මිනිත්තු හතරක කතාවක්! | Page 7 | සිළුමිණ

මිනිත්තු හතරක කතාවක්!

දහසක් දසදහසක් නොව, ලක්ෂ සංඛ්‍යාත ගැහැනුන් සහ පිරිමින් එකම මොහොතක එක් පුද්ගලයකු ඉලක්ක කොට ගෙන අවඥාවෙන් සිනා සුණෝය. ඒ අතර වයෝවෘද්ධයෝද මැදිවියට පත් වූවෝද ළමා-ළපටියෝද වූහ. ඒ අතර ඇතැමෙක් අර නින්දාවට ගොදුරු වූ පුද්ගලයා වෙත හිස් බෝතල් - බියර් ටින් ආදි වූ ඉවත දැමිය හැකි කුමකින් හෝ දමාගැසීමටද අවස්ථාවක් සෙවූහ. එහෙත් ඊළඟ මොහොතේ...?

ඉහත කී සියලු වර්ගයේ ගැහැනුන් සහ පිරිමින් එක්විටම හුනස්නෙන් නැඟී සිටිමින් මීට මොහොතකට පෙර තම අවඥාවට ගොදුරුව සිටි පුද්ගලයා වෙනුවෙන් අත්පොළසන් දුන්හ; වාගැබ දෝංකාර නංවමින් ප්‍රීති ගෝෂා නැගූහ. විස්මිත ගෞරවය සමූහ මෝහනයක් මෙන් සියලු දෙනාගේ ඇස් අතර විදුලි වේගයෙන් හුවමාරු විය. ඒ අතර කිසිවෙකුත් තම දෙනෙත් අග රැඳී කඳුළු බිඳු සඟවා ගැනීමට උත්සාහ නොකළහ.

එක් මොහොතක පැවති ලෝකය ඊළඟ මොහොතේ සපුරා උඩුයටිකුරු කළේ කාලය විසින් නොව, අංක 67 යනුවෙන් පින්තාරු කරන ලද ක්‍රීඩා බැනියමකින් උඩුකය වසා සිටි කිසිදු මතුපිට ආකර්ෂණයක් නැති කළු කෙසඟ කොලු ගැටයකු විසිනි. ඔහු කුමන රටකට අයත් වූවෙක්ද යනු අවසන් මොහොත වන තුරු බොහෝ දෙනකු දැන සිටියේද නැත.

1964 වර්ෂයේ ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර දස දහස මැරතන් ඉසවුව සඳහා තරගකරුවෝ 29 දෙනෙක් එක් වූහ. මුළු ලෝකයම ඇස ගසාගෙන සිටියේ ඔස්ට්‍රේලියාවෙන් පැමිණ සිටි රොන් ක්ලාක් නමැති මැරතන් තරුව දෙසය. තරගය ආරම්භ වීමත් සමඟම රොන් ක්ලාක් - අමෙරිකා එක්සත් ජනපදයේ බිලී මයිල්ස් සහ ටියුනීසියාවේ මොහොමඩ් ගම්මාඩු යන තිදෙන පෙරට එමින් සියලු දෙනාගේම අවධානය තමන් කෙරෙහි නතු කර ගැනීමට සමත් වූහ. මේ අතර අංක 67 දරන බැනියම හැඳි කළු කෙසඟ කොලු ගැටයා ධාවන පථය ඔස්සේ කිසිවකුගේ අවධානයට ලක් නොවී දුවමින් සිටි අතර ඔහු පසු කැර වේගයෙන් ඉදිරියට ඇදෙන අනෙක් ක්‍රීඩකයන් පවා අංක 67 දෙස හැරී බැලුවේ වත් නැත.

බොහෝ දෙනා අපේක්ෂා කළ පරිදිම රොන් ක්ලාක් - බිලී මයිල්ස් සහ මොහොමඩ් ගම්මාඩු අනෙක් තරගකරුවන් වෙතින් වට දෙකක පරතරයක් තබාගෙන සමස්ත තරගයේ පාලනය සහ ජයග්‍රහණය තමන් අතර බෙදා ගැනීමට තරග වදිමින් සිටියදී තව දුරටත් තරග කිරීමෙන් පලක් නැති බැව් පෙන්වමින් සෙසු තරගකරුවෝ එකා-දෙන්නා බැගින් ධාවන පථයෙන් ඉවත් වන්නට වූහ. අමෙරිකා එක්සත් ජනපදයේ බිලී මයිල්ස් නව වාර්තාවක්ද පිහිටුවමින් මිනිත්තු 28යි තත්පර 24යි දශම 4කින් තරගය නිමා කළ අතර, පිළිවෙළින් මිනිත්තු 28.24.8 සහ 28.25.8 ලෙස තරගය නිම කළ මොහොමඩ් සහ ක්ලාක් දෙදෙන දෙවැනි සහ තුන්වැනි තැන් දිනාගත්හ. ඒ වන විට අංක 67 දරන ක්‍රීඩකයා සිටියේ වට දෙකහමාරක් පසුපසිනි. එහෙත් තරගය අවසන් වී ඇති බැව් නො දන්නා සෙයින් අංක 67 ක්‍රීඩකයා ධාවන පථයේ තවමත් දුවමින් සිටී.

ලෝක වාර්තාවක් පිහිටුවමින් තරගය ජයග්‍රහණය කළ බිලී මයිල්ස් අමෙරිකා එක්සත් ජනපදයේ ධජය ලෙළවමින් උද්දාමයෙන් ජයගොස නංවමින් සිටියදී ක්‍රීඩාගාරයේ දසදහස් සංඛ්‍යාත දෙනෙත් සහ සියලු කැමරා කාච ඔහු දෙසටම යොමුව තිබිණි. මේ අතර කිසිවකුගේ ඇස නොගැටී අංක 67 වට බාගයක්ම නිසොල්මනේ දිව ඇවිත් තවත් වටයක් දිවීම ආරම්භ කළේය. ඒ සමඟම ඔහු සියලු දෙනාගේ අවධානයට ලක් වූයේ හූ හඬ, උසුළු-විසුළු සහ කන් බිහිරි කරවන සිනා හඬ මැදය. මේ මොන විකාරයක්දැයි විමසමින් එකිනෙකා මුහුණු බලා ගත්හ. ධාවනපථයේ තනිවම දුවන අංක 67 ක්‍රීඩකයාට ඇතැමෙක් හිස් බෝතල් බියර් ටින් ආදි අතට හසු වූ යම් දෙයකින් දමා ගැසීමට මාන බැලුවෝය. එහෙත් මහා හූ හඬ මැදින් අංක 67 දිගටම තනිවම දුවයි. ඔහු තවත් වටයක් නිමා කළේය. ඔහුට තරගය නිමා කිරීමට ඇත්තේ තවත් එක් වටයක් පමණි. ඔහු අවසන් වටය අරඹනවාත් සමඟ ම සමස්ත ක්‍රීඩා පිටිය පුරා එක්වනම පැතිර ගියේ දැඩි නිහඬතාවකි. කුමක් සිදු වන්නේදැයි විමතියෙන් එකිනෙකා ඔවුනොවුන්ගේ මුහුණු බැලුවා මිස වචනයක් වත් කීමට වැර දැරුවේ නැත.

අංක 67 ක්‍රීඩකයා තරගය නිමා කිරීම සඳහා අවසන් මීටර 50 දිව යද්දී ක්‍රීඩාගාරය තුළ වූ ගුප්ත නිහඬ බව බිඳීමින් නැඟි ඉකිබිඳුම් හඬ පවා පැහැදිලිව ඇසිණි. අංක 67 තම ඒකාකාර වේගයෙන් ඒකාකාර රිද්මයෙන් සහ ඒකාකාර දිගු දුර දෘෂ්ටිය සහිතව නිසොල්මනේ තරගය නිමා කරන තීරක රේඛාව තරණය කරන විට සියලු දෙනා සිටියේ හුනස්නෙන් නැගිට ගත් වනමය. ඔවුහු ගෞරවාන්විතව අත්පොළසන් නැඟුවෝය. සියලු දෙනා හදවතේ ගැඹුරුම තැන් විවර කරමින් මහා ප්‍රීතිඝෝෂා නැඟුවෝය. අංක 67 තම මුළු මුහුණම ප්‍රථම වරට ක්‍රීඩාගාරය දෙසට යොමු කළේද, ප්‍රථම වරට ඔවුන් සමඟ සිනා සුණේද එවිටය. ඔහු මිනිත්තු 32යි තත්පර 21යි දශම 2කින් තරගය නිමා කළේ අන්තිමයා ලෙසිනි.

තරගයේ ජයග්‍රාහකයා සහ ඔහු අතර පැවතියේ මිනිත්තු හතරක වෙනසකි.

ඒ මිනිත්තු හතර ඇතුළත ලෝකයා ඔහුට අවමන් සහගතව උසුළු-විසුළු කළෝය. ඒ මිනිත්තු හතර ඇතුළතම ලෝකයා ඔහුට තම ගෞරවය සහ හෘදයසාක්ෂියේ මහිමය පළ කළෝය. මේ දිරිය මිනිසාගේ කතාව තම මතු පරපුරට තිළිණ කළ යුතුයැයි තීරණය කළ ජපන් රජය ඔහුගේ පුවත 05 වන ශ්‍රේණියේ පාසල් පෙළපොතෙහි පළමු වන පාඩම ලෙස විෂය නිර්දේශයට එකතු කළේය. ජපානයේ හරුවෝ සුසුකි නම් ප්‍රකට ජනමාධ්‍යවේදියා අංක 67 සමඟ කළ පළමු සාකච්ඡාවේදී ඔහු මෙසේ කීවේය: '...මේ ක්‍රීඩාවේ නීතිය ජයග්‍රහණයම නොවෙයි; ක්‍රීඩාවට සහභාගී වීමයි. මා මගේ ක්‍රීඩා ඉසවුවේ සියලු වට සම්පූර්ණ කරමින් ඒ නීතිය ආරක්ෂා කළා... එපමණයි... ' ලෝකයක් දිනා තම මවුබිමට පැමිණි අංක 67 තම සුපුරුදු ගම් ප්‍රදේශයට ගියේය. 1975දී ඔහුට ජපන් රජයෙන් පුරවැසිභාවය සමඟ ඉතා හොඳ රැකියාවකට ඇරියුම් ලැබිණි. තමා උපන් බිමෙන් නිසි සැලකිලි නොලද ඔහු ජපානයේ ඇරියුම පිළිගත්තේය. ජපානය බලා පිටත්ව යෑමට තිබුණේ සති දෙකකි. ඊට පෙර ඔහු නාමල් ඔය ජලාශයේදී අනතුරකට ලක්ව මිය ගියේය.

එය මිනීමැරුමක් බවට වූ සැක-සාංකා මෙතෙක් දුරු වී නැත. අංක 67 දිරිය මිනිසා අභිරහස් ලෙස මිය යෑමෙන් පසුව ඔහුගේ දරු පවුල පාරට වැටිණි. එක් ඥාතියකු ඉදිරිපත් නොවන්නට ඔවුන් උපන් රටේම සරණාගතයන් වන්නට ඉඩ තිබිණි.

පසුගිය දිනෙක මේ දිරිය මිනිසාගේ උපන් ගම මම දිටිමි. එහි ඔහු පිළිබඳව ඇත්තේ එකම සටහනක් පමණි.

රණතුංග කරුණානන්ද
උපත - 1936 මැයි 21 විපත - 1975 ..... ...?

- කේ.සී.ජේ. රත්නායක

Comments