැසි­යන් වෙමු
එකම මව­ක‍ෙග දරුවෝ විල­සින් ක්‍රෝධ වෛරය දුර­ලමු
සිහළ දිපෙට වෙනත් කොඩි නොව සිංහ ධජ­යම ඔස­වමු
සාම­යෙන් සම­ගි­යෙන් එක් වී ලැබූ නිද­හස සම­රමු

සීතා ජෝති­රත්න


සමඟිව එක් වෙමු

බඩ පුරා කෑම කා ගුලි ගැසී සැත­පීම
කාගෙ­වත් අණ­ස­කට දෙන වැඩෙහි නියැ­ළීම
නිද­හ­සයි සිතු­ව­හොත් එය ලොකුම වැර­දීම
එය තමා ලොවේ ඇති දරු­ණු­තම ගැති­වීම

ආකල්ප සකස් කර මවු බිමේ සෙත පතා
දෙසෙහි සම්පත සදා සපු­ර­නුව අවැ­සිතා
මනස උස් තැනෙහි ලා අබි­බවා දුබ­ලතා
සම­ඟි­යෙන් වැඩ කරමු එකම පවු­ලකි සිතා

පයස් ප්‍රනාන්දු
 


දේව කන්න­ල­ව්වක්

ඇළ­දොළ පොකුණු වැව් බැලු බැලු අත සිඳුණු
ලක්වැසි දනගෙ සැම නෙත් කඳු­ළින් පිරුණු
නිය­ඟය උදා­විය නොපැ­තුව ලෙස දරුණු
නෙත් මානයේ නැත තව­මත් වැහි ලකුණු

බීමට සතට තැනු­මට විදු­ලිය බලය
ඇවැ­සිම වලා­හක දෙවි­යන් දේ ජලය
දිය සිඳු­මට විනා­සය කළ වන මුලය
දෙවි­යනි ඉරි තළා සිරි ලක් මිහි තලය

යල මහ පාළු වී ඇත සිවු කොනෙම රටේ
සහලේ මිලක් නැග යයි වේග­යෙනි හැටේ
දිව නෙත් යොමා තතු දැක අද තිබෙන වටේ
දෙවි­ඳුනි! වඩිනු මැන ගෙන වැසි බදුරු ගටේ

රට වැසි මගේ ජන­තා­වට අහිං­සක
නිය­ඟය මතින් නොම දෙන්නට දුකින් දුක
රැක ගැනු­මට වනය මිනි­සුන් සතුන් ටික
වස්සනු මහා වැසි තතු දිව නෙතින් දැක

තෙප්ප­නාවේ ගුණ­ව­ර්ධන


කඳු­ළැල්ල - හස­රැල්ල

ඉපදී මොහො­ත­කට හිනැ­හුණ සිතු­විල්ලේ
පැව­තුණ පැතුම් බර සිහි­ලකි සැන­සිල්ලේ
තනිවී තියේ පිළිබිඹු­වක් කඳු­ලැල්ලේ
අද කෝ එළිය ඊයේ දුටු හස­රැල්ලේ

විනීතා කේ. හේරත්
 


බොළඳ ඉටි

නන්නා­ඳු­නන
ගැඹුරු පැතු­මක පතු­ල­ටම
දිය­වෙවී යන
ළද බොළඳ ඉටි

ගයාන් ඉන්දුල කොඩි­තු­වක්කු
 


යහ­ළු­වෙක් නෑ නුඹ තරම්

මහා කළු වලා­වක
රිදී ඉරක් මකා­ගෙන
මත­කයි ගෙවී ගිය දවස
නුඹ පොළොව බැලුවා
බණ්ඩ­යි­ය­ගෙත්, සින්න තම්බි­ගෙත්
වෙන­සක් නැතැයි කිය­මින්
උන්ගෙ පැට­වු­නුත්, සේසත් අරන්
වේගෙන් පහළ ගැලුවා
ඒ වුණත් නුඹ නො ආ ටික දොහට
රොස් වෙලා වැව් පතුල
තනි­ක­මක් වැල­ඳිලා
හේබාල ගහ­වැල ද
ඇහෙන් වැටෙනා කඳු­ළුත්
කර වෙලා නෙත් අගම
අම­තක කරා­පන් අපේ එද­වස බැණුම්
නුඹේ නුහු­ගු­ණත් ඉව­ස­න්නම්
පාඩ­මක් කියා දී හිරු­ටත්
අද හෙටම නෑගම් වරෙන්
කළු වලා­කුළු පොදි බැඳන්
පිහි­ටට කෙනෙක් නෑ තවත්
වැහි යාළුවේ නුඹ තරම්

ප්‍රභා මාධවී
අභ­ය­ගු­ණ­සේ­කර


අස­ම්මත පෙම්ව­තාගේ සුපෙ­ම්වත් කවිය

කඳුළු බිඳු­වක් වෙලා ප්‍රේම­යක් වැටෙන කොට
ඉව­සන්න බැහැ තමයි ඒක ඇත්තම ඇත්ත
ජීවිතේ ඉව­සු­මත් උරු­ම­යක් වූ විටෙක
වෙන්ව යනවා මිසක් අන් යමක් වෙද දියත

නීති­යට ආදරේ තුෂ­රය ද උණු­සුම් ය
ඔබට මට නම ලියු බැඳු­ම්පට සවි­මත්ය
බිඳිනු බැරි ළතැ­වු­ලක් රැගෙන කොත­නක යම්ද
දුරින් ඉමු කමක් නැහැ
ආදරේ සිරි­මත් ය

ප්‍රේමයේ හැඟුම් දොර - ඇහැළ මල් කිනි­ත්තක
පිනි බින්දු වාගේම හෙටත් දිලි­සෙනු ඇතිය
හුදෙ­කලා මේ සුසුම් අපට පම­ණක් වෙත් ද
ප්‍රේමයේ පලස මත තවත් කඳු­ළැලි ඇතිය

යන්න ඕනෑ තමයි - ඔව් ඉතිං යා යුතු ය
ඉඩ­දෙන්න මට ඔබේ හදේ කොන­කට වෙන්න
මත­කයේ ඉව දිගේ ආවො­තින් මතු දාක
මේ මෙතන ... ආද­රය ජීවත් වන තැන
රිද­වන්න ඉඩ තිබේ
ඔබේ විය­පත් හිතට

අනු­ර­සිරි හෙට්ටිගේ


වස­න්තය

කඳු­ක­ර­යට
උදා වෙත්ම
තැන තැන
නෙක නෙක
පැහැ සුවඳ කුසුම්

චන්දන රණ­වීර
 


මල් ළැදි තැනට මල් පූජා වේද මලේ

ඇතැම් මල­කට පැව­රෙන්නෙ
සතුට ගෙනි­යන්න
අනි­ක­කට වෙනත් ගනුදෙනු තිබෙයි
දුක එක්ක

කිසි­වෙ­කුට නොපෙ­නෙන්න
පිපි පිපී පඳු­රු­වල කඳු අතර
එහිම හිස් ඔබා­ගෙන මියෙන මල්
අඬ­න­වද හිනා වෙන­වද
දන්නේ කවු­රුන්ද

කුසුම් ශ්‍රම සේනාව
ලොරි කුසේ කොළඹ එන අත­ර­තුර
එමල් මල් කතා කර­න­වත් ඇති
ඇතැම් මල් තනිව හිත­න­වත් ඇති

අනේ මම යම්ද යම් ෂෝක් මල් කළ­ඹ­කට
ශෝක කැකු­ළක් වෙම්ද සොහොන් මල් වඩ­ම­කට
ඒත් මල් කරු­වනේ
මල් මුණු දෙස බලා පුළු­ව­නිද
දුක සතුට හඳු­නන්න
මිනිස් දිවි මැවු­ම්ක­රු­වන්ට මෙන්
ඉඩ නැද්ද ඔහෙ­ල­ටත් වර­දින්න

හොරෙන් හිනැහී බලන
මලක් දෙම­ලක් තිබෙයි
මල ගෙයක දෙණ අසල
දකිමි මම හඬා වටෙනා මලක්
සුබ පැතුම් මල් පැසක

ලක්ශාන්ත අතු­කෝ­රල
('සම­හර කම­ට­හන්' කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


 ඔබ

තෙළි තුඩක පබැ­ඳු­මක
මුහු වෙලා ඔබ ඉන්න
හද රැඳුණ සිතු­විල්ලෙ
කවිය වී ලියැ­වෙන්න..

මල් පිපුණ සිත් නිම්නෙ
වැති­රිලා විඳ ගන්න
සෙනෙ­හ­සින් හැම­දාම
මේ වගේ ළඟ ඉන්න..

සුද­ර්ශන බිය­න්විල


පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ

එක­සිය තුනේ බස් එක එළ­වන ඡන්න
පාස් පෝර්ට් බැහැ­ග­න්නට මොර දුන්න
සසර කල­කිරී කොරි­යා­වට යන්න
ආ සිදු­හත් බෝධිය ළඟ නව­තින්න

සුදො­වුන් සදිසි පිය­වරු ලොත­රැයි ගේන
පසෙක තිබේ ජාතික රෝහල් යාන
මල් ශාලා ළඟ මියැ­දෙ­න­කොට හීන
නිමිති බලන් වැලි­කඩ හිර­ගෙය පේන

අනෝ­මා­වක කළු පාට දුක
ගලයි පාමුල කානු පල්ලෙක
සුමතිපාලගෙ රේස් බුකි­යක
කාසි තර­ගෙට දුවයි කන්ථක

ලෑලි යහන සුද­සුන හීනේ
මර දූවරු රඟති දාහට මර­දානේ
තුන්සිය පහේ වත්­තෙන් ගෙන අම­පානේ
සේනා­පති බන්දු මල් විකු­ණ­න­වානේ

මාතර බත් කඩෙන් කිරි­පිඬු ඔතා­ගෙන
හිත හොඳ සුජාතා පාරට හිනා­වෙන
රාහුල පුතුන් රිජ්වේ දොර­ක­ඩින් පැන
තාමත් තාත්තා හොය­මින් හිඟා­කන

නොරිස් ඇළ විදීය
පුරයි වේරංජා සමාධිය
පිස දමනු මැන දහ­දිය
බලන් හිනැ­හෙයි නුඹට බෝධිය

සඳුන් ආසිරි අර­ඹ­වෙල 

 


ගැටු­මක්

පහ­නක් දැල්වීමි
බල­න­කොට එහි එළිය
අඳු­රක් සමඟ ගැටු­මකි
අඳුර පලා යයි පැරද
බැබ­‍ෙළයි ආලෝ­කය
රශ්මි විහි­දයි සැම අත
දෙපා­ර්ශ්ව­යක ගැටු­මෙන්
කම්ප­න­යක් සේ උපදී
ආලෝක ධාරාව

ජය­සේ­කර මල­වි­ආ­රච්චි


පික්පොකට්කරු­වාගේ විම­තිය

කිරි සුවඳ
කිලිටි කර
රුපි­යල් සතවලින්

ඇත්ත­ටම
නුඹට
තිබු­ණේම නැද්ද

පසු­ම්බිය
සඟ­ව­න්නට
වෙන තැනක්

දඹේ­ගොඩ ජින­දාස
 


එතෙර කවිය

රහස් සතුරා
Secret Enemy


ගිම් සමය අව­සන තෙක්
පෙට්ටගම්වල දිරා­යන
සිසි­රයේ හැඳි ඇඟ­ලුම් සේ
කලෙ­කට පෙර පිළි­කෙව් කොට
තිර­ස­රව පසෙක ලූ
මත­ක­යෙන් ගිලි­හුණු වේද­නාව
යළි රිදුම් දෙයි
සවන් වැද ඔබේ නම
පිරි­සක් ගැව­සෙන තැන­කින්,
උදා­සීන අළු යට
නිවෙ­මින් තිබූ අඟුරු
යළිත් ඇවි‍ෙළ් රුදු­රුව

සිසි­රයේ බිම හොත් කුසුම්
බලා සිටි­නුයේ
කෙනෙකු මතට පැන
විස්මය දන­වන්න‍ට යැයි
සිතන්න ද? කවුරු නම්,
සොරුන් සිටි­නුයේ මඟ රැක
කඩා පනි­න්නට
අනා­ර­ක්ෂි­තව යනෙ­න­වුන් මතට
අපේක්ෂා කරත් ද? කිසි­වෙක්
නිහඬ සක්මන් මළු­වක දි
පහර කන්නට
රහස් සතු­රෙ­කු­ගෙන්
 

ඇනා සුජාතා මාතායි
(Anna Sujatha Mathai)

කිවි­ඳිය රහස් සතු­රකු ලෙස සංකේතවත්් කරන්නේ කල­කට පෙර පසෙ­කට දැමුණු වේද­නා­කාරී මත­ක­යයි. ඒ මත­කය ඉවත දැමී­මද, කිවි­ඳිය කියා සිටින්නේ සං‍ෙක්ත භාවි­ත­යෙනි. සිසි­රයේ හැඳි ඇඳුම් ගිම්හා­නය වන් කල පසෙක ලූ සෙය. මත­කයේ වේද­නාව අලුත් වනුයේ ඊට හේතු වු අයගේ නම සමා­ජ­යේදී කන වැකී­මෙනි. මත­කය අලුත් විමේ වේද­නා­ත්මක ප්‍රහා­රයේ අන­පේ­ක්ෂිත බව කවියේ දෙවැනි අර්ධ­යේදී උව­ම්ව­ලින් දක්වන කිවි­ඳිය, නිහඬ සක්මන් මළු­ව­කදි රහස් සතුරු ප්‍රහා­ර­යක් අපේක්ෂා කරන්නේ කවු­රුන්ද යන පැනය නඟ­මින් සිය පබැ­ඳුම උචිත තල­යක‍ට ගෙන එයි. ඉතා වියත් ලෙස , සං‍ෙක්ත හා උපමා පරි­හ­ර­ණ­යෙන් පාඨ­ක­යාට තියුණු දැන්­වී­මක් කර­න්නට රහස් සතුරා කවිය තුළි­න් ඇනා සුජාතා මෙනායි කිවි­ඳිය සමත් වෙයි.

කේර­ලයේ විසූ, සිරි­යානු සම්භ­ව­ය­කින් යුත් ක්‍රිස්ති­යානි දෙම­ව්පිය යුව­ළ­කට දාව 1934 දී නාග්පූර් හී දී ඇනා උපත ලැබු­වාය. දිල්ලි හා බැන්ග­ලෝර් යන විශ්ව විද්‍යාල දෙකෙන්ම, ඉංග්‍රීසි සාහි­ත්‍යය විෂ­යෙහි පළමු පෙළ ශ්‍රාස්ත්‍ර­පති උපාධි හිමි කර­ගෙන ඇත. ඈ නිර්මා­ණ­ක­ර­ණයේ යෙදෙන්නේ ඉංග්‍රීසි බසිනි. ඇය කවි පොත් පහක් ලියා පළ­කර ඇත්තීය. ඇනාගේ කවි බහුල ලෙස ඉන්දි­යානු හා යුරෝ­පීය භාෂා­වන්ට පරි­ව­ර්ථ­නය කෙරී ඇත.

ඇය බැංග­ලෝ­රයේ 'Abhinaya Poetry Theatre' හි ආර­ම්භක සාමා­ජි­කා­වක ද වෙමින් නිළි­යක හා අධ්‍ය­ක්ෂ­ක­ව­රි­යක ලෙසද දිගු කලක් වේදි­කාවේ ක්‍රියා­කා­රීව නිර­තව සිට ඇත.


පරි­ව­ර්ත­නය සහ සට­හන
දේ .වි. ගාල්ලගේ

 

Comments

කවි පන්තියක් එවීම සඳහා කරුණාකර මට ලිපිනය ලබාදෙන්න

කවි පන්තියක් එවීම සඳහා කරුණාකර මට ලිපිනය ලබාදෙන්න මගේ ඊ මේල් ලිපිනය: [email protected] ස්තුතියි

පිටු