මඟ සලකුණු | සිළුමිණ

මඟ සලකුණු

• 1939 ජූලි 10 - කුමාරතුංග මුනිදාසයන් ‘සුබස’ සඟරාව ඇරැඹීම

 

• 1941 ජනවාරි 11 - ‘සුබස’ නිසා මතු වුණු සුබැසියන් ගේ එකතුවක් ‘හෙළ හවුල’ නමින් පාණදුරේ කුමාරතුංගයන් ගේ නිවෙස වූ ‘හෙවණේ’ දී ඇරැඹීම. ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, අරීසෙන් අහුබුදු වැනි, පසු කලෙක හෙළ හවුලේ මහ තැන් ලැබූ වියතුන් බොහෝ දෙනකු මෙයට සහභාගි වී ඇත. මුළුනයු (සභාපති) වූවෝ ඒ.පී. ජයමාන්නයෝ යි.

 

• 1941 පෙබරවාරි 15 - හෙළ හවුලේ පළමු වන රැස් වීම එහි පළමු නයුවාණන් (නායකයා) වන කුමාරතුංග මුනිදාසයන් ගේ ප්‍රධානත්වයෙන් පාණදුරේ මහානාම විද්‍යාලයයේ දී පැවැත්වීම

 

• 1941 දෙසැම්බර 13 - අම්බලන්ගොඩ පැවැති හෙළ හවුලේ රැස්වීමට මැරයන් කඩා වැදීම. එහෙත් කුමාරතුංග මුනිදාසයෝ ඔවුන් මැඬ පවත්වා, රැස්වීමේ කටයුතු ඉදිරියට ගෙන ගියහ.

 

• 1941 - 1943 - කෑගල්ල, මහනුවර, මාතර, දික්වැල්ල, අහංගම, උණවටුන, බළපිටිය, අම්බලන්ගොඩ, කළුතර ආදි පෙදෙස්වල අතු හෙළ හවුල් (ශාඛා) ඇති වීම

 

• 1943 දෙසැම්බර් 11 - අතු හෙළ හවුලෙක අවුරුදු සමුළුවක් (වාර්ෂික සම්මේලනයක්) මුල් වරට කෑගලු හෙළ හවුල විසින් පවත්වනු ලැබීම

 

• 1944 මාර්තු 02 - හෙළ හවුලේ පළමු වන නයු කුමාරතුංග මුනිදාසයන් මෙ ලොවින් සමු ගැන්ම. මෙ දින සිට ජයන්ත වීරසේකර‍යෝ හෙළ හවුලේ නයු පදවියට පත් වූ හ.

 

• 1945 මාර්තු 02 - කුමරතුඟු පළමු වන සමරුව කොළඹ ලක් සරසවියේ ජෝජි රාජ හලේ දී (ලංකා විශ්වවිද්‍යාලයයේ ජෝර්ජ් රාජ ශාලාව) හෙළ හවුල විසින් පවත්වනු ලැබීම. මෙ තැන් සිට සෑම වසරෙක ම මාර්තු 02 වන දා හෙළ හවුල විසින් මේ සමරු උලෙළ නොකඩ වැ පවත්වනු ලැබේ.

 

• 1946 - හෙළ හවුලේ පොත් පත් පළ කිරීම පිණිස ‘රුවන් පොත් හවුල’ නමින් එකතුවක් පිහිටැවීම. මෙයින් පළ වූ මුල් ම පොත අමරසිරි ගුණවඩුවන් ගේ ‘සුව දුක’ යි.

 

• 1948 අප්රේල් 24 - සිංහලය මෙ රට රාජ්‍ය භාෂාව කළ යුතු ය, යන යෝජනාව මුලින් ම ඉදිරිපත් කරමින් හෙළ හවුල විසින් කොළඹ පුර හලේ (නගර ශාලාව) දී රැස්වීමක් පැවැත්වීම. මෙහි මුලසුන හොබවන ලදුයේ හෙළ හවුලේ නයු ජයන්ත වීරසේකරයන් විසිනි.

 

• 1949 ජූනි 18 - හෙළ හවුලෙහි දෙ වන නයු ජයන්ත වීරසේකරයන් මෙ ලොවින් සමු ගැන්ම.

මෙ දින සිට රැපියල් තෙන්නකෝන්හු නයු පදවිය හෙබැවූ හ.

 

• 1961 මාර්තු 2 - හෙළ හවුලේ මෙහෙයැවීමෙන් පාණදුරේ ගොරකානේ සොහොන් බිමෙහි ඉදි කැරුණු සිහිවටනය තුළ කුමරතුඟු සිරුරු අළු (භස්මාවශේෂ) තැන්පත් කිරීම

 

• 1965 මාර්තු 08 - හෙළ හවුලෙහි තෙ වන නයු කිවිසුරු රැපියල් තෙන්නකෝනුන් මෙ ලොවින් සමු ගැන්ම. මෙ දින සිට අමරසිරි ගුණවඩුවෝ හෙළ හවුලෙහි නයු පදවිය හෙබැවූ හ.

 

• 1966 ජූලි 09 - හෙළ හවුලේ රිදී මඟුල් උලෙළ (25 වන වසර සැමැරුම) දෙ දිනක් පුරා බොරැල්ලේ ‘රෙක්ස්’ මන්දිරයේ ද කොළඹ අනඳ විදුහලේ ද (ආනන්ද විද්‍යාලය) පැවැත්වීම

 

• 1977 ජූලි 08 - හෙළ හවුලෙහි සිව් වන නයු අමරසිරි ගුණවඩුවන් මෙ ලොවින් සමු ගැන්ම. මෙ දින සිට කෝදාගොඩ නැණලු (ඤාණාලෝක) නා හිමි පාණෝ හෙළ හවුලේ නයු අසුන හෙබැවූ හ.

 

• 1986 ජූලි 25 - හෙළ හවුල හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක් ව, කුමරතුඟු මුනිදස් උපත් සියවස (1887-1987) නිමිති කොට සිංහල භාෂා වර්ෂයක් ප්‍රකාශයට පත් කිරීම. මෙතැන් සිට 1987 ජූලි මස තෙක් සිංහල භාෂාව මුල් කොට ගෙන මාසික සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විණි.

 

• 1986 අගෝස්තු - හෙළ හවුල මුල් වීමෙන්, රාජ්‍ය අනුග්‍රහය ද සහිත ව නිවැරැදි සිංහලය ඉගැන්වීමේ පන්තියක් කොළඹ මහජන පුස්තකාලයේ දී ඇරැඹීම. මෙය දෙ වසරක් පුරා පැවැත්විණි.

 

• 1987 ජූලි 25 - කුමරතුඟු මුනිදස් උපත් සියවස් සමරුව එවක ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාණදුරේ පල්ලිමුල්ලේ දී පැවැත්වීම. ‘කුමාරතුංග මුනිදාස පදනම’ ඇරැඹීමේ මුල් කටයුතු ද මෙ දින සිදු කැරිණි.

 

• 1988 ජූනි - හෙළ හවුලෙහි පස් වන නයු කෝදාගොඩ ඤාණාලෝක නාහිමිපාණන් අපවත් වීම. මෙ දින සිට වරකාගොඩ සිල්රුවන් (සීලරතන) නා හිමි පාණෝ හෙළ හවුලේ නයු පදවිය හෙබැවූ හ.

 

• 1991 ජනවාරි - හෙළ හවුලේ රන් උලෙළ (50 වන වසර සැමැරුම) කොළඹ මහජන පුස්තකාලයේ දී දෙදිනක් පුරා පැවැත්වීම. හෙළ බසට මෙහෙ කළ වියතුන් හට ‘හෙළ බස් ඉසුරු’, ‘හෙළ බස් මිණි’ යන හරසර නම් පිරිනැමීම ද මෙහි දී සිදු විය.

 

• 1991 දෙසැම්බර - වරකාගොඩ සිල්රුවන් හිමියන් සිය කැමැත්තෙන් ම හෙළ හවුලේ නයු පදවියෙන් අස් වීම. ඉක්බිති අ.දො. චන්ද්‍රසේකරයෝ නයු පදවියට පත් වූ හ.

 

• 2001 දෙසැම්බර - කලාසූරී අරීසෙන් අහුබුදුවන් හෙළ හවුලේ නයු පදවියට පත් කැරගනු ලැබීම

 

• 2005 දෙසැම්බර - අරීසෙන් අහුබුදුවන් සිය කැමැත්තෙන් ම නයු පදවියෙන් අස් වීම. ඉක්බිති අනඳපිය කුඩාතිහියෝ එ පදවියට පත් වූ හ.

 

• 2008 - වෙදැදුරු අමරසිරි පොන්නම්පෙරුමයන් හෙළ හවුලේ නයු පදවියට පත් කැරගනු ලැබීම

 

• 2012 නොවැම්බර - ශ්‍රීනාත් ගණේවත්ත හෙළ හවුලේ නයු පදවියට පත් කැරගනු ලැබීම

 

• 2013 - හෙළ හවුල මඟින් ‘දෙටු සුබැසි හරසර’ උලෙළ ජාතික කෞතුකාගාර ශාලාවේ දී පැවැත්වීම

 

• 2016 ජනවාරි 11 - බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී හෙළ හවුලේ 75 වන වසර සමරුව පැවැත්වීම හා හෙළ හවුලේ නිල විබැඳුම් (වෙබ්) අඩවිය ඇරැඹීම

Comments