මගේ එකම ඉලක්කය කවද හරි ජාතික ශූරයා වීම | සිළුමිණ

මගේ එකම ඉලක්කය කවද හරි ජාතික ශූරයා වීම

- 47 වැනි ජාතික ක්‍රීඩා උලෙළේ කායවර්ධන තරගයේ තෙවැනි ස්ථානය ලේක්හවුස් ආයතනයේ ඉෂාන්ත උදයට
- කායවර්ධන ක්‍රීඩාවෙදි පුංචි දේකින් පවා අපේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්

පසුගිය අගෝස්තු 5 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති 47 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කායවර්ධන තරග ඉසව්වේ 75-80ත් අතර බර පන්තියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ලේක්හවුස් ආයතනයේ ගිණුම් අංශයේ සේවයේ නියුතු ඉෂාන්ත උදය සමත් විය. මෙය ඔහු තම ක්‍රීඩා දිවියේ ලබාගෙන ඇති ඉහළම ජයග්‍රහණයයි. 

කුඩා කල පටන්ම කායවර්ධන ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වන ඔහුගේ ඉලක්කය ජාතික ශූරයා බවට පත්වීමයි. 2017දී කායවර්ධන තරගයක ප්‍රථම අත්දැකීම ලද ඔහු මේ වන විට තරගාවලි කිහිපයකටම ඉදිරිපත් වී ජයග්‍රහණ හිමිකර ගෙන ඇත. සාමාන්‍ය ක්‍රීඩාවකට එහා ගිය ක්‍රීඩාවක් ලෙස සැලකෙන කායවර්ධන ක්‍රීඩාව සඳහා පෙර සූදානම අත්‍යවශ්‍ය දෙයකි. දැඩි කැපවීම සහ උනන්දුව මෙම ජයග්‍රහණයට හේතුව වූ බව ඔහුගේ අදහසයි. උදය සිය ක්‍රීඩා දිවියේ අත්දැකීම් මෙසේ අප හා බෙදා ගත්තේය.

“පසුගිය 5 වැනිදා පැවැත්වුණු 47 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කායවර්ධන තරගයේ මට හිමි වුණේ තුන්වැනි ස්ථානය. 75 - 80 බර පන්තිය යටතේ තමයි මං තරග වැදුණේ. දිස්ත්‍රික්ක හෝ වෙනත් තරගයකදි පවත්ව ගත්ත බර පන්තියම මේකෙදිත් තබා ගත යුතුයි. ඒක ජාතික තරගයක තියෙන කන්ඩිෂන් එකක්. 2022 පවත්වන්න නියමිතව තිබුණු තරගය තමයි කොවිඩ් නිසා මේ වසරේ පැවැත්වුණේ. ගිය වසරේ පළාත් තරගවලදි මං පළමුවැනියා වුණා. ඒ වසරේම මාර්තු මාසයේ පැවැති දිස්ත්‍රික් තරගයෙන් දෙවැනියා වුණා. 2022 ජූලි මාසෙ නාඩා ආයතනයෙන් පවත්වපු පළාත් තරගෙදි පළවැනියා වුණා. පළාත් ජයග්‍රහණ සියල්ලම එකතු කරල තමයි ජාතික මහා ක්‍රීඩා උලෙළේ අවසන් තරගය පැවැත්වුණේ. එම තරගයේ පළමුවැනියා තමයි ජාතික ශූරයා වෙන්නේ. මගේ එකම ඉලක්කය කවද හරි ඒ තැනට එන එක. ඒකට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. දවසින් දෙකෙන් ඇඟ හදාගන්න බෑ. ඒකට කාලයක් යනවා. පුහුණු වෙන්න වෙන්න තමයි ශරීරය ඒ විදිහට හැඩ ගැහෙන්නෙ. මේ ජයග්‍රහණය මට ලොකු සතුටක්. කායවර්ධන ක්‍රීඩාවෙදි පුංචි දේකින් පවා අපේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්. තරගයක් පැවැත්වෙන දවසට කලින් දවස් තුනම අපි අනිවාර්යයෙන්ම තරගය සඳහා ශරීරය හැඩගස්ව ගන්න ඕනෙ. මේක තනිකරම මාංස පේශි වර්ධනයත් එක්ක කෙරෙන ක්‍රීඩාවක්.

ඒ වගේම තමයි ආහාර ගැනීමේ රටාවත් මේ ක්‍රීඩාවෙදි සෘජුවම බලපාන සාධකයක්. තන්තු ආහාර ගැනීම ගොඩක් වැදගත්. තන්තු ඉක්මනින් ග්ලූකෝස් බවට පත් නොවී ශක්තිය ලබාදෙමින් වැඩි කාලයක් ක්‍රියාකාරී වෙනවා. පැණි රස ආහාර නම් ගන්නෙම නෑ. මුල් දිනවල මේදය සහ කාබෝහයිඩ්‍රේට් අරගෙන මසල්ස් ලොකු කරගන්නවා. තරගය ළං වෙද්දි කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ප්‍රෝටීන් වැඩිපුර ගන්නවා.

තරගයකදි පෝසින් 7ක් ඉදිරිපත් කරන්න ඕනෙ. ඊට අමතරව ෆී පෝසින් එකක් තියෙනවා. ලයින් අප් එකේදි විනිශ්චය මණ්ඩලය තරගකරුවන්ගෙ බොඩි බැලන්ස් එක බලනවා. ශරීරය මේන්ටේන් කරනවද ප්‍රේම් එක කොහොමද කියලත් බලනවා. පෝසින්වලදි ලකුණු දෙනවා. ටයිට්ල් එකේදි තමයි විනිශ්චය මණ්ඩලයට අමාරුම කාර්යය පැවරෙන්නෙ. පෝසින්වලදි ලැබෙන ප්ලේස් එක ටයිට්ල් එකේදි වෙනස් වෙන්නත් පුළුවන්. අපි හිතමු කවුරු හරි වතුර ටිකක් බිව්ව කියල. එයාගෙ ඇඟ ඉක්මනින් වෙනස් වෙනවා. පෝසින් එකේදි එයා හිටිය ප්ලේස් එක ටයිල්ට් එකේදි වෙනස් වෙන්න පුළුවන්. එක තරග අවස්ථාවකදි ඉන්න බැරිම තැන මං වතුර ටිකක් බිව්වා. මගේ කෝච්ට ඒක තේරුණා. ඇහුව වතුර බිව්ව නේද කියලා. කෝච් තමයි පුහුණුවීමේ ෂෙඩුල් එක දෙන්නේ. සතියකට දින 6ක් පුහුණුවීම් කරනවා. එතකොට දින තුනක් වගේ එක මාංස පේශියකට ව්‍යායාම ලැබෙනවා.

කායවර්ධන ශිල්පියෙක් පැය තුනෙන් තුනට ආහාර වේලක් ගන්න ඕනෙ. මං බතල තමයි වැඩිපුරම ගන්නෙ. ඒකට හේතුව බතලවල තන්තු බහුලයි. මිස්ට ශ්‍රී ලංකා එකට ඉදිරිපත් වුණ කාලෙ මං කෑවෙම චිකනුයි බතලයි විතරයි. චිකන් වැඩිපුර ගත්තා. ප්‍රෝටීන් ඕන නිසා දැනට දවසකට බිත්තර හයක සුදු මදය ගන්නවා. දිනකට පැය 8-10ක නින්දක් ඕනෙමයි. නින්දෙදි තමයි ඇඟ හැදෙන්නෙ. මේ ක්‍රීඩාවෙදි මට අ යන්න ආ යන්න කියල දුන්න සංජීව රත්නායක මහතා වගේම ජයන්ත ජයලාල්, තරිඳු අමුණුගම යන මහත්වරුන් මතක් කරන්න ඕන. දැනට මගේ පුහුණුකරු විදිහට කටයුතු කරන ගමගේ සමන් කුමාර මහතා විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. ඒ වගේම නිරතුරුවම මට ශක්තියක් වන ආදරණීය බිරිය නිමාලි කහවලත් සිහිපත් නොකරම බෑ.“


Comments