හෙළ හවුල් රීතිය හා සමකාලීන රීතිය | සිළුමිණ

හෙළ හවුල් රීතිය හා සමකාලීන රීතිය

දෙ දහස් දාහත් වැන්නෙහි ජනවාරි 10 වැනි දාට හෙළ හවුලට 76 වසරක් සපිරිණ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයෙන් පසු පිරිහෙන්නට වූ සිංහල ලේඛන ව්‍යවහාරය විසිවෙනි සියවසහෙි දී යළි නඟා ලනු වස් කුමාරතුංග මුනිදාස සූරීන් ගත් එක් පියවරක් වූයේ ‘හෙළ හවුල’ නමින් භාෂා සංවිධානයක් පිහිටුවීම යි. මෙි සංවිධානයේ අරමුණ වූයේ සිංහලයෙහි ‘සාධු ව්‍යවහාරය’ යළිත් නඟා සිටුවීම යි.

කුමාරතුංග සූරීන් සිංහලයෙහි ‘සාධු ව්‍යවහාරය’ සේ පිළිගත්තේ පොළොන්නරු යුගයෙහි විසූ ගුරුළුගෝමී නමැති පඬිවරයාණන් ලියූ ‘අමාවතුර’ නමැති ගද්‍ය කාව්‍යයෙහි උපයුක්ත භාෂා ව්‍යවහාරය යි. එබැවින් අමාවතුරු ව්‍යවහාරය “බලාල අළලා, පෙරා, කිරා, පිඬු කොටැ” දක්වමින් එතුමාණන් සැපයූ ‘ව්‍යාකරණ විවරණය’ හෙළ හවුලේ අත්පොත බවට පත් විණ. හෙළ හවුල් රීතිය හඳුනා ගැනීමට හොඳ ම මූලාශ්‍රය මේ ව්‍යාකරණ ග්‍රන්ථය යි.

සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වශයෙන් ‘අමාවතුර’ විශිෂ්ට ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා ‘අමාවතුර’ හඳුන්වන්නේ සිංහලයේ ‘ආදිම ගද්‍ය කාව්‍යය’ වශයෙනි.

“අපට ලැබී තිබෙන ආදිම සිංහල පද්‍ය කාව්‍යය සංස්කෘත රීතියට වහල්ව කරන ලද්දක් නමුදු ගද්‍යය එසේ නොවී ය. ආදිම ගද්‍ය කාව්‍යය ලෙස සැලකිය යුතු අමාවතුරෙහි දක්නා ලැබෙන්නේ දේශීය මාර්ගයට හුරු වන රීතියකි. ගුරුළුගෝමිහුගේ අමාවතුරු භාෂාව ද ශ්‍රේ්‍රෂ්ඨ ග්‍රන්ථකාරයකු අතින් සකස් වුණු ශිලා ලිපි භාෂාවම ය” (‘සිංහල සාහිත්‍යයේ නැඟීම’ 98 පිට)

සිංහලය ‘ජීව භාෂාවක්’ ය. එය ජීවියෙකු මෙන් කලින් කලට වෙනස් වෙමින් වැඩෙයි. එබැවින් අද ජීවත් වන සිංහල ලේඛකයන් වැඩි දෙනා නවකතා කෙටිකතා, කාව්‍ය හා නාට්‍ය වැනි නිර්මාණාත්මක ප්‍රබන්ධත් විචාර විමර්ශන සමීක්ෂණ වාර්තා වැනි ශාස්ත්‍රීය නිබන්ධත් සඳහා යොදා ගන්නේ අමාවතුරු සිංහලය නොවෙයි. ඔවුන්ගේ නව සිතුමි පැතුමි පිළිබිඹු කරන සිංහලය යි. අප හා සමකාලීන වූ සිංහල ලේඛක ලේඛිකාවන් විසින් නිපදවා ගනු ලැබූ ඒ සිංහල ලේඛන ව්‍යවහාරය ‘සමකාලින සිංහලය’ යනුවෙන් හැඳින්විය හැකි ය.

අද ජීවත් වන ලේඛක ලේඛිකාවන් අතුරින් සමහරු ‘හෙළ හවුල් රීතිය’ අනුගමනය කරති. සමහරු ‘සමකාලීන රීතිය’ අනුගමනය කරති. ආධුනික ලේඛක ලේඛිකාවන් කළ යුත්තේ ‍ෙම් රීති දෙකින් එකක් තමාට අභිමත සේ තෝරා ගෙන එහි නොවෙනස් ව පිහිටා සිටීම යි. මෙි ලිපියේ අරමුණ මෙි රීති දෙක අතර පවත්නා වෙනස්කමි සමහරක් දුහුනන් දැනුම් සඳහා ඉදිරිපත් කිරීම යි. කුමාරතුංග සූරීන් ‘අමාවතුර’ ඇසුරින් හෙළ හවුලට දායාද කොට දුන් රීති සමුදාය සමකාලීන ලේඛක ලේඛිකාවන් භාවිත කරන රීති සමුදායට වඩා උසස් ද නැත පහත් ද නැත. ඒ දෙක අතර ඇත්තේ වෙනස්කම් පමණකි.

‘හෙළ හවුල් රීතිය’ පැහැදිලි කිරීම පිණිස මා තෝරා ගත්තේ කුමාරතුංග මුනිදාස සූරීන් ස්වකීය ‘ව්‍යාකරණ විවරණය’ නම් කෘතිය ලිවීමෙහි ලා භාවිත කළ ලේඛන ව්‍යවහාරය යි. ‘සමකාලීන සිංහලය’ පැහැදිලි කරනු වස් මා තෝරා ගන්නේ හෙළ හවුල විසින් ද ‘වියත් සරසවි ඇදුරෙකු’ වශයෙන් පැසසුම් ලබන මහාචාර්ය විනී විතාරණයන්ගේ ලේඛන රීතිය යි. එතුමා විසින් 2007 දී පළ කළ ‘පදය වාක්‍යය සහ ඡේදය’ නමැති අත් පොතෙහි උපයුක්ත භාෂා ව්‍යවහාරය යි. ඒ කෘතිය එතුමා විසින් ම නමි කොට ඇත්තේ “නිවරද නිරවුල් පබඳෙහි අත්වැල” යනුවෙනි. එහි ‘පිදුමෙහි’ මෙසේ සඳහන් වෙයි.

“එක්තරා දෙ වසර කලක් තුළ
කොළඹ මහනගරසභා පොත්ගුල් මැඳුරෙහි
අප ගෙන් සිංහල උගනුව රැස් ව
තව ද සිංහල ඉගැනුම්හි අප පෙලඹවූ
ඒ දයාබර සිසු පිරිසට”

විනී විතාරණ මහාචාර්යතුමා අනුගමනය කරන ලේඛන රීතිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද නූතන සාහිත්‍යකරුවන් ද ජනමාධ්‍යවේදීන් ද අනුගමනය කරන ලේඛන රීතිය ම වෙයි. මෙහි ඉදිරිපත් කෙරෙන මෙි රීති සාවධානව හදාරා තමාට යෝග්‍ය රීති සමුදාය තෝරා ගැනීමට නවක ලේඛක ලේඛිකාවන් සමත් වුව හොත් හෙළ හවුලට 76 වසරක් සපිරෙන මේ අවස්ථාව ඔ‍ෙබ් ජීවිතයෙහි ද හැරවුමි ලක්ෂ්‍යයක් වනු ඇත.

‘හෙළ හවුල් රීතිය’ හා ‘සමකාලීන රීතිය’ අතර පවත්නා වෙනස්කමි හැදෑරීමෙි පහසුව තකා තේමා හයක් යටතෙහි ඉදිරිපත් කෙරේ. ‘හෙළ හවුල් රීතිය’ පෙන්වා දීමට මෙහි එන සියලු නිදසුන් කුමාරතුංගයන්ගේ ‘ව්‍යාකරණ විවරණය’ නමැති කෘතියෙනි. ‘සමකාලීන රීතිය’ පෙන්වා දීමට මෙහි එන සියලු නිදසුන් මහාචාර්ය විනී විතාරණයන්ගේ ‘පදය, වාක්‍යය හා ඡේදය’ නමැති කෘතියෙනි.

‘ව්‍යාකරණ විවරණයෙහි’ එන ‘සංඥාපනයෙහි’ පිටු හඳුන්වා ඇත්තේ අංකවලින් නොව සිංහල ගතකුරුවලින් බව ද මෙහි ලා සඳහන් කළ යුතු වෙයි.

1. අක්ෂර වින්‍යාස රීති

කුමාරතුංගයන් බොහෝ පද ලියන්නේ ඇ-කාරයකිනි. ඇ-යන අකුර සිංහල අක්ෂර මාලාවෙහි පමණක් දක්නට ලැබෙන්නක් නිසා ඒ කෙරේ වැඩි අවධානයක් යොමු වූ බවක් පෙනේ. සමකාලීන රීතිය ඇ-යන්න වෙනුවට අ-යන්න යොදයි.

කුමාරතුංග රීතිය

අතරැ - ශබ්ද අතරැ ඉඩ නැති වන පරිදි (3)

අනුවැ - එයට අනුවැ වැකි සැපැයීමට (ඛ)

කැරිණ - වෙනසෙක් නො කැරිණ (75)

කොටැ - ව්‍යාකරණය අනවශ්‍ය කොටැ සලකන්නා සේ (ක)

සකස් නො කොටැ මැ අරළු බුදී (ඛ)

ගැනැ - ව්‍යාකරණය ගැනැ මා ලියූ කලැ (ඡ)

ප්‍රකෘති ප්‍රභවය ගැනැ (85)

නැවැතැ - එය නැවැතැ නැවැතැ කියැ යුතු වේ නම් (382)

මැ - සිනාවට මැ හේතු වෙයි (ක)

ඔහු මුසාවක් මැ කියති. (ක)

මැනැවි - බලනු මැනැවි (281)

මැනැවින් - ව්‍යාකරණය මැනැවින් පුරුදු කෙරෙති (ඛ)

වාක්ප්‍රයෝගයන් මැනැවින් විමැසූවකු (ග)

මිසැ - සකුරු මිසැ බෙහෙත් නො කෑමි (ඛ)

මෙන් මැ - සමාජය මෙන් මැ භාෂාව ද (ක)

යැ - නොදැනීම පණ්ඩිත කම යැ (ක)

ව්‍යාකරණය අතිශයින් අවශ්‍ය යැ (ක)

සැබැවින් - කවරෙක් සැබැවින් මැ වඩු නමි දනී ද? (ඛ)

සමකාලීන රීතිය

අතර - ඒ දෙ අතර වෙනස්කම් පවතී (20)

ඒවා අතර මනා සම්බන්ධතාවක් (77)

කොට - පද ඒකක එකිනෙකින් ඈත් කොට (14)

ගැන - ඒ ගැන අවබෝධයෙන් තොර වීමෙහි (1)

පැරණි සිංහලය ඒ සා පැරණි බව (79)

ම - එක ම අරුතින් එක ම පද (17)

ඒ සඳහා සුදුසු ම පියවර (80)

මැනවි - පද උචිත ලෙස යෙදීම මැනවි (89)

‘පසු කල්හි’ යන්න යෙදීම මැනවි (91)

මැනවින් - අර්ථ දෝෂය වඩා මැනවින් පැහැදිලි වන නිසා (47)

ය - ඇත්තේ සුළු වෙනස්කමි ය (1)

ඇතැම් මහඟු උපදේශ මේ ය (16)

සැබවින් - සැබවින් ම පද බෙදීම (14 )

සැබවින් එහි පවතින්නේ අර්ථ දෝෂයක් බව (47)

 2. සන්ධි රීති

කුමාරතුංගයන් අනුදුටු සන්ධි විධි අනුව ආ-කාරාන්ත හෝ උ-කාරාන්ත නාම ප්‍රකෘතියකට පරව ‘එහි’ යන ප්‍රත්‍යය යෙදෙන විට ඒ අතරට එන්නේ අල් ය-යන්නක් ය. ඊට අල් ව-යන්නක් එක් කිරීම සමකාලීන රීතිය යි.

කුමාරතුංග රීතිය

කඩුගන්නා-එහි - කඩුගන්නායෙහි

කඩුගන්නායෙහි පාඨශාලාවෙි (ඡ)

භාෂා-එහි - භාෂායෙහි

ලකුණෙක් භාෂායෙහි නැති (8)

සඟරා-එහි - සඟරායෙහි

සිදත් සඟරායෙහි ‘නිපන්’ යන නාමයෙන් (82)

කොටු-එහි - කොටුයෙහි

කොටුයෙහි ලියා දක්වත් හොත් (403)

සමකාලීන රීතිය.

සඟරා-එහි සඟරාවෙහි

සිදත් සඟරාවෙහි අගය

උ-කාරාන්ත ප්‍රකෘතියකට පරව ‘එන්’ යන ප්‍රත්‍යය යෙදෙන විට ඒ අතරට අල් ය-යන්නක් යොදා සන්ධි කිරීම කුමාරතුංග රිතිය යි. අල් ව-යන්න යෙදීම සමකාලීන රීතිය වෙයි.

කුමාරතුංග රීතිය

හේතු-එන් - හේතුයෙන්

ඒ හේතුයෙන් අපි නො වැළකූමිහ (ඝ)

පහසු-එන් - පහසුයෙන්

පහසුයෙන් කියැවියැ හැකි (4)

ධාතු-එන් - ධාතුයෙන්

‘කර’ ධාතුයෙන් සිදු වූ (21)

යනු-එන් - යනුයෙන්

‘තෝ’ යනුයෙන් ගත හැකි (91)

සමකාලීන රීතිය

හේතු-එන් - හේතුවෙන්

නොසැලකිල්ල හේතුවෙන් (2)

යනු-එන් යනුවෙන්

3. නාම පද සාධන රීති

‘නාම පද’ සාධනයෙහි ලා කුමාරතුංග රීති හා සමකාලීන රීති වෙනස් වෙයි.

‘අප්‍රාණවාචී නියත ඒකවචන ආධාර විභක්ති නාම පදවල’ ඇ-ප්‍රත්‍යය යෙදීම කුමාරතුංග රීතිය යි. අ-ප්‍රත්‍යය යෙදීම සමකාලීන රීතිය යි.

කුමාරතුංග රීතිය

අගැ - ‘අත’ යන තන්හි අගැ කියැවෙන (25)

අලුතැ - අලුතැ සංස්කෘතයට බැසැ-ගත්තේ (84)

කලැ - පදයක් කියවන කලැ අපට ඇසේ (2)

කොළොඹැ - 2481ල බිනර පුර 5ල කොළොඹැ දී යැ (ජ)

තැනැ - එ තැනැ වනුයේ (146)

පෙරැ හවුරුදු සත් විස්සකට පෙරැ (ඡ)

බසැ - බුහු බසැ ‘න’ විබත (135)

මැදැ - මැදැ ආ-යනු (146)

යටැ - යටැ දැක්වුණු වාක්‍යවල (376)

විටැ - ඇතැම් විටැ ග්‍රන්ථකාරයා (ග)

රටැ - මෙ රටැ වනාහි වෙනසෙක් වෙි (ක)

සමකාලීන රීතිය

කොළඹ - කොළඹ මහනගරසභා පොත්ගුල් මැඳුරෙහි (පිදුම)

කල - දරුවා හඬන කල මවට කිරි එරේ (42)

නැඟෙනහිර - මුළු නැඟෙනහිර ආසියාකරයේ (126)

විට - ඇතැම් විට එයට හේතු වෙි (16)

කුමාරතුංගයන් වාක්‍යයක උක්තය වශයෙන් යෙදෙන ‘අප්‍රාණවාචී අනියත ඒකවචන නාම පද’ සදා ගත්තේ ‘එක්’ ප්‍රත්‍යය යොදා ගනිමිනි. ඒ වෙනුවට ‘අක්’ ප්‍රත්‍යය යෙදීම සමකාලීන රීතිය යි.

කුමාරතුංග රීතිය

උත්තරයෙක් - එයට දියැ යුතු උත්තරයෙක් නො පෙනේ (377)

කරදරයෙක් - අජීර්ණයෙන් පෙළෙන්නාට ආහාරය කරදරයෙකි (ක)

කලෙක් - ඉතා දිගු කලෙක් යේ (ග)

කාරණයෙක් - ශබරයාට වස්ත්‍රය සිනාවට කාරණයෙකි (ක)

කීහිපයෙක් - නාම කිහිපයෙක් ද මේ ගණයට අයත් වෙි (101)

ගුණයෙක් - ගුණය නූතන වුව ද ගුණයෙකි (ච)

ග්‍රන්ථයෙක් - විශාල ග්‍රන්ථයෙක් අවශ්‍ය වේ (ඡ)

දෙකෙක් - වාක්‍ය දෙකෙක් වෙයි (382)

දෝෂයෙක් - දෝෂය පුරාතන වුව ද දෝෂයෙකි (ච)

පුදුමයෙක් - ව්‍යාකරණය නුරුස්සවුන් ඇති වීම පුදුමයෙක් නො වෙි (ක)

ප්‍රශ්නයෙක් - අපට දිනක් ප්‍රශ්නයෙක් උපන්නේ යැ (ඡ)

රීතියෙක් - සිංහලයෙහි යමි රීතියෙක් වේ නම් (ඝ)

විහි'ඵවෙක් - දැනීම විහිළුවෙකි (ක)

වූවෙක් - මති-මාත්‍ර වූවෙක් මෙහි නො ඒ (ඝ)

වෙනසෙක් - නීති රීති ආදියෙහි වෙනසෙක් වේ (ක)

හැඟවීමෙක් - එ බඳු හැඟවීමෙක් නො කැරිණ (ඝ)

සමකාලීන රීතිය

තුනක් - සිංහලයෙහි පද වර්ග තුනක් වෙයි (7)

කරුණක් - තව ද වැදගත් කරුණක් වෙයි (8)

යුත්තක් - රචනය සඳහා වටහා ගත යුත්තක් වෙයි (9)

රූපයක් - තවත් රූපයක් පවතී (12)

ගැටලුවක් - එය ගැටලුවක් නො වෙි (21)

වරදක් - ඒ වාක්‍යවල අන් වරදක් නො පවතී (47)

දෝෂයක් - අවසන් වාක්‍යයෙහි දෝෂයක් වෙයි.(79)

‘අප්‍රාණවාචී ආධාර’ හෝ ‘සමිබන්ධ විභක්ති නාම පදවල’ ‘එකැ’ යනුවෙන් යෙදීම කුමාරතුංග රීතිය යි. ඒ වෙනුවට ‘අක’ යෙදීම සමකාලීන රීතිය යි.

කුමාරතුංග රීතිය

කලෙකැ - කිසි කලෙකැ බෙහෙදක් නුබුදිමි (ඛ)

කිහිපයෙකැ - වාක්‍ය කිහිපයෙකැ උක්තය (391)

ක්‍රියාවෙකැ - ආඛ්‍යාත ක්‍රියාවෙකැ වුව ද (184)

ග්‍රන්ථයෙකැ - ව්‍යාකරණ ග්‍රන්ථයෙකැ වහල ලත් කලැ (ග)

ජාතියෙකැ - ජාතියෙකැ නිර්මාණ ශක්තිය (ච)

තැනෙකැ - ඒ තැනෙකැ අධිකරණ පහ වීමෙන් (191)

ධාතුවෙකැ - යමි ධාතුවෙකැ මධ්‍ය ස්වරය (227)

නිපාතයෙකැ - නිපාතයෙකැ කාර්යය (388)

පොතෙකැ - පොතෙකැ අගය (179)

වාක්‍යයෙකැ - වාක්‍යයෙකැ යොදන්නට පෙරැ (80)

සංග්‍රහයෙකැ - සංග්‍රහයෙකැ අවයව වෙන් කොටැ (79)

සතරෙකැ - පද සයින් සතරෙකැ මැ ප්‍රකෘති (85)

ස්වරයෙකැ - ස්වරයෙකැ ශක්ති දෙකෙකි (3)

සමකාලීන රීතිය

නාමයක - නාමයක මුල් රූපයක් (53)

පදයක - නාම පදයක ප්‍රකෘතිය වනාහි (12)

පිටුවක - මේ ඡෙද තුන අභ්‍යාස පිටුවක ලියන්න (88)

ප්‍රකෘතියක - ප්‍රාණවාචී ප්‍රකෘතියක ඒක වචන රූපය (65)

ප්‍රබන්ධයක - ප්‍රබන්ධයක සංක්ෂිප්තතාව (66)

පෝස්ටරයක - පෝස්ටරයක අන්තර්ගතයෙහි (75)

භාෂාවක - භාෂාවක පවතින කුඩා ම අර්ථවත් ඒකකය (7)

වාක්‍යයක - වාක්‍යයක අවශ්‍ය තැන්හි (32)

විශේෂණයක - විශේෂණයක ගැබ් වුණු අරුත (32)

‘අප්‍රාණවාචී කරණ’ හෝ ‘අවධි’ විභක්ති නාම පදවල ‘එකින්’ යනුවෙන් යෙදීම කුමාරතුංග රීතිය යි. ඒ වෙනුවට ‘අකින්’ යෙදීම සමකාලීන රීතිය යි.

කුමාරතුංග රීතිය

අකුරෙකින් - ‘ය්’ ‘ස්’ යන අකුරෙකින් අන්ත වන නාම (102)

ආබාධයෙකින් - එක්තරා ආබාධයෙකින් පෙළෙනුයේ (ඛ)

ගුණයෙකින් - සිය ගුණයෙකින් අගනේ යැ (ඛ)

දිනෙකින් - දෙ තුන් දිනෙකින් ඊශ්වරත්වයට පැමිණෙන්නට (ඛ)

පදයෙකින් - ඒ පදයෙකින් කෙරෙන කාර්යය (388)

පාදයෙකින් - පද දෙකක් එකතු වැ සිදු වූ පාදයෙකින් (201)

භාෂාවෙකින් - අතීත භාෂාවෙකින් පැමිණි (84)

විනිශ්චයෙකින් - එ බඳු විනිශ්චයෙකින් (ග)

සමකාලීන රීතිය

අකුරකින් - පද එක් අකුරකින් පමණක් යුක්ත විය හැකි බව (8)

අඩුවකින් - අර්ථය කිසි දු අඩුවකින් තොරව (67)

නිදසුනකින් - නිදසුනකින් ම තත්ත්වය පැහැදුලි වෙි (45)

පදයකින් - පදයකින් පළ කරන අරුත (17) 

මහාචාර්ය ජේ. බී. දිසානායක 

Comments