මායා දැල සමඟින් යළිත් වේදිකාවට එන කපිල ගාමිණි | Page 9 | සිළුමිණ

මායා දැල සමඟින් යළිත් වේදිකාවට එන කපිල ගාමිණි

නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය ලෙස මායා දැල මංගල දර්ශනය ඔක්තෝබර් 12 වැනිදා මරදාන එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වෙයි. වසර 26කට පසුව නිර්මාණය වන මෙය ඔහුගේ 7 වැනි වේදිකා නිර්මාණයයි. පසුගිය අගෝස්තු 4 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැති මායා දැල මුහුරත් උළෙල සඳහා බොහෝ පිරිසක් සහභාගී වූහ. තම කුලුඳුල් නිර්මාණය ලෙසින් ‘පිළිරූ‘ වේදිකාගත කරමින් කලාවට පිවිසි ඔහු ඒ සඳහා යෞවන සම්මාන උලෙළේ දී සම්මාන 4ක් දිනාගැනීමට සමත් වූයේ වයස 20ක් තරම් ළාබාල වියේදීය. එම නාට්‍ය දර්ශන වාර 74ක් ප්‍රදර්ශනය වීම ද ඔහු ලද සම්මානයකි. 

කුරු පරපුර, නොනිමි ස්වයංවරය, සිහින දුර්ගය, තනි යාමය සහ හිරවර පට ලෙස නවකතා 5ක් ද නිහැඬියාවේ ගීතය, කළුවර තොටුපොළ නමින් පරිවර්තනයන් ද කාලීන කෝසල සිහිනයක්, කදෝ පැණි වත, රොබෝ මිනිසුන්ගේ අවුරුද්ද, පළ නොවූ ප්‍රේමය, සත්‍යගිරි කඳු පාමුල සහ තටු සිඳුණු වවුලා ලෙසින් කෙටිකතා ගණනාවක් ද තම නිර්මාණ දිවියට එක් කළ ඔහු ඉන් කෙටිකතා 9ක් සඳහා සම්මාන ලැබුවේය.

ගුවන්විදුලිය මෙන්ම මුද්‍රිත මාධ්‍ය ද තම හැකියාවන්ට තෝතැන්නක් කර ගත් ඔහු ලක්හඬ ගුවන්විදුලියේ ආරම්භක මාධ්‍යවේදී 36 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු ද වෙයි. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු මේ වන විට නීතිවේදී ග්‍රන්ථ 55ක් රචනා කර තිබීමත් ඔහු දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කාලතරණය සහ විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයට බොහෝ සේ ඇලුම් කරන ඔහුගේ ප්‍රබන්ධයන් සත්‍ය වූ අවස්ථා ද නැතුවාම නොවේ. මෙවර ඔහුගේ නවතම නිර්මාණය ලෙස එළිදකින “මායා දැල” ද ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් වනු නිසැකය.

“මේ මගේ 7 වැනි වේදිකා නිර්මාණය. රචනය වගේම අධ්‍යක්ෂණයත් මගේ. දික්කසාදය නිසා පීඩා විඳිමින් සිටින විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු නැති වුණු තම ප්‍රේමය සොයමින් යන කතාවක්. මෙහි පසුතලය නිර්මාණය වෙන්නේ සම්පූර්ණයෙන්ම විශාල මකුළු දැලකින්. මේකෙන් සංකේතවත් කරන්නෙ සංසාර චක්‍රය. ඒකෙ මකුළුවෙකුත් ඉන්නවා. ප්‍රධාන චරිතය, නිරෝධ සහ ඔහුගේ හෘද සාක්ෂිය විදිහට ආකාර දෙකකින් පෙනී ඉන්නවා. නිරෝධ වගේම ඔහුගේ හැඟීම් පෙන්නන්නෙත් මකුළුවගේ මුහු කිරීමෙන්.

සංගීතය මේ නාට්‍ය තුළ සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් චරිතයක් විදිහටත් ක්‍රියා කරනවා. තේමා ගීතයට අමතරව සංගීත ඛණ්ඩ 13ක් මෙහිදී යොදාගෙන තිබීමත් විශේෂත්වයක්. මියුසික් මෙලෝ ග්‍රාමා කියන සම්ප්‍රදායට අනුව යමින් මෙහි අතිවිශිෂ්ට සංගීතය නිර්මාණය කෙරෙන්නේ ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ අතින්. මිදුණු විශ්වය සිනමා පටයට ඔහු යොදාගෙන තිබුණු සංගීතය ඇහුණ ගමන් මං ස්ථිරවම තීරණය කළා මගේ නාට්‍යයටත් යොදාගන්නෙ ඔහුගේම සංගීතය කියලා. මටත් ඕන කළේ ඒ වගේ නාට්‍යයක ජීව ගුණය පවත්වා ගත හැකි සංගීතයක්. කතා තේමාවට අනුව ආධ්‍යාත්මය කුළුගැන්වෙන සංගීතයක් ඒක. මට ඕන කළ විදිහටම මාව තේරුම් අරන් ඔහු ඒක අතිසාර්ථක විදිහට කරල තිබුණා. දැනටමත් නාට්‍යයෙන් 25%ක් සාර්ථකයි කියලා හිතෙනවා. ඉතිරි 75% රංගනයෙන් සහ ආලෝකකරණයෙන් සිදු වේවි කියන විශ්වාසයත් තියෙනවා. මෙහි ගීතයෙන් කියවෙන්නෙ නිරෝධගෙ ජීවිතේ ගැන. ගීත ගායනය විශාරද දුමාල් වර්ණකුල. මේකෙ ආඥානය කැටිවෙලා තියෙන්නෙ සංගීතයෙන් කිවුවත් හරි. හෘද සාක්ෂිය සහ පූරක කියන චරිත ද්විත්වය සඳහා පෙනී ඉන්නෙ මම. මේ චරිත ද්විත්වය කතාව පුරාම ගලා ගෙන යන නිසා අධ්‍යක්ෂණයෙදි ඒක මට ලොකු පහසුවක් වුණා. උදිත ගුණරත්න, ගාමිණී ජයලත්, මොනිකා සේරසිංහ, තාරිකා ද සිල්වා සහ කසුන් කාරියවසම් රංගනයෙන් දායක වෙනවා. වේදිකා පරිපාලනය කසුන් සහ රවීන්ද්‍ර ද සිල්වා. ශබ්ද පරිපාලනය චන්න ජයනෙත්ති. අංග රචනය වාසනා බණ්ඩාරගෙ. ආලෝකකරණය ක්ෂේත්‍රයම හඳුනන ලයිට් ගාමිණීගෙන්. සංගීතය වගේම ආලෝකකරණය ගැනත් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ දෙකේ සම්මිශ්‍රණයෙන් තමයි මායා දැල සාර්ථක වෙලා තියෙන්නේ. පසුතල නිර්මාණය ගැනත් සඳහන් නොකරම බැහැ. වේදිකාව පුරා විහිදෙන විශාල දැල නිර්මාණය කරමින් පසුතල නිර්මාණ දායකත්වය ලබා දෙන්නේ බන්දුල අතාවුදහෙට්ටි. මෙතෙක් මගේ සියලු මුද්‍රිත ග්‍රන්ථවල ටයිප් සෙටින් සහ පිටු සැකසුම් කළේ ඔහු. ඒ නිසා ඔහු මගේ අදහස් හොඳින් දන්නවා. මූල්‍ය දායකත්වය සඳහා නීතිඥ මාධව ලොකුසූරිය සහාය වුණා. මේ සියලු දෙනාගේම කැපවීම සහ උනන්දුව මත තමයි මේ නිර්මාණයේ සාර්ථකත්වය රැඳී තියෙන්නේ. 

අගෝස්තු 4 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙදි මායා දැල මුහුරත් උලෙළ පැවැතුණා. නාට්‍යයේ පුහුණුවීම් සිදුකෙරන්නේ නාඩා ආයතන පරිශ්‍රයේ. එහි සභාපති ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔහු ලොකු සහායක් ලබාදෙන ගමන්ම මුහුරත් උලෙළ සංවිධානයේදීත් ලොකු ශක්තියක් වුණා. හැමදාම වගේ මගේ නිර්මාණ සඳහා අනුශාසකත්වය ලබාදෙන මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හාමුදුරුවන්ට ගෞරව පූර්වක ස්තුතිය පිරිනමනවා. ඒ වගේම නවරත්න ගමගේ, ගාමිණී රාජනායක ඇතුළු මායා දැල රංගන ශිල්පීන් සහ ආරාධිතයන් බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගි වුණා. ඉදිරි දර්ශන සඳහා දැනටමත් ආරාධනා ලැබිල තියෙනවා. ඔක්තෝබර් 12 වැනිදා සවස 6.30ට එල්ෆින්ස්ටන් රඟහලට ඇවිත් මායා දැලේ පැටලෙන්න කියලා මං මගේ ආදරණීය සහෘදයන්ට ආරාධනා කරනවා.”

Comments