
ඇඳට ගියත් නින්ද පෙනෙන තෙක් මානයක නැත. තරහ වෙන්න දෙයක් කිව්වෙත් නෑ. වචනයක් වරදින්න බෑ. ගෙදර ගියාද මගදි කරදරයක් වුණාද?
මේ ප්‍රශ්නය සුභද්‍රා ආර්යාවගෙන් විමසීමට පුළුවන්කමක් නැත. ඇය ආර්යාවගේ රියැදුරාට ඇමතුමක් ගත්තේය.
“රත්නපාල... මම විශ්මි මිස්”
“ඇයි මිස් මේ රෑ. මම එක්කයන්න එන්නද?”
“නෑ නෑ. සුගන්ධ බේබි කෝ?”
“සුගන්ධ බේබි කෝ කියල ඇහුවොත් දන්නෙ නෑ කියන්ට කිව්වා.” ඔහු සිනාසෙමින් කීවේය.
“දැන් ඉන්නෙ ගෙදරද?”
“ඔව් ඔය තරහගිහින් ඉන්නෙ. මම ගිහින් එක්කගෙන ආවා.”
“කියන කිසි දෙයක් අහන්නෙ නෑ රත්නපාල.”
“තරහ ගියාම මැඩම් එක්කත් එහෙමයි. කතා කරල බලන්න. ඔය තරහ වැඩි වේලාවක් තියෙන්නෙ නෑ.”
රියැදුරාගේ කතාව ඇත්තකි. තමාගේ හැමදෙයක්ම වලව්වේ අයට කිවයුතු නැත. මෙවන් අවස්ථාවලදී වැරැදි වැටහීම් ඇති කරගන්ට බැරි නැත. කැම්පස් යාමට උදව් ඉල්ලන බවක් හැඟීයන්ට වුවද බැරි නැත. දැන් මේ දේ නොකියා බැරිය. මින් මව හා පුතුන් දෙදෙනාම අමනාප වීමට බැරි නැත. තරංග මේ වනවිට ගමනට සූදානම් වී හමාරය.
සුගන්ධ සම්බන්ධ කර ගත්තේ දැඩි ප්‍රයත්නයකින් පසුවය.
“ඇයි මට මේ කරදර කරන්නෙ මම මේ නිදාගෙනයි ඉන්නෙ.”
“නිදාගෙන ඉන්න අය කතා කරන්නෙ නෑනෙ. මට සමාවෙන්න.”
“සමාවෙන්න වරදක් කළේ නෑනෙ. මොකක්ද කියන්ට හැදුවෙ.”
“හෙට මම කැම්පස් යනවා.”
“ඔයා හරි නරකයි. ඔයාගෙ ජීවිතේ වැදගත් දවසක් එක්ක අපිට එක්වෙන්ට දෙන්නෙ නැද්ද?”
“මම මේ කෝස් එකට යනවද නැද්ද කියල තීරණය කරල නෑ. මම ආයෙ විභාගෙට හිටියා. රිසල්ට් එනකල් මේකට නිකං යන්නයි හිතුවෙ.”
“එක අතකට අනුන්ගෙ ප්‍රශ්නවලට අපි මෙහෙම මැදිහත් වෙන එක වැරැදියි.”
ඔහු ඇමතුම විසන්ධි කළේ අමනාපයෙන් බව හැඟුණි. මඳ වේලාවකට පසු ඇගේ සෙලියුලර් ෆෝනය නාද වුණි. ඒ ඇමතුම ආවේ සුභද්‍රා මැතිනියගෙනි.
“යර්ස් මැඩම් මම විශ්මි.”
“මොකක්ද ළමයො මේ පොඩිපුතා කියන කතාවෙ තේරුම.”
“මැඩම් මම ආපහු ලිව්වා. මේ සැරේ මාව කැම්පස් සිලෙක්ට් වෙලා ඇති. ඒ අතර කලින් දාපු ඇප්ලිකේෂන් එකකට ‘පිසියො’ කෝස් එකකට කැඳවලා ඒකට හෙට කැම්පස් යනවා.”
“ඉතින් ඒක නොකිව්වෙ ඇයි. ඒකයි පුතාට තරහ ගිහින් තියෙන්නෙ.”
“හැම දේකටම කරදර කරන්න බැහැනෙ.”
“මොන කරදරයක්ද මම රත්නපාලව උදේට එවන්නම්.”
“නෑ නෑ අවශ්‍ය නෑ. තැන්ක්යු මැඩම් අපේ ගේ ගාව අයියා කෙනෙක් ඉන්නව. ඒයා එක්ක යන්නම් කිව්වා.”
කාර්යාලයේ සිටියදී සාරංගට ඇමතුමක් ලැබුණි.
“මොරීන් කතා කරන්නෙ කවුද? මොකටද කියල අහන්න.”
“සර් චතුරංගි කියල මිස් කෙනෙක්. හේතුව කිව්වෙ නෑ.” ඔහු ඇමතුම ගත්තේය.
“හලෝ චතුරංගි. හව් ආ යූ.”
“අයිම් ෆයින්.”
“ඇයි මට කතා කළේ. මොනවත් බේතක් අවශ්‍යද?”
“විවේකයක් තිබුණොත් මාව හම්බ වෙන්න එන්න පුළුවන්ද ප්ලීස්.”
“ඕකේ. මම තව පැයකින් එන්නම්.”
සාරංගගේ හිතේ ප්‍රශ්න ගොඩාක් ඇත. විශ්මි කොයි වේලාවක කතා කරාවිදැයි හේ බලාපොරොත්තුවෙන් සිටියේය. මැය පරිබාහිර තරුණියක් වුවද චතුරංගි තමාට බෙහෙවින් සමීප වී ඇතැයි සිතේ. වෙළෙඳ දැන්වීම ප්‍රතික්ෂේප කළ තමා ඇගේ ජීවිතය බේරා ගැනිමට වෙර දරන්නේ සද් භාවයෙනි.
ඔහු රථයෙන් බැස රෝහල දෙසට ගියේය. ඇයගේ සෞඛ්‍ය තත්ත්වයේ තරමක දියුණුවක් දක්නට ලැබීම සතුටට කරුණකි.
ඔහු දොර විවෘත කර මැදිරියට පිවිසුණි.
“එන්න සර්.” ඇය සෙමින් කෙඳිරුවේය.
ඔහු නිහඬව ඇය අසලින් සිට ගත්තේය.
“දැන් කොහොමද හොඳයි නේද?”
ඇය හරියාකාර පිළිතුරක් දුන්නේ නැත. දිවා ආහාරයට ප්‍රථම පිළිගන්වන සුපය රැගත් සාත්තු සේවිකාවක් ආවාය.
“මිස් මේ සුප් එක බොමු.” ඇය එය පෙවීමට සූදානමින් කීවාය.
“පස්සෙ බොන්නම් තියල යන්න.”
“මා නැතිවුණාට කමක් නෑ. කාට හරි කියල පොවා ගන්න.” සාත්තු සේවිකාව මඳ සිනාවකින් මුව සරසාගෙන යන්ට ගියාය.
“සර්ට මම එන්න කිව්වෙ වැදගත් දෙයක් කියන්ටයි.”
“ඔක්කොටම කලින් මේ සුප් එක බොමු. ඔයාට බොන්න බැරි නම් මම පොවන්නම්.”
ඇය නිහතමානීව එම යෝජනාව පිළිගත්තාය. මෙය පැහැදිලිව නිෂ්ක්‍රීය ජීවිතයකි. ජීවිතයේ බොහෝ දේ අහිමිව ජීවිතයෙන් සමුගන්ට වෙර දරන තම පණනල රැක දෙන්න වෙර දරන්නේ මේ උත්තමයන්ය.
“සර්ට මම එන්න කිව්වෙ.” ඇය බැගෑපත් ලෙස කියන්නට සැරසුනා පමණකි. සාරංග එය වැළැක්වීය.
“අපි මේක පස්සෙ කතා කරමු. අපි මේක බීලා ඉම්මු. කෝ කට අරින්න.”
ඇය තෙත්වූ දෑසින් යුතුව දෑස් විවර කළාය. සැබෙවින්ම මේ උත්තම ගනයේ දෙවිවරුන්ය. කොහේදෝ යන ලෙඩ ගැහැනියෙක් ජීවත් කරවීමට වෙර දරන්නේ මොන දේ බලාගෙනද? මේ වෙහෙසෙන්නේ රෝහල් ගාස්තු ගෙවීමට ව්‍යාපෘතියක් සකස් කිරීමටය. ඇගේ දෑස් අගින් කඳුළු බේරී හැලුණේ නොදැනුවත්වමය.
“අඬන්නෙ නැතිව බොන්න.” හේ සන්සුන්ව කීවේය.
“ඇයි සර් මට මේ විදිහට උදව් කරන්නෙ.”
“ඒක දැන්ම කියන්න බෑ. පස්සෙ කියන්නම්.” ඔහු ඇගේ මුව පේපර් සර්වියටයකින් පිසිමින් කීවේය.
“සර් මට අද උදේ විශ්මි කතා කළා.”
“මම මේ විශ්මි කතා කරනකල් හිටියෙ. මොකක්ද කිව්වෙ.”
“අංගම්පොර සටන් දර්ශනයකුත් ෂෝ එකේදි ඉදිරිපත් කරනවා කිව්වා.”
“වෙරිගුඩ්. ඔයාගෙ ෂෝ එක දවස වැඩසටහනක් ඉදිරිපත් කරන්න නියමයි. එයා අද එනව කිව්වද?”
“අද එන්නෙ නෑ කිව්වා. කැම්පස් එකේ ඉන්ටවීව් එකක් තියෙනව කියල පස්සෙ හමුවෙමු කිව්වා.”
ඔහුගේ හිතට කෝපයක් පිවිසුණේ එම කතාව නිසාය.
ලබන සතියට