තරුණ තරුණියනි නොකරව් ලව් පනින්නට පෙර තොපි සිතා බලව් | සිළුමිණ

තරුණ තරුණියනි නොකරව් ලව් පනින්නට පෙර තොපි සිතා බලව්

අපට හිටපු අති දක්ෂ සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩ ගැන තොරතුරු හොයන්න මං අවස්ථා කීපයකදීම ඔහු විසු කළුබෝවිල නිවෙසට ගොස් තිබෙනවා. ඔහුගේ බිරියත් විශේෂයෙන් ජයවිලාල්ගේ දියණියක වන නිලිමාත් මට එහිදි උපරීමයෙන්ම උදවු කළා. (නිලිමා කලක් සේවය කළේ ලේක්හවුස් ආයතනයේ.) ජයවිලාල් ලියූ සෑම චිත්‍රපට විවේචනයක්ම ඇතුළත් පත්තර පිටු පකිස් පෙට්ටියක් ඇතුළේ දාලා තිබුණා. හොඳ වෙලාවට ඒවා වේයන්ගෙන්, ගුල්ලන්ගෙන් බේරිලා තිබුණේ.

ජයවිලාල් ළඟ තිබු බොහෝ සිනමා පොත් ඔවුන් මට නොමිලේ පරිත්‍යාග කළ බවක් මෙහිලා කිව යුත්තේ කෘතඥතා පූර්වකව. දවසක් ජයවිලාල්ගේ ලිපි ගොනුවක කිසියම් ලිපි එකතුවක් තිබුණා. එහි එක් ලිපියක මෙසේ ලියැවී තිබුණා.

“ඔබ මෙය ගත්තේ පොත කියවීමට මිස පොත ගැන කියවීමට නොවුවත් කිව යුතු කරුණු කීපයක් වෙයි.”

මෙය පැහැදිලිවම පොතක අත්පිටපතකට පෙරවදනක් ලෙස ලියු සටහනක් බව පේනවා. මං ඒ ලිපි ටික එකතු කරලා ජයවිලාල්ගේ පවුලේ අයගේ නිත්‍ය අවසරය ඇතුව පොතකට සංග්‍රහ කළා. ඒ ‘ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි’ නමින්.

ඒ පොතේ සිංහල චිත්‍රපට ගීතය ගැන වෙනමම ලිපියක් අඩංගුයි. එහිදි ඔහු වැඩි අවධානය යොමුකර ඇත්තේ චිත්‍රපටවල ආ නැළවිලි ගී ගැන විවරණයක් හා ඒ හා බැඳුණු ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකර ව විවේචනය කිරීමක් බව පැහැදිලිවම පේනවා.

‘වෙසතුරු සිරිතේ’ එන රුවන් වලා දුහුල් කඩින්, ‘දෛවයෝගයේ’ එන දොයි දොයිය පුතා දොයි දොයි, ‘පරසතුමල්’වල එන පරවුණු මල්වල සුවඳ අතීතේ, ‘පුංචි බබා’හි එන ‘මාගේ පුතුට මල් වැනි ගී මෙහිදි ජයවිලාල්ගේ ඇගැයීමට ලක් වෙනවා. ඔහු මේ ගී සසඳන්නේ කරුණාරත්න අබේසේකර ‘සූර චෞරයා’ චිත්‍රපටයට ලියූ ගුවන් තොටිල්ලේ ගීතයත් සමඟ.

අබේසේකර ‘ගුවන් තොටිල්ලේ’ ගීතයෙන් නළවන්නේ ‘දෙමවුපියන්ගෙන් කෙනෙක් නැති’ දරුවකු බවත් එහෙත් ගී හතර සසඳා බැලීමෙන් එය කොයිතරම් කබල් ද යන්න වැටහෙන බවත් පවසා සිටිනවා.

නැළවිලි ගීවලට අමතරව ජයවිලාල් පොදුවේ ගීතය ගැනත් මෙහිලා කතා වෙනවා. කරුණාරත්න අබේසේකර ලියූ ‘පියුමෙහි පැණි බොති වෙන බඹරු’ ජයවිලාල්ගේ තියුණු විවේචනයට හසුවන ගීතයක්. ගීතයේ එක් තැනක මෙබඳු පේළි හතරක් ඇතුළත්.

ගැයුවට ඉමිහිරි පද උපුටා

කොවුලකු වෙනවද කළු කපුටා

සුදු පැහැ හැරියේ කවුද කිරේ

මුතු නොබඳී ගිරවකුගේ කරේ

මේවා සක්ක ගහපු වචන බවයි ජයවිලාල් කියන්නේ. මේ අයුරින් සක්ක ගසා මෙවැනි ගී ප්‍රබන්ධ කළ නොහැක්කේ කාටදැයි අසන ඔහු ඊට නිදර්ශනයක් ද ගෙනහැර පානවා.

තරුණ තරුණියනි නොකරව් ලව්

පනින්ට පෙර තොපි සිතා බලව්

සඳ පායන්නේ නොමැත උදේ

කළ කළ දේ සකි පල පල දේ

‘පියුමෙහි පැණි බොති’ ගීතය ලියැවුණේ ‘චණ්ඩියා’ චිත්‍රපටය වෙනුවෙන්. ඒත් ඒ ගීතය එම චිත්‍රපටයට යොදා ගැනුණේ නැහැ.

‘සිංහල චිත්‍රපටයේ විකාශනය’ නමින් ද ලිපියක් ‘නොපළ ලිපි’ පොතට ඇතුළත්. එහි ද ගීත ගැන අදහස් දක්වන අවස්ථා තිබෙනවා. ‘සිරි ගෞතම සිරිපාද වඳිම් සමනල කන්දේ” ගීතය අසන අප තුළ ශාන්ත හැඟීමක් හෝ බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවන්නේදැයි ප්‍රශ්න කරන ජයවිලාල් එය තනිකරම බයිලා සින්දුවක් යැයි කියා සිටිනවා.

‘අංගුලිමාල’ චිත්‍රපටයේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ගීතය ගැන අදහස් දක්වන ජයවිලාල් ඝෝෂාවෙන් හා සද්දබද්දවලින් පිරි ඉන්දීය වන්දනා ක්‍රමවලට මෙහි සංගීතය ගැළපෙන නමුත් සිංහලෙන් ඒ ගීතය අසන විට ඇතිවන්නේ නිකං බුදු හාමුදුරුවෝ මස් කඩේට දක්කගෙන යන්නා වැනි හැඟීමක් බව නිර්දයවම කියා සිටිනවා.

‘හතර මහා නිධාන’ චිත්‍රපටයේ එන ඉතාම ජනප්‍රිය වූ ගීතයක් තමයි මිල්ටන් පෙරේරා ගයන ‘උම්බෑ කිය කියා මරණ බයේ’. මං හිතන්නේ ඒකත් අබේසේකරගේ පැබැඳුමක්. මේ ගීතය අසා ඇතැමුන් හරක් මස් කෑම අතහැරිය බව එකල කියැවුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ජයවිලාල් මහත් උත්ප්‍රාසාත්මකව කියා සිටියේ ඒ කෙසේ වෙතත් ඉන්පසු කබල් සින්දු ඇසීම අත්හැරිය අය නම් සෑහෙන ගණනක් ඉන්න පුළුවන් ය කියායි.

ඇතැම් විට පෞද්ගලිකවාදි, ද්වේශසහගත ප්‍රකාශ යැයි බැලු බැල්මට පෙනුණත් ජයවිලාල් මේ කියා ඇති දේවල් අසත්‍ය යැයි අපට කියන්න පුළුවන් ද? 

Comments