මම කැමැති දරුවන්ට සංගීතය උගන්වන්න | සිළුමිණ

මම කැමැති දරුවන්ට සංගීතය උගන්වන්න

මට චිත්‍රපට කිහිපයකත් ගීත ගායනය සඳහා ආරාධනා ලැබිල තියෙනවා
මගේම ගීතයක් ගයන්න ඕන කියන ආසාව බොහෝ කල් ඉඳන් හිතේ තිබුණා

සංගීත ක්ෂේත්‍රය ගැන තිබූ ඇල්ම නිසාම පාසල් වියේ සිට සංගීතය හැදෑරූ ඇය සංගීත් නිපුන් පියුමි කෞෂල්‍යා ඒකනායකය. සංගීත භාණ්ඩ වාදනය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ඇය මේ දිනවල සිය ප්‍රථම ගීතය සිය රසිකයන්ට ඉදිරිපත් කර ඇත.

බාල වියේ සිටම සංගීතය ගැන විශේෂ උනන්දුවක් තිබූ ඇයට සිය මවුපියන්ගේ සහාය ද ලැබිණි. මේ නිසාම වැඩිදුරටත් සංගීතය විෂයක් ලෙස හැදෑරු පියුමි අද වන විට ඒ මඟ ඔස්සේ නව ගමනක් අරඹා ඇත.

වේයන්ගොඩ ශාන්ත මරියා පාසලෙන් හා වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබු පියුමි මේ වන විට මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරිනියක ලෙස සේවය කරන්නීය.

ගායනයේ පමණක් නොව වාදනයේද දස්කම් පෙන්වන පියුමි සිය ගමන් මඟ ඇරඹූ අයුරු පැවසුවේ මෙලෙසිනි. ;

“මම ශිෂ්‍යත්ව විභාගයටත් පෙර ඉඳන්ම සංගීතය ගැන උනන්දු වුණා. මුලින්ම වාදනය කරන්න පටන් ගත්තේ කීබෝඩ් එක. ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ තමයි මම සංගීතය විෂයක් විදිහට ඉගෙන ගන්න පටන් ගත්තේ. මගේ මුල්ම සංගීත ගුරුවරිය හාපිටිගම, තෝරපිටිය කලා ආශ්‍රමයේ ලක්ෂ්මි ලියනාරච්චි ගුරුතුමිය. එතුමිය බොහෝ කැපවීමෙන් අපට ඉගැන්වු ගුරුවරියක්. පාසල් වියේ ඉඳලම මම තරගවලට සම්බන්ධ වුණා. තබ්ලාව, වයලීනය, එක්ස්රාජය, හාමෝනියම, බට නළාව ආදි සංගීත භාණ්ඩ වයන්නට ඉගෙන ගත්තා. මම ගායන තරගවලින් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණය කරලා තියෙනවා. 6-9 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ අපට සංගීත ගුරුවරිය වුණේ කුමාරි අමරසිංහ ගුරුතුමිය. 9 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අපට සංගීතය විෂය ඉගැන්නුවේ මයෝනිකා වික්‍රමරත්න ගුරුතුමිය. මම උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 2008 වසරේ. මම උසස් පෙළින් පසුව විශාරද විභාගය සඳහා ඉගෙන ගන්න ගියේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගෙ සෞන්දර්ය ශාලිකාවට. ගායනය සහ වයලීන් වාදනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගුරුතුමිය යටතේ ඉගෙන ගත්තා. ඉන්පසුව සංගීතය ඉගෙන ගන්නේ ගුවන් විදුලි සංස්ථාවේ විජිත අමරසිංහ ගුරුතුමා යටතේ. 2011 වසරේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ වැඩිදුර සංගීත විෂය හැදෑරීම සඳහා. 2015 වසරේ තමයි මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අවසන් කරන්නේ. 2015 වසරේ සංගීත විශාරද විභාගය සමත් වෙනවා. ඉන් පසුවයි සංගීත් නිපුන් විභාගය සමත් වෙන්නේ. මගේ සංගීත දිවියෙදී කමලා ගුරුතුමිය වගේම විශ්වවිද්‍යාලයේ ඉගැන්වූ සෑම ගුරුවරයෙක්ම ආදරයෙන් සිහි කරනවා “

සංගීතය කෙරෙහි විශේෂ ඇල්ම නිසාම ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසු ‘සත්තරසා‘ නමින් සංගීත ආශ්‍රමයක් ආරම්භ කරන්නීය.

“මගේ මේ සංගීත ආශ්‍රමයට බොහෝ දරුවන් සහභාගි වෙනවා. ඔවුන්ට ගායනයත් වාදනයත් දෙකම උගන්වනවා. 

මම ජීවත් වෙන්නෙ ගමක. මම මේ ගමේ දරුවන්ට රසවින්දනය ගැනත් උගන්වනවා. මට මගේම ගීතයක් ගයන්න ඕන කියන ආසාව බොහෝ කල් ඉඳන් හිතේ තිබුණා. ඒත් විවිධ වැඩ නිසා දවසින් දවස ඒක කල් ගියා. නමුත් පසුගිය දවසක මම මගේ පළවෙනි ගීතය ගැයුවා. මේ ගීතය ලියන්නේ රිස්මිනා සමින්. ගීතය සංගීතවත් කළේ අනුරුද්ධ අබේසිංහ. මේ ගීතයෙන් කියැවෙන්නේ කාන්තාවගේ පැත්තෙන් ආදරය දකින විඳින විදිහ ගැන.

....පෙම්වන්ත වූ අනන්ත රාත්‍රියේ 
උතුරා ගලා ආදරේ 
සැලී සැලි ගිලි ගිලී 
කියාදෙන්න ප්‍රේම සාගරේ....

මම හිතුවටත් වඩා ගීතය සඳහා බොහෝ යහපත් ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීතය සඳහා විෂුවල් එකක් කරන්නයි බලාපොරොත්තුව. මේ වන විට මට චිත්‍රපට කිහිපයකත් ගීත ගායනය සඳහා ආරාධනා ලැබිල තියෙනවා.“

බාලවියේ සිටම සංගීත පිළිබඳ හැදෑරුවද තමන්ගේම ගීතයක් ගයන්නට මෙතරම්ම කල් ගත වුයේ මන්දැයි ඇසූ විට ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.

“බාල වියේ සිටම මම වැඩිපුරම ඇල්ම දැක්වුයේ සංගීත භාණ්ඩ වාදනය සඳහා. මගේ අම්මා තාත්තාත් මට ඒ සඳහා හොඳ සහයෝගයක් ලබා දුන්නා. සංගීතය ගැන පුළුල් ලෙස හැදෑරීමෙන් පසු මට අවශ්‍ය වුණේ ඒ ගැන අපේ දරුවන්ට උගන්වන්න. අද වුණත් මම කැමැති දරුවන්ට සංගීතය උගන්වන්න. නමුත් මට හිතුණා මම ගීත ගැයුවොත් හොඳයි නේද කියලා. ඊට පස්සේ තමයි මේ ගීතය කළේ. මගෙ සැමියා ජනක ප්‍රසන්න මායාදුන්නේ. ඔහු සංගීත ගුරුවරයෙක්. ජාතික රූපවාහිනියේ විකාශය වුණ ස්ට්‍රෙන්ජ වැඩසටහනේ වාදි සංගීත කණ්ඩායම මෙහෙය වුයේ ඔහු. මගෙ දුව කෙනුලි මිනායා. ඇයට තවම වයස අවුරුදු දෙකහමාරයි. මගෙ අම්මගෙන් තාත්තගෙන් වගේම සැමියගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

මගේ එකම බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්න.“

පියුමි පවසන්නේ හෙට දවස ගැන යහපත් බලාපොරොත්තු ඇතිවය.

Comments