ප්‍රියංකාට දැන් සුවයි | Page 2 | සිළුමිණ

ප්‍රියංකාට දැන් සුවයි

 “මට ඉක්මන් සුවය පැතූ හැමටම ස්තුතියි. මම දැන් සුවය ලබමින් ඉන්නවා. මම ඉක්මණින්ම සනීප වේවි. ඉන් පස්සෙ ආයෙමත් මම රඟපාන්න එනවා.” ට්විටර් පිටුවක මේ සටහන තැබුවේ ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රායි. ඇය එම සටහන ට්විට් කළේ හදිසි අනතුරකට ලක්වී රෝහල් ගතවීමෙන් පසුවයි. ඇමෙරිකානු ටෙලි වෘත්තාන්තයක් වන ‘ක්වොන්ටිකෝ’ හි එක්තරා දර්ශනයක් රඟපාමින් සිටිද්දීයි, ඇයට අනතුරක් සිදුවුණේ.

‘ක්වොන්ටිකෝ’ ටෙලි වෘත්තාන්තයේ ඇය රඟන්නේ එෆ්. බී. අයි. නිලධාරිනියකගේ චරිතයක්. තිර පිටපතට අනුව ඇයට ත්‍රාසජනක ජවනිකාවක් නිරූපණය කරන්නට සිදුවුණා. මේ වෙනුවෙන් ‘ස්ටන්ට්’ නළුවෙකු යොදා ගත හැකිව තිබුණත්, ප්‍රියංකා කැමැත්තෙන්ම එම රංගනයට ඉදිරිපත් වුණා. ඒත්, දර්ශනය රූපගත වෙද්දී සිදු වුණේ නොසිතූ දෙයක්. ප්‍රියංකා බිම ඇද වැටුණා. ඇගේ හිස තරමක වේගයෙන් පොළොවේ ගැටුණා. ඇයට සිහි නැතිවූ බවයි ටෙලි කණ්ඩායමේ අය කීවේ. වහාම රෝහල් ගත කළ ප්‍රියංකා රඳවා ගත්තේ දැඩි සත්කාර ඒකකයේ. එවෙලේම කඩිනමින් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලැබුණා. පැය කිහිපයකින් ඇයව රෝහලෙන් මුදා හැරුණත් වෛද්‍යවරු උපදෙස් දුන්නේ දින කිහිපයක් ගතවන තුරු නිවෙසටම වී විවේක ගන්නා ලෙසයි. ඒ අනුව ‘ක්වොන්ටිකෝ’ රංගනය මඳකට අමතක කළ ප්‍රියංකා පසුගිය සතියේම ගත කළේ තමන්ට අවශ්‍ය විවේකය ලබා ගනිමින්.

“මේ ටෙලි නාට්‍යයේ ‘ස්ටන්ට්’ දර්ශනවලට වෙනත් කෙනෙක් යොදා ගත්තෙ නැත්තෙ මගේ උවමනාවටයි. මම ම ඒ දර්ශනවල රඟපෑවා. එක්තරා සටන් දර්ශනයක රඟපාද්දී මාව ලිස්සලා ගියා.” සිදුවූ අනතුර ප්‍රියංකා එලෙස හෙළි කළා.

 ‘ස්වප්නා’ට පොල්ලක් සමඟ සුබ ආරංචියක්

රසික පරපුරේ ආදරය නොමඳව දිනාගත් ‘ස්වප්නා’ හෙවත් දීපිකා සිං, පසුගිය සති කිහිපය ගත කළේ තරමක කණස්සලු ගතියකින්. ඇගේ ප්‍රධාන චරිතයෙන් ජනප්‍රිය වූ ‘ස්වප්නා’ (ඉන්දියාවේ මෙය විකාශය වන්නේ ‘දිව්‍යා ඕර් බාටි හම්’ යනුවෙන්) ටෙලි වෘත්තාන්තයේ රංගනය වෙනුවෙන් නියමිත ගාස්තු ප්‍රමාණයක් නොලැබී යාම එයට හේතුවයි. ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරුන්ගේ කිසියම් ප්‍රමාදයක් නිසා එම මුදල් නොලැබුණත් ඇය ‘දිව්‍යා ඕර් බාටි හම්’ ටෙලි වෘත්තාන්තයෙහි ‘සන්ධ්‍යා’ගේ චරිතයෙන් ඈත් වුණේ නැහැ.

එලෙස සිත් තැවුලෙන් සිටි දීපිකා, තම සැමියා වන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රෝහිත් රාජ් ගොයාල් සමඟ පිට පළාතක සංචාරයකට පිටත් වුණා. මේ සංචාරයෙන් පසුව ඇගේ සිතෙහි එතෙක් රැඳුණු දොම්නස පහව ගියා. ඒ, තවත් විශේෂ හේතුවක් නිසයි. ඒ කුමක්දැයි ඇගේ වචනවලින්ම දැන ගනිමු...

“මම රෝහිත් එක්ක ට්‍රිප් එකක් ගිහින් එන අතරෙදි මට ටිකක් සනීප නැති වුණා. ඉතින් අපි ඩොක්ටර් කෙනෙක් හමු වුණා. මගේ තත්ත්වය පරීක්ෂා කරපු ඩොක්ටර් කිව්වෙ සුබ ආරංචියක්. මම අම්මා කෙනෙක් වෙන්න යන බවයි කිව්වේ. මේ ගැන ඇහුව රෝහිත්, මගේ දෙමවුපියන්, රෝහිත්ගේ දෙමවුපියන් ගොඩක් සතුටු වුණා. දරුවෙක් ලැබීම මොනතරම් සතුටක් ද? ඒක, හැම කාන්තාවකටම පොදු වූ සතුටක්. දැන්, මම රෝහිත් එක්ක මේ අලුත් අත්දැකීමත් එක්ක ඉදිරිය බලනවා. ඒ වගේම, මේ අවුරුද්ද හැම අතින්ම සාර්ථක වෙන්න ය කියල දෙවියන්ට යාඥා කරනවා.” දීපිකා සිය සුපුරුදු සිනහව නංවමින් කියා සිටියා. දීපිකා, රෝහිත් සමග යුග දිවියට පා තැබුවේ මීට අවුරුදු 3කට කලින්.

 දීපිකා එක්ක ඕනෙම දෙයකට කැමැති වින් ඩීසල්

හොලිවුඩ් සිනමාවේ සුපිරි, ජනප්‍රිය නළුවකු දැන් ඇඟිලි ගණිමින් සිටින්නේ බොලිවුඩ් චිත්‍රපටයක රඟපාන්නටයි. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක සමඟ රඟපාන්නටයි ඔහු වඩාත්ම කැමැති. බොලිවුඩයට පෙම් බඳින මේ හොලිවුඩ් නළුවා තමයි, වින් ඩීසල්. ඔහු රඟපාන්නට කැමැති නිළිය තමයි, දීපිකා පදුකෝන්. මේ සුපිරි බොලිවුඩ් තරුව හොලිවුඩයේ නිර්මාණය වූ ‘xxx : The Return of Xander Cage’ චිත්‍රපටයේ රඟපෑවා. එම චිත්‍රපටයේ ඇගේ රංගනය අගය කළ වින් ඩීසල්, ඇය සමඟ බොලිවුඩ් නිර්මාණයක රඟපාන්නට කැමැති බවයි, පවසන්නේ. මාධ්‍යවේදියකු ඔහුගෙන් විමසුවේ කෙබඳු චරිතයක් බොලිවුඩ් චිත්‍රපටයක රඟපාන්නට කැමැති ද කියලයි. “දීපිකා එක්ක ඕනැම චරිතයක් රඟපාන්න මම කැමැතියි.” වින් ඩීසල් ගත් කටටම කීවා.

Comments