ට්‍රොම්බෝනයෙන් ලොවම දිනූ ශ්‍රී ලාංකිකයා නිශාන්ත | Page 8 | සිළුමිණ

ට්‍රොම්බෝනයෙන් ලොවම දිනූ ශ්‍රී ලාංකිකයා නිශාන්ත

තම රාජකරි කටයුතු සඳහා පොලිස් නිල ඇඳුම ඇඳගත්තද, ඔහු අතිදක්ෂ සංගීතඥයෙකි; එසේම ඉතාම සංවේදී කලාකරුවෙකි. මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඔහු උපපොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රේමලාල්.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ හැදී වැඩී මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා (පිරිමි) විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිශාන්ත පුංචි අවධියේ සිට ම සංගීතයට ප්‍රිය කළේය. බටනලාව පුංචි සන්දියේ සිටම ඔහු අත රැඳුණු වාදන භාණ්ඩය විය. පාසලේ විෂයක් ලෙස ඔහු සංගීතය විෂය තෝරාගනු ලැබුවේ මේ විෂයට ඇති කැමැත්ත නිසාය. නිශාන්තගේ පියා සේවය කළේ පොලිස් දෙපාර්තමේන්තුවේය. පොලිස් දෙපාර්තමේන්තුවේ තූර්ය වාදක කණ්ඩායම සඳහා සමාජිකයින් ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා නිශාන්ත වෙනුවෙන් අයදුම්පතක් ඉදිරිපත් කළේ නිශාන්තගේ පියා ය. ඒ 1986 වසරේ දීය.

පොලිස් තූර්ය වාදක කණ්ඩායම වෙනුවෙන් වෙනම ම පිරිසක් බඳවාගත් පළමු අවස්ථාව එය විය. සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් ම සමත් වූ නිශාන්ත පොලිස් තූර්ය වාදක කණ්ඩායමට බැඳුණේ ඉතා සතුටිනි. එහෙත් එක් ගැටලුවක් විය. නිශාන්ත පාසලේ දී හැදෑරුවේ පෙරදිග සංගීතය සහ පෙරදිග වාද්‍ය භාණ්ඩ පිළිබඳවය.

පොලිස් තූර්ය වාදක කණ්ඩායම අපරදිග සංගීත කණ්ඩායමකි. එහෙත් එම ගැටලුවට නිශාන්ත ඉතා සාර්ථකව මුහුණ දුන්නේය. ඔහුට වැයීම සඳහා ඉතාම සුදුසු වාද්‍ය භාණ්ඩය ට්‍රොම්බෝනය (Trombone) බව මුලින් ම පැවසුවේ එවකට විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ලාන්ස් ලොට් පෙරේරා මහතාය. ඒ අනුව නිශාන්ත ලංකාවේ දක්ෂතම Trombone වාද්‍ය ශිල්පියකු වූ අයිවන් පීරිස් මහතා යටතේ පුහුණු විය.

ඉතාම කෙටි කලකින් එම වාදන භාණ්ඩය ඉතා හොඳින් වැයීමට පුහුණු වූ නිශාන්තට පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය හිමි විය. එතැන් පටන් ඔහු විවිධ තානාපති කාර්යාලවල උත්සව මෙන්ම රාජ්‍ය උත්සව සඳහා ද වාදනයෙන් සහය විය.

එවකට පොලිස් තූර්ය වාදක කණ්ඩායම භාරව සිටි අධ්‍යක්ෂතුමා නිශාන්තට අපූරු උපදෙසක් දුන්නේය. ඒ බටහිර වාදනය පිළිබඳව එංගලන්තයේ රාජකීය සංගීත විද්‍යාලයේ පැවැත්වෙන විභාගවලට පෙනී සිටින ලෙසය. ඒ අනුව Trombone වාදන භාණ්ඩය මඟින් 3 වන පන්තියේ විභාගය (Grade - 3) 1989 දී පෙනී සිට එයද සමත් වූ ඔහු Grade - 05 විභාගයත්, Grade - 08 විභාගයත් ඉහළින් ම සමත් විය. එයින් නොනැවතුණු නිශාන්ත ලන්ඩනයේ Trinity Collage හි ATCL විභාගයට පෙනී සිටියේය. එය ද ඉහළින් ම සමත්වීමට නිශාන්තට හැකි විය. මේ වන තෙක් සුසර භාණ්ඩයක් මඟින් එම විභාගය සමත් වී ඇති එකම ශ්‍රී ලාංකීය වාද්‍ය ශිල්පියා උපපොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රේමලාල් වේ. ගිටාරය, බටනලාව, ට්‍රම්පට් වැනි වාද්‍ය භාණ්ඩ 09 ක් පමණ වාදනය කිරීමේ හැකියාව නිශාන්ත සතුය.

ලෝකයේ සෑම රටකම පාහේ Symphony Orchestra නමින් සංගීත කණ්ඩායමක් ඇත. එය එම රටේ ‍හොඳම සංගීතඥයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි.

1990 වසරේ සිට ශ්‍රී ලංකාවේ Symphony Orchestra හි ප්‍රධාන Trombone වාදන ශිල්පියා නිශාන්තය. මෙම කණ්ඩායම සමඟ ඉන්දියාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව ජර්මනිය, බ්‍රසීලය වැනි රටවල ප්‍රසංගවලට සහභාගී වී ඇති නිශාන්ත පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් ගෙනදීමට සමත් වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන වෙසක් භක්ති ගීත, නත්තල් භක්ති ගීත වැනි සංගීතමය වැඩසටන් සඳහා සංගීත නිර්මාණයෙන් ද වාදය වෘන්දය මෙහෙයවීමෙන් ද දායක වන නිශාන්ත ගායන ශිල්පීන් වෙනුවෙන් ගී තනු නිර්මාණය කර දුන් අවස්ථා ගණනාවක් ම ඇත. වසර 30 අධික ආසන්න කාලයක් පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සංගීතමය ප්‍රසංගවලට සහභාගී වීමෙන් තමන් ලත් දැනුම ඉදිරි පරම්පරාව වෙත බෙදා දීම ඔහුගේ ඉදිරි අරමුණ බව ඔහු රසඳුන සමඟ පැවසුවේ ඉතාම නිහතමානීවය.

Comments

පිටු