මිචෙලි ඔබාමාට සුබ පැතූ සුපිරි තරු | සිළුමිණ

මිචෙලි ඔබාමාට සුබ පැතූ සුපිරි තරු

මෙරිකානු ජනපති බැරැක් ඔබාමා තම ධුරයෙන් නික්ම යද්දී ඔහුගේ ප්‍රිය බිරිය වන මිචෙලි ඔබාමා පසුගියදා තම 53 වැනි උපන් දිනය සැමරුවා. ඇයත් තම සැමියා සමඟ ධවල මන්දිරයෙන් නික්ම යන්නටයි පසුගිය සතියේ ලකලැහැස්ති වුණේ.

මිචෙලි ඔබාමාට උපන් දින සුබ පැතුම් ගෙන එන්නට වැඩි උනන්දුවක් දැක්වූයේ හොලිවුඩ් පුරයේ සුපිරි කලාකරුවන් සහ කලාකාරියන් රැසක්. ඒ අතරින් පෙරමුණ ගත්තේ සුපිරි ගායිකා ඇඩිලේයි. ඇය තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මිචෙලි ඔබාමා ආර්යාවගේ කළු සුදු ඡායාරූපයක් පළ කර ඊට යටින් මෙම සටහන තැබුවා... “මගේ ආර්යාවනි, ඔබතුමියට සුබ උපන් දිනයක්. අපි ඔබට ආදරෙයි.”

ජනපති ඔබාමාගේ සහ මිචෙල් ආර්යාවගේ සමීප මිතුරියක් තමයි, සුපිරි ගායිකා බියොන්සේ. ඇය ද ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි තරමක දීර්ඝ සුබ පැතුමක් සටහන් කළා. “අපගේ අනුප්‍රාණයට සුබ උපන් දිනයක්. අපගේ මුල් පුරවැසි ආර්යාවට සුබ උපන් දිනයක්. අපි ඔබට ගරු කරන්නෙමු. සැම විටම සහ සදා කාලයටම.” බෙයොන්සේගේ සුබ පැතුමෙහි එම වැකි ද සටහන් වී තිබුණා.

මේ අයුරින් තවත් හොලිවුඩ් තරු රැසක්ම මිචෙලි ඔබාමාට සුබ පතා තිබුණා.

‘බැට්මෑන්’ගේ නිල ඇඳුම වෙනස් වෙයි ද?

‘බැට් මෑන්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ‘Batman V Superman : Dawn of Jastice’ හි බැට්මෑන් ලෙස රඟන බෙන් ඇෆ්ලෙක් පවසන්නේ මේ සුපිරි වීරයාගේ ඇඳුම වෙනසකට ලක් කළ යුතු බවයි. ඔහු එවැනි අදහසක් ප්‍රකාශ කර ඇත්තේ ‘බැට් මෑන්’ චරිතයට නිර්මාණය කළ ඇඳුම හැඳගෙන රඟපෑම දුෂ්කර කාර්යයක් වී ඇති නිසයි.

මෑතකදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ 44 වියැති ජනප්‍රිය නළුවා තවදුරටත් මෙලෙස පැවසුවා...

“බැට් මෑන්ගේ ඇඳුම නවීකරණය කළානම් හොඳයි. මොකද, දැන් තියෙන ඇඳුම අපිට ඇඳගන්නත් අමාරුයි, ගලවගන්නත් අමාරුයි. ලේසියෙන් ඇඳගෙන රඟපාලා, ලේසියෙන්ම ගලවලා දාන්න පුළුවන් ඇඳුමක් තමයි ඕනෙ. ඒ වගේම රඟපාද්දි ඇඟට අපහසුවක් නොදැනෙන ඇඳුමකුත් වෙන්න ඕනෙ.”

බෙන් ඇෆ්ලෙක්ස් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තවත් ‘බැට් මෑන්’ චිත්‍රපටයක් නිර්මාණය වීමට නියමිතයි. එම චිත්‍රපටයේ ‘බැට් මෑන්’ චරිතයට පිවිසෙන්නේත් ඔහු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි ඔහු මෙලෙස ද කියා සිටියේ...

“දැන් පාවිච්චි කරන බැට් මෑන් ඇඳුම ඇඳගෙන අපහසුවෙන් හරි රඟපාන්න පුළුවන්. හැබැයි, ඒක ඇඳගෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න නම් බැහැ.”

‘ප්ලාස්ටික් අනවශ්‍යයි’

අනුරාගයේ සංකේතයක් ලෙස නිරතුරුවම නම් කෙරෙන සුරූපී නිළි මෙගාන් ෆොක්ස්ගේ ස්වරූපය මෑතක සිට තරමක් වෙනස් වී ඇතැයි සමහරු පවසනවා. මේ වෙනසට හේතුව, ඇගේ සිරුරේ අඟ පසඟවලට ප්ලාස්ටික් සැත්කම් කරගෙන තිබීමලු. කරුණු දන්නා අය කියන්නේ ඒ කතාවයි.

මෙගාන් ෆොක්ස් මේ වන විට 30 වැනි වියෙහි පසුවෙනවා. ඇය තිදරු මවක්. ජීවිතයේ මැදි වියට එළඹෙන්නටත් කලින් ප්ලාස්ටික් සැත්කම් කරගන්නට මේ රුවැති ළඳ පෙළඹුණේ ඇයිදැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. මේ ගැන කටකතා පැතිරෙද්දී ඒවාට ඇය උත්තර දුන්නේ තමන්ගේ මුහුණු පො‍ත් පිටුවෙන්. එහි ඇය සටහන් කළේ වෙනත් අය මෙන් තම දෙතොල්, කම්මුල් හෝ වෙනත් කිසිදු අවයවයක් ප්ලාස්ටික් සැත්කමකින් වෙනස් කර නොගත් බවයි. ඒ බව තහවුරු කිරීමට මුහුණු පොතෙහි තමන්ගේ ඡායාරූපයක් පළ කිරීමටත් මෙගාන් උත්සුක වී තිබුණා.

2006 දී, ජනප්‍රිය නළු බ්‍රයන් ඔස්ටින් සමඟ විවාහ ගිවිස ගත් මෙගාන්, 2009 දී එම ගිවිස ගැනීම කටුගා දැමුවා. නමුත් ඇය 2010 දී බ්‍රයන් ඔස්ටින් සමඟ ම යළි විවාහ වුණා. එම විවාහයෙන් ඇය පුතුන් තිදෙනෙකු ලැබුවා.

ලින්ඩ්සේ වෙනස් වෙයි

සුපිරි තරුවක් නිශ්ශබ්දව සිටීම කාගේත් විමසිල්ලට හේතුවක් වෙනවා. ලින්ඩ්සේ ලෝහන් නම් වූ සුපිරි නිළිය ගැන තොරතුරු කවුරුත් විමසන්නට පටන් ගත්තේ ඇගේ නිහඬ බව නිසාමයි. නිතරම මාධ්‍යයට කතා කරන, පුවත් මවන්නියක වන ලින්ඩ්සේ මේ දිනවල සංක්‍රාන්ති අවධියක් ගත කරමින් සිටින බවයි, ඇගේ වගතුග සොයන අයට දැනගන්නට ලැබුණේ.

කරුණු හාරා අවුස්සන අය දැනගත්තේ ඇය ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට සූදානම් වන බවයි. මෑතකදී ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙනුත් මේ බව සනාථ වී තිබෙනවා. එහි ඇය ‘අලෙයිකුම් සලාම්’ යනුවෙන් සටහනක් යොදා තිබෙනවා. මේ අනුව කාටත් වැටහෙන්නේ ලින්ඩ්සේ ලෝහන් ඉස්ලාම් දහම වැලඳගෙන ඇති බවයි.

2015 දී ඇය තුර්කියේ සමාජ සේවා කාර්යයක නියැළී සිටිද්දීත් මේ වෙනස දුටු බවයි පැවසෙන්නේ. ඒ මොහොතේ ඇය අත කුරාන් ග්‍රන්ථය ද තිබෙනු දැක ගත හැකි වුණා. 2016 ඔක්තෝබර් මාසයේදී සිරියාවේ ළමා සරණාගතයින් සඳහා ඇය කිසියම් සද්කාර්යයක යෙදී සිටියේ හිස වැසෙන ලෙස ස්කාෆයක් පැළඳගෙනයි. 

 

Comments