
මෑත යුගයේ අන්තර්ජාලය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ දර්ශන රුවන් දිසානායක සංගීතය නිර්මාණය කළ තමලිනී ගීතය ගයන්නේ ගායන ශිල්පිනී උරේෂා රවිහාරි ය. මෑත කාලයේ අතිශය කතාබහට ලක්වූ චරිතයක් වටා ලියැවී ඇති මෙම ගීයේ පද රචකයා කාශ්‍යප ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් රෙදි පිළි වර්ණ ගැන්වීම පිළිබඳ විශේෂඥවරයෙකි. මෙම ගීතය පිළිබඳ කතා පුවත වඩාත් ම වැදගත් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමලිනීගේ ජීවන චරිතය ඇසුරින් මෙම ගීය රචනා වී තිබීම නිසාය. මෙම ගීය රචනා වීමට හේතු වූ කරුණු පිළිබඳවත් නව නිර්මාණ දිවිය පිළිබඳවත් ගී පද රචක කාශ්‍යප ද සිල්වා රසඳුන වෙත පළ කළේ මෙවන් අදහස් කීපයකි.
තමලිනී පිළිබඳව ගීතයක් රචනා කිරීමට හේතු වූ කරුණු ගැන කතා කරමු?
අප කවුරුත් දන්නා පරිදි ‘තියුණු අසිපතක සෙවන යට’ නම් සිංහලට පරිවර්තනය වු දමිළ බසින් ලියැවුණු කෘතියට පාදක වුණේ තමලිනී ජය කුමාරන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව ලෙස සිටියදී ඇය ලද අත්දැකීම්. ඒ වගේ ම ඇය මුහුණදුන් යුද්ධයේ බිහිසුණු බව සහ කුරිරු බව. යුද්ධයට ඍජුව ම නායකත්වය දුන් නායිකාවක අතින් ම මෙවැනි කෘතියක් රචනාවීම සුවිශේෂයි. ද්‍රවිඩ බසින් පළවූ කෘතිය සිංහලට පරිවර්තනය කළේ ස්වාමිනාදන් විමල්. මෙම කෘතිය දොරට වැඩයේ පසුගිය අවුරුද්දේ. (2016) පොත එළි දකින විට තමලිනී පිළිකා රෝගය නිසා ජීවිතය හැර ගිහිං. පොත පිටවුණු හැටියේ ම මම ඒක මිලදී ගත්තා. එදා රාත්‍රියේ ම මම ඒ පොත කියවන්න ගත්තේ ඉතාම ආශාවෙන්. මුල් පරිච්ඡේද දෙක, තුන කියවන විට ‘මම තමලිනී - අවි අත දැරූ’ කියන පද පේළිය ඒ පොතෙන් මට ඇහෙන්න ගත්තා. මට ම පුදුමයි ඒ ගැන. යුද්ධයකට කිසියම් ම අයුරකින් සම්බන්ධකමක් නැති පුද්ගලයකු යුද්ධ දෙස බලනවාට වඩා වෙනස් විදියට තමලිනී යුද්ධය දෙස බලලා තිබුණු බව පොත කියවා ගෙන යාමේදී මට හොඳින් අවබෝධ වුණා. රෑ කියවන්න ගන්න පොත පසුවදා එළිවෙන විට මම කියවලා අවසන් කළා. පොත කියවලා අවසන් වනවිට තමලිනී ගීයත් මම ලියා අවසන් කළා. මෙය නිරායාසයෙන් ම ලියැවුණු ගීතයක්. මගේ සෑම නිර්මාණයකම ප්‍රථම රසිකාවිය තමයි මගේ බිරිය. මම ඇයට ගීතය පෙන්නුවා ඇය මට කිව්වා “ඔයා හොඳින් මේ පදමාලාව ලියලා තියෙනවා. ගීතයක් ලෙස එළි දක්වන්න ඉතිරි වැඩ ටික කරන්න” කියලා. එදා ම මම කතා කළා ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායකට. ඔහු මට එකවරම කිව්වා “ඔයා ලංකාවේ කොහේ හිටියත් කමක් නෑ ඔය පදමාලාව අරගෙන කොළඹ එන්න ඕන. හොඳ ගීතයක් කරන්න ඕන” කියලා.
ඇයි ඔබ දර්ශනට මේ ගීතය ගැන කිව්වේ...?
මේ වනවිට මම ගීත 15 ක් පමණ පද රචනය කර නිර්මාණය කර තිබෙනවා. එයින් ගීත දහයකට සංගීතය නිර්මාණය කළේ දර්ශන. දර්ශන වර්තමානයේ අපේ රටේ සංගීතඥයන් අතර ඉදිරියෙන් ම ඉන්න කෙනෙක්. ඔහුත් සමඟ වැඩ කිරීම ඉතා පහසුයි. ඔහු පදමාලාවකට නියම සාධාරණය ඉටු කරන තනු නිර්මාණකරුවෙක්. දර්ශන මට කොළඹ එන්න කියල කියන විට මම හිටියේ මාතර මගේ බිරියගේ මහ ගෙදර. මම එවෙලේම කොළඹට ඇවිත් දර්ශන හමු වුණා. එදා හවස වනවිට ගීතයට තනුව සහ සංගීතය සම්පූර්ණයෙන් ම නිර්මාණය කර අවසන් වුණා. ඉන්පසුව මමත් දර්ශනත් තීරණය කළා උරේෂා රවිහාරි ලවා මේ ගීතය ගායනා කරවන්න. ඒ අයුරින් තමයි තමලිනී ගීතය නිර්මාණය වුණේ.
මේ ගීතය ද්‍රවිඩ බසිනුත් ගායනා වෙනවා නේද?
ඔව්. ඒ අදහස මගේ. මේ ගීතයෙන් කියවෙන දේ ද්‍රවිඩ භාෂාව කතා කරන සමාජයටත් ගෙන යාමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසයි ද්‍රවිඩ බසිනුත් මේ ගීතය නිර්මාණය කරන්න තීරණය වුණේ. සිංහල බසින් මගේ අතින් ලියැවුණු ගීතය ද්‍රවිඩ බසට පරිවර්තනය කළේ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද කුමාර. කෙසේ හෝ සිංහල බසින් සහ ද්‍රවිඩ බසින් උරේෂා රවිහාරි ඉතාම මියුරු ලෙස ගීතය ගායනා කළා.
කොහොමද මේ ගීතය රස විඳින්න පුළුවන්...?
පසුගිය අවුරුද්දේ මේ ගීතය එළිදැක්වූවා. ඒ වගේ ම අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ විශේෂයෙන් ම You Tube ඔස්සේ සිංහල ගීතය සහ දමිළ ගීතය යන දෙකම රස විඳීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ම Face book හරහා විශාල වශයෙන් හුවමාරු වන ගීතයක් බවට මෙය පත්වී තිබෙනවා. අප මේ ගීත දෙක You Tube වලට දැම්මාට පසුව ලොව පුරා තිබෙන වෙබ් අඩවි වල මේ ගීතය ප්‍රචාරය කරන්න පටන් ගෙන තියෙනවා. විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ වෙබ් අඩවි මෙහි දමිළ ගීතය තමන්ගේ ම නිර්මාණයක් වගේ ප්‍රචාරය කරන බව අපි දැක්කා. අපි බලාපොරොත්තු වුණේ ඒක. ඇත්තටම තමලිනී කවුද කියන වගත්, යුද්ධයේ යථා ස්වරූපයත් යුද්ධය පිළිබඳව තමලිනී තුළ තිබුණු මතයත් ද්‍රවිඩ බස කතා කරන ජනතාව අතර ට ගෙන යාම මේ ගීතය නිර්මාණය කිරීමේදී අපේ ප්‍රධානම අරමුණ වුණා. ඒ අරමුණ බොහෝ දුරට ජයගන්න හැකි වුණා කියලා මම විශ්වාස කරනවා. මේ ගීතයට සිංහල සමාජයෙනුත් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඇතැම් අය අහනවා ඇයි මෙවැනි දෙයක් නිර්මාණය කරන්න ප්‍රමාද වුණේ කියලා.
‘තියුණු අසිපතක සෙවන යට’ කෘතිය හරහා ඔබ තමලිනීව දැක්කේ මොන විදියට ද?
ඇය මෙම කෘතියේ එක් තැනක සඳහන් කරනවා ‘අපේ දේශපාලන අරමුණ පැත්තක තබා ආයුධ විශ්වාස කරන්න ගත්තාට පසුව අපේ ව්‍යාපාරය පරිහානියට පත්වුණා කියලා. ආයුධ නිසා අපගේ සැබෑ දේශපාලන අරමුණු යටපත් වූ බවයි ඇය ඇගේ කෘතියේ සඳහන් කරන්නේ. ඒ වගේ ම තමලිනී තම කෘතිය තුළින් තවදුරටත් ආයුධ පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් බුද්ධිමය සංවාදයකට එළඹීමෙන් පමණක් ප්‍රශ්න වලට විසඳුම් සෙවිය හැකි බවත් සඳහන් කරනවා. ඇත්තෙන්ම බිහිසුණු යුද්ධයේ යථාර්ථය තමලිනී ඉතාම හොඳින් තේරුම් ගෙන තිබුණු බවයි මගේ හැඟීම.
ඔබ කොහොමද නිර්මාණකරණයට එන්නේ...?
මගේ ගම ගාල්ල. පාසල් ගියේ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට සහ රිච්මන්ඩ් විද්‍යාලයට. උසස් පෙළ සමත් වීමෙන් පසුව 1989 දී මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ රෙදි පිළි තාක්ෂණවේදය පිළිබඳව ඉංජිනේරු උපාධිය හදාරන්න. පාසල් යන කාලෙ ඉඳලම මම කවි ලිව්වා 1986 තමයි මගේ පළමු කවි පොත එළිදැක්කේ, ඒ ‘වින්සතිය’ කවි පොත. එදා ඉඳල මම ලංකාවේ විවිධ පුවත්පත් වලට කවි නිර්මාණ සැපයුවා. මගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට කැප කළ නිසා අවුරුදු කීපයක් ම නිර්මාණකරණයේ යෙදෙන්න මට නොහැකි වුණා. 2010 දී මා ලියූ ගීත නිර්මාණ කීපයක් මා මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහට පෙන්නුවා. ඔහු මගෙන් ප්‍රශ්න කළා ඇයි මේවා ගීත බවට පරිවර්තනය කරන්නේ නැත්තේ කියලා. ඉන්පසුව මගේ ගීත ප්‍රවීණ ගායන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට දුන්නා. අමරසිරි පීරිස්, ටී.එම්. ජයරත්න, සශිකා නිසංසලා, උරේෂා රවිහාරි ඒ ගීත ගායනා කළා. දැන් මම සෑම වසරකටම අලුත් ගීත දෙකක් එළිදක්වනවා. පසුගිය වසරේ එසේ එළිදැක්වූ ගීතයක් තමයි තමලිනී ගීතය.