
සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාළ විෂය බාර අමාත්‍යවරු වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් තීරණය කර තිබේ.
උතුරු සහ නැඟෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.
ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡාවලට අදාළ කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය ගෙන තිබේ. සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු ද පරිසර අමාත්‍යාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය මඟින් ඉදිරියට ගෙන යනු ඇත. ආරම්භ කිරීමට යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙද ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතුද එ් අයුරින් සිදුවීමට නියමිතය.
නිපුණාතවය සහිත හෙදියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස එරටට යැවීම ගැනද ජනපති සිංගප්පූරු සංචාරය අතරතුර සාකච්ඡා කළ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට සිංගප්පුරුවේ විශාල ඉල්ලුමක් පවතින බවද සාකච්ඡාවලදී හෙළිව තිබේ.