ගසක් උඩ තැනූ හෝටල් කාමරය | Page 3 | සිළුමිණ

ගසක් උඩ තැනූ හෝටල් කාමරය

සංචාරක කර්මාන්තය අතින් ලොව ප්‍රමුඛස්ථානයක් ශ්‍රීලංකාවට හිමි වන නිසා දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවිධාකාරවූ නවාතැන් ස්ථාන ද ඉදි වෙමින් පවතිනවා. වර්තමානයේ හෝටල්, නවාතැන් පොළවල් ඉදි කිරීමේදී එහි පරිසර හිතකාමී බවට හිමිවන්නේ විශේෂ ස්ථානයක් . Eco friendly ලෙසින් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම ස්ථාන මගින් පරිසර දූෂණය ඉතාම අවම වන ආකාරයෙන් හා පරිසර විනාශයක් සිදු නොවන ආකාරයෙන් තමයි කටයුතු සිදුකෙරෙන්නේ. මේ නිසා කැළයේ ගස් කපා ඉදි කරන කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළ සිටීම වෙනුවට ගස් අතර ලී වලින් හෝ පරිසරයට හානි නොවන ද්‍රව්‍ය වලින් සාදා තිබෙන නවාතැන් ස්ථාන සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනවා. අපේ රටේත් වර්තමානය වන විට eco friendly හෝටල් රැසක් දක්නට ලැබීම සතුටුදායක කරුණක්. සාමාන්‍යයෙන් මෙවැනි පරිසර හිතකාමී ගොඩනැගිලි වල සැප පහසුකම් හා පෙනුම නූතන අධි සුඛෝපභෝගි ලක්ෂණවලින් මඳක් පසුපසින් තිබුණත් අද මෙම පිටුව වෙන්වන්නේ මෙම ලක්ෂණයන් සියල්ලම අඩංගු වී තිබෙන ගසක් උඩ ඉදිවී තිබෙන නවාතැන් පොළක් පිළිබඳවයි.

ස්වීඩනයේ Treehotel හි 7වැනි කාමරය පසුගිය සති අන්තයේ විවෘත කෙරුණේ ලොව පුරාම අවධානය ඒ වෙත දිනා ගනිමිනි. පොළවට අඩි 32ක් උසින් පයින් ගස් මුදුනේ ඉදිකර තිබෙන මෙම නිදන කාමර දෙකකින් යුත් කුටිය වට කරගෙන තිබෙන මනරම් කඳුකර දසුන මෙහි අගය තවත් වැඩි කරනවා. Snøhetta නිර්මාණ සමාගම මගින් මෙම තට්ටු දෙකකින් යුත් ස්කැන්ඩිනේවියානු පරිසර හිතකාමී කුටිය ඉදි කර තිබෙන්නේ ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහය ඇතුව උපරිම සුඛෝපභෝගි අත්දැකීමක් ලබා දීමටයි. කුටිය මැද තිබෙන පයින් ගස වටා තිබෙන පඩිපෙළ මගින් මෙහි පිවිසීමේ හැකියාව තිබෙන අතර බඩුබාහිරාදිය රැගෙන යාම සඳහා සෝපානයක් ඉදි කර තිබේ. මෙම කුටියේ පහළ තට්ටුව ‘Northern Light Lounge’ යනුවෙන් නම් කර ඇති අතර මෙහි සුවපහසු පුටුමේස හා ගිනි මැලයක් තිබෙන්නේ සංචාරකයන් සඳහා කාලය ගත කිරීමටයි. K කුටියේ ඉහළ මහල නිදන කාමර දෙක සඳහා වෙන් වී ඇති අතර ත්‍රාසය ප්‍රිය කරනා සංචාරකයන් සඳහා එළිමහනේ රාත්‍රිය ගත කිරීමට විශේෂ ස්ථානයක් සාදා තිබෙනවා. ලණු වලින් සාදා ඇති මෙම ටෙරසය මත හෝටලයෙන් සපයා දෙන විශේෂ නිදන මලු තුළට වී සංචාරකයන් හට විචිත්‍රවත් වූ ඌෂාලෝකය (Aurora Borealis) නැරඹීමේ හැකියාව තිබෙනවා. නාන කාමරයක් ද මෙම කුටිය තුළ අන්තර්ගත වී තිබෙනවා.

මෙම කුටිය අයත් හෝටලය වන Treehotel මෙවැනිම වූ තවත් සුවිශේෂී කාමර කිහිපයක් සඳහා ද ප්‍රසිද්ධයි. පිටසක්වල යානාවක හැඩරුව ඇති UFO කාමරය වනයේ ඇවිද යන ඕනෑම කෙනකුට දුටු විටම සැබෑ පිටසක්වල යානයක් යැයි සිතෙන තරමට අලංකාරව නිර්මාණයකර තිබෙනවා. මෙහි ඇතුළතත් අභ්‍යවකාශ යානයක මෙන් නිර්මාණය කර ඇති බවයි පැවසෙන්නේ. කුරුලු කූඩයක් හැඩයෙන් නිර්මාණය කර තිබෙන කාමරය හා විනිවිද පෙනෙන ඝනකයක් මෙන් නිර්මාණයකර තිබෙන කාමරයත් සංචාරක ආකර්ෂණය දිනා ගත් තවත් නවාතැන් ස්ථාන වනවා.

මෙම හෝටල් සංකීර්ණය ඉදිවී තිබෙන්නේ ස්වීඩනයේ හරාඩ්ස් නගරයේ . හරාඩ්ස් නගරය ස්ටොක්හෝම් නගරයට කිලෝමීටර් 876ක් උතුරට වන්නට පිහිටා තිබෙනවා. ආහාර පාන කාමරය තුළට ගෙනවිත් දීමට මෙහි සේවකයන් කටයුතු කරන අතර WiFi, උණුසුම් වතුර ස්නානය කිරීමේ පහසුකම්, අවන්හලක් ඇතුළු සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් මෙම කාමර අසල ඉදිකර තිබෙන්නේ සංචාරකයන්ගේ සියලුම අවශ්‍යතා සපුරා දීමටයි. වනාන්තරයේ එක ගසකටවත් හානි නොවන සේ ඉදි කර තිබෙන මෙවැනි නිර්මාණ වනාන්තර විනාශ කරමින් හෝටල් හා වෙනත් ඉදිකිරීම් සිදුකරන දේශපාලකයන්ටත් ව්‍යාපාරිකයන්ටත් හොඳ ආදර්ශයක්.

[email protected] 

Comments