
‘මියුස්’ යැයි කියන්නේ ග්‍රීක සහ රෝම කාව්‍ය නිර්මාණයන්ට, සංගීතයට, රංගනයට අධිපති දෙවිවරු නව දෙනාගෙන් කෙනෙක්. දිදුලන බොලිවුඩ් තාරකාවක් වන සොනාක්ෂි සිංහත් දැන් එවැනි කෙනකු බවට පත්වෙලාලු. මෙහෙම කියන්නෙ බොලිවුඩ්පුරයේ විසිතුරු තොරතුරු දන්න අයයි.
සොනාක්ෂිට මේ අලුත් ‘පදවිය’ ලැබී ඇත්තේ ඇය මෑතකදී මෝස්තර උලෙළකදී ඉදිරිපත් කළ නිරූපණයන්ගෙන් පසුවයි. ඒ, ඉන්දියාවේ ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පියකු වන මොනිෂා ජෙයිසිගේ නිර්මාණ දැක්මකට එක්වීමෙන්. එදින කාගේත් කතාබහට ලක්වූ සොනාක්ෂි, මාධ්‍යයන්ට අදහස් දක්වමින් පැවසුවේ අලුත් කතාවක්...
“මගේ හිතේ තියෙනවා තව ගොඩක් දේවල් කරන්න. මම පීනන්න දක්ෂයි. ඒ නිසා මම ‘වෝටර් බේබි’ කෙනෙක් කියලා කිව්වොත් හරි. ඉතින් මගේ අදහසක් තියෙනවා, මුහුද යට මෝස්තර නිරූපණ සන්දර්ශනයක් කරන්න. ඒ වගේ සන්දර්ශනයකදී නිරූපණයන් ඉදිරිපත් කරන්න මට නම් කිසිම අපහසුවක් නැහැ” සොනාක්ෂි එලෙස කීවේ මොනිෂා ජෙයිසිංගේ නිරූපණ උලෙළ පැවැත්වෙන අතරතුරදීයි.
මෙහිදී ඇය තම පියාණන් ගැනත් සතුටින් කතා කළා. සොනාක්ෂිගේ පියා ප්‍රවීණ නළුවෙකු සහ දේශපාලනඥයකු වන ශත්රුගන් සිංහයි. ඔහුට, පසුගියදා පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී ෆිල්ම් ෆෙයාර් යාවජීව සම්මානය පිරිනැමුණා. සොනක්ෂි සතුටු වූයේ ඒ ගැන ද සිහිපත් කරමින්.
කිං ඛාන් උමතුව මරණයකින් කෙළවර වෙයි
තිරගත වීමට නියමිත චිත්‍රපට රසික ජනතාවට සමීප කරවීමේ අරමුණින්, එම චිත්‍රපට නිෂ්පාදකවරු විවිධ මාදිලියේ ප්රචාරක කටයුතු සිදු කරනවා. මේ දිනවල තිරගත වන ‘රායීස්’ චිත්‍රපටය වෙනුවෙන් ද එවැන්නක් සිදු වූවා. මේ ප්රචාරක වැඩ සටහනට යොදා ගැනුණේ ඕසේට් ක්රාන්ටි එක්ස්ප්‍රස් නම් වූ දුම්රියයි. මේ දුම්රිය වෙන් කෙරුණේ රායීස් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන සුපිරි තරුව, ශාරුක් ඛාන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම වෙනුවෙන්. මුම්බායි සිට දිල්ලිය දක්වා ගමන් ගත් දුම්රිය අතරමඟ හමුවන දුම්රිය ස්ථානවලදී නැවැත්වීමටත්, එහිදී රසික ජනතාවට ශාරුක්ව මුණ ගැසීමටත් අවස්ථාව ලබා දී තිබුණා.
මුම්බායි නුවරින් පිටත්වූ දුම්රිය, වදෝදාරා දුම්රිය ස්ථානයේ නතර කෙරෙන විට වේලාව රාත්‍රී 10.30 යි. එතරම් රෑ බෝවී තිබුණත් එහි රැස්වූ රසික පිරිසෙහි කිසිදු අඩුවක් තිබුණේ නැහැ. මේ අතිවිශාල රසික පිරිස, දුම්රිය නවත්වනවාත් සමඟම එක්තරා මැදිරියක් වෙත රොක් වූයේ එතුළින් ‘කිං ඛාන්’ පිටතට පැමිණෙනු දුටු නිසයි. කෙසේ වෙතත් ශාරුක්ට දුම්රිය වේදිකාවට පිවිසෙන්නට හැකි වුණේ නැහැ. රසික රසිකාවියන් ඔහුව යන්තමින් හෝ දැකගන්නට එකිනෙකා පරයමින් දඟලන්නට, කලබල කරන්නට පටන් ගත්තා. විනාඩි දෙක තුනකින් දුම්රිය ස්ථානය එකම ගාලගෝට්ටියක් බවට පත්වුණා. සැලසුම් කර තිබූ ලෙස කටයුතු සිද්ධ වුණේ නැහැ. ඇතැම් කලබලකාරීන් දුම්රියේ ජනෙල් වීදුරුවලට පවා තඩි බාන්නට පටන් ගත්තා. සමහරු වියරු වැටී කෑ ගැසුවා. එකම ජංජාලයක්! අන්තිමේදී සිදු වුණේ දුම්රිය එතැනින් පිටත් කර හැරීමට නිලධාරීන් පියවර ගැනීමයි.
දුම්රිය නැවත ගමන් අරඹනවාත් සමඟම වේදිකාවේ සිටි රසික පිරිස එය පසුපස දිව යන්නට පටන් ගත්තා. මේ කලබැගෑනියට හසුවූ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ෆාහීඩ් ඛාන් පතන් මහතා, දිවගිය ජන ගංගාවට යටවී මියගියා. මේ කනගාටුදායක ඉරණමට ගොදුරු වූ ෆාහීඩ් පැමිණ සිටියේ ශාරුක්ව දැකගන්නට නොවෙයි. ශාරුක්ගේ දුම්රිය ගමනේ මගතොට තතු වාර්තා කිරීමට එම දුම්රියෙහි ගමන් කළ තම ඥාති දියණියක වන සමීනා ෂෙයික්ව මුණ ගැසෙන්නටයි. ඇය මාධ්‍යවේදිනියක්. හෘද රෝගියකු වූ පතන් මහතා, කලබලකාරී පිරිසට යට වී හෘදයාබාධය වැලඳී මියගොස් සිටි බවයි ඔහුට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ. ශාරුක් මෙය දැනගත් විගසින්ම මියගිය පතන් මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළා. “මේක අවාසනාවන්ත සිදුවීමක්. මගේ ශෝකය පතන් මහතාගේ පවුලේ අයටත් ප්‍රකාශ කරනවා.” ශාරුක් මාධ්‍ය ඔස්සේ එම පණිවිඩය නිකුත් කළා.
අමිතාබ් - ජයා වෙන් වෙලා ද?
අමාර් සිං, ඉන්දීය දේශපාලනයේ පෙරළිකාර චරිතයක්. ඔහු, එරට සමාජවාදී පක්ෂයේ නායකයායි. අමාර් සිං සහ සුපිරි නළු අමිතාබ් භච්චන් අතර පැවැතුණේ දැඩි මිත්‍රත්වයක්. භච්චන් පවුලේ ඥාතිවරයකු අයුරින් අමාර් සිං කටයුතු කළ ආකාරය කිසිවකුටවත් රහසක් නොවෙයි. ඒත් දැන් ඒ මිත්‍රත්වය බිඳ වැටිලා. ඉන්දීය රාජ්‍ය සභා අසුනක් සඳහා අමිතාබ්ගේ බිරිය, ජයා භච්චන් පත් කිරීම හෝ නොකිරීම පිළිබඳ මත ගැටුමක් නිසා මේ හිතවත්කම පලුදු වූ බවයි පැවසෙන්නේ.
අමාර් සිං, අමිතාබ් සහ භච්චන් පවුලේ සියලු දෙනා සමඟම අමනාප වීමෙන් පසුව පසුගිය කාලය තුළ ගත කළේ දැඩි සිත් තැවුලකින්. ඔහු පවසන්නේ තමන්ට 2009 දී වකුගඩු රෝගය වැලඳීමෙන් අසරණ වූ පසුව තම කුඩා දරුවන් දෙදෙනා සහ බිරිය හැර වෙන කිසිවකුගේ පිහිටක් තමන්ට නොලැබුණු බවයි. දිගු කලක් භච්චන් පවුලේ හිතවතකු වූ තමන්ට අමිතාබ්ගේ 70 වැනි උපන් දින සාදයවත් නොදැන්වූයේ යැයි අමාර් සිං පවසනවා.
පසුගියදා ඔහු ආන්දෝලනාත්මක කරුණක් හෙළිදරව් කළා. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කළ ඔහු පැවසුවේ අමිතාබ් භච්චන් සහ ජයා යුවළ වසර කිහිපයක පටන් වෙසෙන්නේ නිවෙස් දෙකක් බවයි. “අමිතාබ් පදිංචි වෙලා ඉන්නෙ ප්‍රතීක්ෂා නිවසේයි. එයාගේ දෙමවුපියනුත් හිටියේ ඒ නිවසේ නිසා එයා වැඩියෙන්ම කැමැති ‘ප්‍රතීක්ෂා’වල ඉන්නයි. ජයා පදිංචි වෙලා ඉන්නෙ ‘ජනක්’ බංගලාවෙ. මෙතැන තමයි භච්චන්ලගෙ කාර්යාලය තියෙන්නෙත්. මේ ගෙවල් දෙක තියෙන්නෙ තරමක් දුරින්. අභිෂේක් - අයිශ්වර්යා ජෝඩුව එයාලගෙ දියණියත් එක්ක ඉන්නෙ ‘ප්ල්සා’වල. එතැන තියෙන්නෙ අමිතාබ් - ජයාගෙ මහ ගෙදර.” මෙලෙස පවසන අමාර් සිං හෙළි කළ තවත් කරුණක් වූයේ ජයා සහ අයිශ්වර්යා අතර ගැටුමක් පැවැති බවයි.