පොඩි කාලේ ඉඳන්ම මම ගණ දෙවියන් අදහන හොඳ භක්තිකයෙක් | සිළුමිණ

පොඩි කාලේ ඉඳන්ම මම ගණ දෙවියන් අදහන හොඳ භක්තිකයෙක්

මෑත කාලයේ පුංචි තිරයෙන් අපිට සමීප වෙන හෂාන් රත්නායක මුලින්ම රංගනයට පිවිසෙන්නේ සිනමාවෙන්. හෂාන් සිනමාවෙන් දායක වුණු මුල්ම සිනමාපටය වන්නේ කදිර දිව්‍යරාජ. එහි ගණපති දෙවිඳුන්ගේ චරිතයයි හෂාන් රඟ දක්වන්නේ. මේ සොඳුරු කතා බහ එහි අත්දැකීම ගැන වගේම කලා ලොවේ ඉදිරි නිර්මාණ ගැන...

මේ දවස්වල මොනවද තියෙන වැඩ...?

ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අලුත් නාට්‍යයක් කරනවා. ඒක ළඟදීම විකාශය වෙන්න නියමිතයි. එහි රූගත කිරීම් සහ තව ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඉන් තෝරා බේරාගෙන ප්‍රේක්ෂකයින්ට මගෙන් උපරිමයක් ලබා දෙන්න පුළුවන් නිර්මාණවලට මම දායක වෙනවා.

වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතය මොකක් ද?

මම මේ වෙනකම් නාට්‍ය කිහිපයක රඟපෑවට විකාශය වුණේ තවම නාට්‍ය දෙකයි. ධරණී සහ ගුග්ලි ටෙලි නාට්‍ය. ධරණීහි දේවින්ද සහ ගුග්ලි හි රදිෂ් කියන චරිත දෙකෙන් ප්‍රේක්ෂකයින් අතරට ගියේ. මෙතැනදී මතක් කරන්නම ඕනේ ධරණී හි දේවින්ද කියන චරිතය මට ලැබෙන්නේ ශ්‍රියන්ත අයියා සහ නිදුක් අයියා නිසා. ගුග්ලි එකට මාව මේනක රාජපක්ෂ අයියට හඳුන්වා දෙන්නේ දිලිදු මල්ලි.

සිනමාව ගැන කතා කළොත්, කදිර දිව්‍යරාජ ඔබේ පළමු රංගනය?

ඔව්. මේ මගේ පළමුවැනි සිනමා රංගනය. ඊට පස්සේ මම ආකාශ් තාරුක මල්ලි කරපු විලම්භීත කෙටි චිත්‍රපටය කළා. එය මේ වෙද්දී ජාත්‍යන්තර තරග රැසකටම ඉදිරිපත් කරලා තියෙනවා.

කොහොමද මේ කදිර දිව්‍යරාජ චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ...?

මම ඒ වෙද්දී ක්ෂේත්‍රයට ඇවිත් නැහැ. “අවුරුදු කුමරා“ තරගවලට ගිහින් ක්ෂේත්‍රයට එන්න බලමින් ඉන්න කාලේ අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම සම්මුඛ පරීක්ෂණයකට සුදර්ශි එකට ගිහින් එළියට එනවා බස් එක ගන්න කැලණි කැම්පස් එකට යන්න. ඒ වෙද්දී මම කැලණි කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තේ. මම බස් හෝල්ට් එකේ ඉන්නකොට පාරෙන් එහා පැත්තේ කෙනෙක් අත්පුඩියක් ගහලා මට කතා කරනවා. මම ගිහින් කතා කළා. මම දන්නෙත් නැහැ ඒ කවුද කියන්න. පස්සේ දැන ගත්තේ ඒ විමල් දේශප්‍රිය බව. ඔහු එදා මට කිව්වා අපි නිර්මාණයක් කරන්න යනවා පුතාගේ නම්බර් එක දෙන්න කියලා. මම නම්බර් එක දුන්නා. පස්සේ මම එතුමා ගැන දැනගත්තා. සති දෙකක් වගේ යද්දී ගෙදරට කෝල් එක ඇවිත් තිබ්බා. අම්ම තමා මුලින්ම කතා කරලා තිබ්බේ. අම්මට චිත්‍රපටය ගැන විස්තර කියලා තිබ්බා. මට ලැබුණේ ගණදෙවියන්ගේ චරිතය. මට අදටත් හිතාගන්න බැහැ ඒ වගේ චරිතයකින් සිනමාවේ පළමු රංගනය කරන්න ලැබීම ගැන. පොඩි කාලේ ඉඳන්ම මම ගණදෙවියන් අදහන හොඳ භක්තිකයෙක්.

ගණදෙවියන් අදහන ඔබට ගණදෙවියන් ලෙස රඟපාන්න ලැබීම ගැන මොකද හිතුණේ?

චිත්‍රපටය කරලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. තවමත් හිතාගන්න බැහැ මට ඒ ලැබුණු උත්තුංග අවස්ථාව ගැන. කඳසුරිඳුන් සහ වල්ලි මාතාවගේ චරිත සඳහා ඉන්දීය නළු නිළියන් දෙපළක් යොදාගෙන තිබුණේ. ප්‍රධාන චරිතය නිරුපණය කරන කෙනාගේ රූපයට සමාන රූපයක් ඒ වෙද්දී හොයලා තියෙන්නේ. අහඹු ලෙස මම පාරේ යනවා දැකලා මට ඒ අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ විමල් දේශප්‍රිය මහතාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. සිනමාවට එන්න හීනයක් තිබුණු මට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සිනමා නිර්මාණයක මේ වගේ චරිතයක් ලැබීමම භාග්‍යයක්.

කොහොමද පළමු සිනමාත්මක අත්දැකීම ජීවිතේට එකතු වුණේ...?

මම ඒ වෙද්දී කැමරාවක් ඉස්සරහට ගිහින් තිබිලත් නැහැ. චන්න දේශප්‍රිය සර් හිටියේ කැමරාකරණයට. මම දැනගෙන හිටියෙත් නැහැ කොහොමද ලොකේෂන් එකක හැසිරෙන්නේ කියලාවත්. පොඩි කාලේ ඉඳන්ම මම වැඩිමල් අයට හැමදාම ගෞරව කරනවා. ඒ නිසා මට පහසු වුණා දැවැන්ත චරිත එක්ක වැඩ කරන්න. ජගත් චමිල, වසන්ත අයියා, නදීපා අක්කා, සරත් කොතලාවල, නිල්මිණි තෙන්නකෝන් වැනි දැවැන්ත චරිත එක්ක වැඩ කරන්න ලැබුණාම මුලින්ම බය වුණා. විශේෂයෙන් ජගත් අයියා මගේ බය නැති කළා. මෙතැනදී ශෂීවත් මතක් කරන්න ඕනේ. පිටපත සම්බන්ධයෙන් වැඩ කළේ ශෂී. ඒ ලබපු අත්දැකීම මගේ ජීවිතේට ලොකු පන්නරයක් වෙලා තියෙනවා. චිත්‍රපටය තුළ තියෙන්නේ කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ ආදර කතාව. එක තැනකදී මේ ආදර කතාවට මූලිකත්වය ලබා දෙනවා ඇත් වේශයක් අරගෙන ගණදෙවියන්. ඒකට මට දායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා.

සිනමාවේ තව නිර්මාණ වලට ඇරයුම් ලැබුණද?

මේ තියපු අඩිය මට ලොකුම ආශිර්වාදයක්. ඒ දේවල් එක්ක මට ගැළපෙන චරිත ඉදිරියට ලැබෙයි. මට ගොඩක් හීන තියෙනවා. ඒ හීන බොහොමයක් මේ වෙද්දී මට අහඹු ලෙස ලැබිලා තියෙනවා.

සිනමාවට ද ඔබේ වැඩි කැමැත්ත?

එහෙම නම් නැහැ. සිනමාව ද පුංචි තිරයද කියලා නැහැ. මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉස්සරහට යන්න මම කැමතියි.

ඔබට තියෙන්නේ කළමනාකරණ උපාධියක්. ඒ පැත්තෙන් දෙයක් කරන්නේ නැද්ද?

කැම්පස් යනවා කියන එක මගේ හීනයක්. ඉගෙන ගත්ත දේවල් අපතේ යන්නේ නැහැ. මැනේජ්මන්ට් ඉගෙන ගත්ත නිසා මම කැමතියි මගේම කියලා ව්‍යපාරයක් අරඹන්න.

පොඩි කාලේ ඉඳන් ආස කළේ රංගන ශිල්පියෙක් වෙන්නද?

නැහැ, මම කැමැත්තෙන් හිටියේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. මට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන්. පාසල් නොගිහින් ගෙදර ඉඳන් චිත්‍ර අඳින කාලයක් තිබ්බා. ටිකෙන් ටික ලොකු වෙද්දී මට ඕනේ වුණේ විශ්ව විද්‍යාලයට යන්න. ඒ වෙනුවෙන් උපරිම මහන්සි වුණා. මම කැලණි විශ්ව විද්‍යාලයට තේරුණා. ඔය කාලේ ආයෙමත් මගේ ඇඟේ තියෙන කලාකාමිත්වය මතු වෙන්න පටන් ගත්තා. විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉන්න කාලේ අවුරුදු කුමරා (2018 හිරු / 2019 සිරස ) තරග වලට ගියා. ඉන් අත්දැකීම් ලබා ගත්තා ජග්‍රහණය කළා. අපේ විශ්ව විද්‍යාලයේ සංවිධානය කළ Stylish Markete-2015 නිරූපණ තරගාවලිය. එයට සහභාගී වෙලා ජයග්‍රණය ලබනවා එක්කම කලා ක්ෂේත්‍රයට දොරගුළු විවර වෙන්නේ. ඒ එක්කම ජාත්‍යන්තර අත්දැකීම ලබා ගන්න හීන තිබ්බා. තායිලන්තයේ පැවති Mr. Sri Lanka for Mr. United Asia - 2018 තරගාවලියට මම ලංකාව නියෝජනය කළා. ඒකට මාව යොමු කළේ සහ නිර්දේශ කළේ චන්දිමාල් ජයසිංහ සහ චතුර ඩිලාන්. එහිදී අවසන් 10දෙනා අතරට තේරිලා Best in talent award එක ඇතුළුව තවත් Mini titiles හතක් ජයග්‍රහනය කරන්න හැකි වුණා. ඊට පස්සේ 2019 ඉන්දියාවේ තිබ්බ Face of South Asia model festival එකට ලංකාවෙන් තේරීපත් වී නියෝජනය කරන්න ආවස්ථාව ලැබුණා. ඒ හැම අත්දැකීමත් එක්කමයි මට මගේ පළමු නාට්‍යය වන ධරණී නිර්මාණය ලැබෙන්නේ නිදුක් මධුෂික හරහා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. ඒ අය හැමෝම කැමතියි මම මේ ක්ෂේත්‍රයෙන් ඉහළට යනවා දකින්න.

තරුණ්‍යයේ ඉන්නේ, ආදරේ ගැන කතා කළොත්?

ආදරේ ගැන අත්දැකීම් තියෙනවා. ඒ දේවල් මගේ අරමුණු වලට කවදාවත් මම බාධාවක් කර ගත්තේ නැහැ. කාලයත් එක්ක හැමදේම වෙයි කියන තැන ඉන්නේ. දැන් නම් ආදරවන්තයෙක් නෙවෙයි. මේ කාලේ ඒ ගැන හිතලත් නැහැ. මම ජිවත් වෙන්නේ මගේ අරමුණු එක්ක.

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?

ප්‍රේක්ෂකයින් මට තාමත් කතා කරන්නේ දේවින්ද කියලා නැත්නම් රදිෂ් කියලා. මම කරපු චරිත දෙකම ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගත්තා. කදිර දිව්‍යරාජ මගේ පළමු සිනමා රංගනය හරහාත් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන චරිතයකින් ළං වෙන්න අවස්ථාව ලැබුණා. මේ හැමදේකින්ම කලාකරුවන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේක්ෂක ආදරය. ඒ ආදරේ නැත්නම් අපිට මේ ක්ෂේත්‍රයේ ගමනක් නැහැ. මම හරි ආදරෙයි සහ කෑදරයි, ලෝබයි ප්‍රේක්ෂක ආදරේ ලබන්න. මඟ තොටදී කෙනෙක් කතා කරත් මට ඒ අය වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම කාලය දෙන්න මම පුරුදු වෙලා තියෙනවා. මම කැමතියි හැමදාම හැම මොහොතකම මේ ප්‍රේක්ෂක ආදරේ හම්බ කරන්න. ඒ ආදරේ තමයි මාව ජීවත් කරන්නේ.

Comments