වයස 24 දී ලෝකය වටේ ගිය ජේම්ස් | සිළුමිණ

වයස 24 දී ලෝකය වටේ ගිය ජේම්ස්

 

ලෝක වාර්තා ගැන කියවන්න හැමෝම වගේ ආසයි. සමහර ලෝක වාර්තා අපිට සිතා ගැනීමට පවා අපහසු ඒවා. නමුත් ඒ අතරින් සමහර ඒවා කියවන විට මටත් මේ වගේ දෙයක් නම් පුළුවන් නේද කියා සිතෙනවා. අද ඔබ වෙත ගෙන එන්නේත් එවැනි ලෝක වාර්තාවක් ගැන පුවතක්. ‘හිත ඇත්නම් පත කුඩාද?’ යන කියමන අරුත් ගැන්වූ තරුණයකු ගැන තමයි මේ කතාව.

ජේම්ස් ඇස්කුවිත්( James Asquith) කියන බ්‍රිතාන්‍යය ජාතික තරුණයා තමයි ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් සියල්ලටම ගොස් තිබෙන ලොව ළාබාලම පුද්ගලයා. දැන් වයස අවුරුදු 28ක් වන ජේම්ස් මෙම ලෝක වාර්තාව තබා තිබෙන්නේ ඔහුට වයස 24දීය.

මේ තරම් අඩු වයසකින් ලෝකය පුරා සංචාරය කිරීමට තරම් මුදල් තිබීමට මොහු ධන කුවේරයකුගේ පුත්‍රයකු විය යුතු බව ඔබට සිතෙනු නොඅනුමානයි. එහෙත් මෙම ලිපිය කියවන විට ඔබ වැරැදි බව ඔබට වැටහේවි. ඊටත් අමතරව ඔබටත් මෙය කළ හැකි බවත් සිතේවි.

දැන් ලන්ඩනයේ ඩොයිෂ් ( Deutsche) බැංකුවේ සේවය කරන ජේම්ස් හට කිසි දිනක ලෝකය වටේ ගමන් කිරීමට සැලැස්මක් තිබී නැහැ. ඔහුට ලෝකය දැකීමට පිපාසය ඇති වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ ගුවන් නියමුවකු ලෙස සේවය කරන පියා සමඟ රටවල් කීපයක සංචාරය කිරීමෙන් පසුවයි. එංගලන්තයේ සසෙක්ස් හි උපත ලද ජේම්ස් ජීවිතයෙන් වැඩි කාලයක් ලන්ඩනයේ ගත කර ඇති අතර කුඩා කල සිටම මුදල් ඉතිරි කිරීමට පටන් ගෙන තිබේ.

හැකි සෑම විටම කුඩා රැකියාවන් සඳහා සිත යොමු කර තිබෙන ජේම්ස් වයස අවුරුදු 12 වැනි කුඩා කාලයේ සිටම අසල්වැසියන්ගේ වාහන සේදීම වැනි කුඩා කුඩා ක්‍රියාවන් කර මුදල් එක් රැස් කරගෙන තිබේ. මේ ලෙසින් සැලකිය යුතු මුදලක් වයස අවුරුදු 18 වනවිට ජේම්ස් සතුව තිබී ඇත. ඉන්පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර ලැබුණු නිවාඩුවක මිතුරන් සමඟ ගිණිකොණදිග ආසියාවේ සංචාරයක් සැලසුම් කර තිබෙන අතර මෙම මාස තුනෙහි සංචාරය ඔහුගේ ලෝක වාර්තාවේ අඩි තාලම බවට පත් වී තිබේ.

එතැන් පටන් ලෝක වාර්තාව තැබීමටමොහුට ගත වී ඇති කාලය වසර 5ක් . ආර්ථික අවපාතයක් තිබූ සමයක එංගලන්තයේ කොටස් වෙළඳපොළෙහි කොටස් ආයෝජනය කිරීමෙන් වාසනාව උදා කරගත් ජේම්ස් හට එයින් මුදල් ලැබී තිබෙන අතර ඊට අමතරව ඔහු සංචාරය කරන රටවල් වල පවා ලැගුම්හල් වල හා තැබෑරුම් වල සේවය කර තිබේ.

විශේෂයෙන්ම දකුණු ඇමෙරිකාවේදී මේ ලෙස සේවය කරමින් ඔහු නවාතැන් හා ආහාර නොමිලයේම සපයාගෙන තිබීමත් විශේෂයක්. මොහු ලෝක වාර්තාව සම්පූර්ණ කර තිබෙන්නේ මීට වසර 4කට පෙර වූවත් ඔහුගේ සියලු ඡායාරූප, අදාළ ලිය කියවිලි හා සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතු

රුව ගිනස් ලෝක වාර්තාව නිල වශයෙන් දැනුම් දී තිබෙන්නේ පසුගිය වසරේදීය. බොහෝ රටවල් වලට තනිවම සංචාරය කර තිබෙන මොහු සමහර රටවල් වල දිනකට වඩා ගත කර නොමැති අතර සමහර රටවල්හි මාස ගණන් ගත කර තිබේ. අප්‍රිකාවේ සංචාරය කර තිබෙනමාස 4 ඔහු හඳුන්වනු ලබන්නේ සුවිශේෂී සංචාරයක් ලෙසයි.

තනිවම හුදකලාව අප්‍රිකාවේ කාලය ගත කර තිබෙන අතර මුල්මාස දෙකෙහිදීම ඉංග්‍රීසි වචනයක්වත් කතා කිරීමට අවශ්‍යවී නැත. යුද්ධය පවතින සමයේ ඉරාකයේ සංචාරය කර තිබෙන ජේම්ස් පවසන්නේ ඔහුගේ ඡායාරූප වල දකින්නට ලැබෙන ඉරාකය වර්තමාන ඉරාකයට වඩා බොහෝ ලස්සන බවයි. ඊට අමතරව සිරියාව, ජොර්දානය වැනි රටවල කරන ලද සංචාරයන් ද අමතක නොවන ඒවා බව ඔහු පවසයි. ලෝක වාර්තාව සම්පූර්ණ කිරීමට අවසාන රට වන මයික්‍රොනීසියාවට ගමන් කරන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර ලන්ඩනයේ HSBC බැංකුවේ සේවකයකු ලෙස මොහු කටයුතු කර තිබේ.

ජේම්ස් ගේ මෙම උත්සාහවන්ත ප්‍රයත්නයට ඔහුගේ දෙමාපියන්ගෙන් පූර්ණ සහයෝගය ලැබී තිබේ. දෙමාපියන් සමඟ ජීවත් වන නිසා අමතර වියදමක් දැරීමට ජේම්ස් හට සිදු නොවීම නිසා ඔහුට මුදල් ඉතිරි කිරීමට හැකියාව ලැබී තිබේ. එකම අවස්ථාවේ රැකියා 3ක නියැලෙමින් සිටි කාලයකුත් ඔහුට තිබී ඇත.

සංචාරය සඳහා ගෙදරින් සත පහකවත් මුදලක් මොහු ලබාගෙන නොමැති අතර පියා සමඟ සමහර ගුවන් ගමන් අඩු මිලට ගමන් කිරීමට හැකියාව මොහුට ලැබී තිබේ. ඊටත් අමතරව හැකි සෑම විටම අඩුම මිල ගුවන් ටිකට්පත් හා දීමනා සෙවීමට වෙහෙසෙමින් හැකිතාක් අඩු වියදමින් සංචාරය කිරීමට ජේම්ස් ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ.

ඔහුගේ ලෝක වාර්තාව නිම වූවත් සංචාරය කිරීම නම් නිමවී නොමැත. ඇන්ටාර්ක්ටිකාව හා ආක්ටිකාවට ගමන් කිරීමට සිහිනයකින් පසුවන ජේම්ස් පවසන්නේ දැන් ඔහු තරමක් අවදානමක් සහිත විනෝදය පිරි සංචාරයන් සඳහා හිත යොමු කරන බවයි. ඒ කෙසේ වෙතත් මේ දිනවල ඔහු ලොව වටා සංචාරය අලලා පොතක් ලිවීමට පටන් ගෙන තිබේ.

සංචාරක මඟ පෙන්වන පොතක් ලෙසින් හැඳින්විය හැකි මෙහි නම වන්නේ ‘Breakin Borders’ යන්නයි. මේ පොත මඟින් ඔහුගේ වීර වික්‍රමය ගැන වැඩිදුර තොරතුරු මෙන්ම කෙදිනක හෝ සංචාරය කරන විට අඩු වියදමකින් අඩු කාලයකින් රටවල් රැසක් බලාගන්නේ කෙසේද කියා දැනගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

විශේෂයෙන්ම දේශසීමා තරණය පිළිබඳව මෙහි අඩංගු වන්නේ මොහු බොහෝ රටවල් සඳහා ගොස් තිබෙන්නේ දේශසීමා පසු කරමින් වීම නිසායි. සංචාරයට ලැදි විනෝදකාමී තරුණ ප්‍රජාවට ආදර්ශයට ගත හැකි චරිතයක් ලෙස ජේම්ස් ඇස්කුයිත් ව හැඳින්විය හැකිය.

 
 

Comments