
අකලංක ප්‍රභාශ්වර නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. වේදිකා නිර්මාණ බොහොමයක සිය සියුම් රංගන කුසලතාවන් විදහා දක්වන අකලංක මේ දිනවල රූගත කෙරෙන අලුත් සිනමාපටයකට සුදානම් වෙමින් ඉන්නේ.
මුලින්ම අකලංක ගැන විස්තර කළොත්?
මම ඉපදුණේ බොරැල්ලේ. මම පාසල් ගියේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලට. අපි 2019 දී කොළඹ අතෑරල උඩවලව ප්‍රදේශයට ස්ථිර පදිංචියට ගියා. මගෙ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා සහ මම.
පාසලේ දී මොන වගේ ශිෂ්‍යයෙක් ද?
මම හොඳටම දඟ ළමයෙක්. කවදාවත් අපේ අම්මට ගුරු දෙගුරු රැස්වීමක මගේ හොඳක් අහන්න බැරි වුණා.
කලාවට ආස කරන්න හේතු වුණේ මොකක් ද?
මට මුලින්ම ඇති වුණේ කලාව සම්බන්ධයෙන් ආකර්ෂණයක්. ඒක හරියට අපිට ආදරය ගැන කිසිම දෙයක් නොතේරෙන පුංචි කාලේ තවත් පාර්ශ්වයක් ගැන ඇතිවන ආකර්ෂණය වගේ. සමහර විට ඒ ආකර්ෂණයේ අරමුණවත් අපිට තෝරගන්න බැහැ. ඉතින් මේකත් එහෙමයි. ඒ ආකර්ෂණයට හේතු වුණේ ඇත්තටම පටු අරමුණු විතරයි. ආකර්ෂණය ආසාව දක්වා වර්ධනය වෙන්න පටන් ගත්තේ යම්කිසි කාලයකට පසුව. ඒ ආසාවේ අරමුණු තමයි කලාව හරහා ජීවිතය සම්බන්ධයෙන් සහ අනෙකා සම්බන්ධයෙන් වෙනස් කෝණවළින් දකින්නට හැකියාවක් ලැබීම. උදාහරණයක් විදියට මට කලු පාටට පෙනෙන දේ තවත් කෙනෙකුට කලුපාටටම නොපෙනෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් තේරුම්ගන්න පුළුවන් වුණේ කලාව නිසා. ඒකයි කලාවට ආස කරන්න හේතු වුණේ.
නළුවෙක් වෙන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?
ඒ සම්බන්ධයෙන් මට තියෙන පිළිතුරත් කලින් ප්‍රශ්නේ පිළිතුරට සමානයි. පාසලේදී පළමු රඟපෑමට පසුව ලැබෙන ප්‍රතිචාරවලට පස්සේ නළුවෙක් වෙනවා කියල හිතුවා. මම ඒ වෙද්දි පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා. මට ක්‍රිකට් අමතක වුණා රඟපෑමට අවතීර්ණ වීමත් එක්ක. මුල් කාලයේ නළුවෙක් කියන මනුස්සයගේ අභ්‍යන්තරය කෙතරම් සංකීර්ණද කියන කරුණ තේරුණේ නැහැ. ආයිමත් පටු අරමුණු පමණයි තිබුණේ. නමුත් මට ඇසුරු කරන්න ලැබුණු මිනිස්සු සමඟ මගේ ඒ පටු චින්තනය ක්‍රමයෙන් පුළුල් වෙන්න ගත්තා. නළුවෙක් කියන්නේ කවුද? ඇයි මම රඟපාන්නේ ? මොකද්ද මට සමාජයට කියන්න තියෙන්නේ ? මෙන්න මේ වගේ සංකීර්ණ ප්‍රශ්න මාව ප්‍රශ්න කරන්න ගත්තා. ඒ ප්‍රශ්නවලට උත්තර තාමත් මම හොයනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන පටන්ගත්තට පස්සේ මට සමහර තැන්වල මට මාවම මුණ ගැහුණා. ඊට පසුව මම තේරුම් ගත්තා මම මිනිහෙක් විදිහට ජීවත් වෙනවා. ඒ ජීවිතේ ඇතුළේ නළුවෙක්වත් පෝෂණය කරමින්. ඇත්තටම ඒ තත්ත්වය තේරුම් අරන් වැඩි කාලයක් නැහැ.
ප්‍රසිද්ධ කලාවට එන්නෙ කොහොමද?
මට හිතෙන විදියට මම ඇත්තටම කලාවට අවතීර්ණ වුණාට පස්සේ ඒක ප්‍රසිද්ධද නැද්ද කියන එක ගැන මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මම කලාව තුළ ජීවත් වුණා. මම පළමුවෙනියටම ටෙලි නාට්‍යයක පෙනී සිටියේ 2013-2014 වගේ කාලයක. ඊට පස්සේ දිගින් දිගටම වේදිකාවත් සමඟ හිටියා. ලංකාව තුළ වේදිකාව සහ සිනමාව ප්‍රසිද්ධ කලා මාධ්‍යයක් නෙවෙයි. එහෙම බැලුවොත් මම තාම ප්‍රසිද්ධ කලාවට ඇවිත් නැහැ කියලයි මට හිතෙන්නේ.
වේදිකාවට ද මුල් තැන
අනිවාර්යයෙන්ම. ඊට සමාන තැනක් සිනමාවටත් .
මේ වෙද්දී දායක වුණු වේදිකා නාට්‍යය මොනවාද?
වේදිකාවේ මගේ ගුරුවරයා චාමික හත්ලහවත්ත. එයාගේ "මකරට" නාට්‍යය. ජයලත් මනෝරත්න මහතාගේ "සෙල්ලං නිරිදු" "හඬ නිහඬ". රුවන්ති ඩී චිකේරාගේ - “Dear children sincerely “ “Thought curfew ". ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ -" The irresistible rise of Mr.Signno. ජෙහාන් ඇලෝෂියස්ගේ - “Reality show" වර්තමානය වන විට චාමර ගුරුගේ විසින් අධ්‍යක්ෂණය කරන "අපි අතර ඌ" (පුහුණුවීම් මට්ටමේ) අගෝස්තු 4 -5 මරදාන ටවර් රඟහලේ කෞෂල්‍යා ප්‍රනාන්දු විසින් පරිවර්තනය කළ චමිල ප්‍රියංක විසින් අධ්‍යක්ෂණය කරන “The Jungel“ වේදිකා නාට්‍යය.
පුංචි තිරයේ අත්දැකීම කොහොමද?
ඇත්තටම අපි අපේ ජීවිත කෙතරම් අනතුරට භාජනය කර ගන්නවාද? එතරම්ම අපිට අපේ ජීවිතය ගැන අත්දැකීම් පාඩම් ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙනවා. පුංචි තිරයේ අත්දැකීමත් එහෙමයි. වැරදි කිරීම තුළින් වැරදි තේරුම් ගැනීම හරහා අධ්‍යාපනය ලැබීම. ඒක හොඳ අත්දැකීමක්.
ඔබ රඟපෑ සිනමා නිර්මාණ ගැන කතා කළොත්?
මේ වන විට සිනමා නිර්මාණ 3ක මම ඉඳල තියෙනවා. චත්‍ර වීරමන් විසින් අධ්‍යක්ෂණය කළ - "ආයු" (අතිරේක චරිතයක්) රොහාන් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ -"සීගිරි" සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ - "Peacock lament " (විහඟ ප්‍රේමය ) මේ කිසිදු චිත්‍රපටියක් තවමත් ලංකාව තුළ තිරගත වී නෑ. චමින්ද ඉලුක්වල විසින් අධ්‍යක්ෂණය කරන "මාගම්සෝලි" චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල පටන් අරගෙන තියෙන්නේ.
මාගම් සෝලි ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් වෙයිද?
ඒ සම්බන්ධයෙන් කතා කිරීමට මම හිතන්නේ තාම හදීසි වැඩියි. මම තාම ඒ චරිතයට සූදානම් වන ගමන් ඉන්නේ. ඒ නිසා පූර්ව නිගමනවලට එළැඹීම යම් තරමකට සුදුසු නෑ. නමුත් මේ හැම චිත්‍රපටියක්ම පුද්ගලිකව මට මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් කිව්වොත් නිවැරදියි.
කලාව කරනවට ගෙදරින් කැමති ද?
ඔව්. එයාල හරහා ලැබෙන නිදහස සහයෝගය මෙතෙකයි කියා කියන්න බැහැ. ඉස්සර නම් නානාප්‍රකාර ප්‍රශ්න ආවා. මේ වෙද්දි එයාල තේරුම් අරන් ඉන්නේ මට කියල තේරුමක් නැහැ කියන එක .
තාරුණ්‍යයේ ඉන්නෙ ආදරේ දකින්නෙ කොහොමද?
ආදරය ගැන මගේ අර්ථකථනය "සවන්දීම සහ ඉඩදීම". අපි කැමැත්තෙන් පහසුවෙන් ජීවත් වෙන තැනට අපි ආදරෙයි. ඒ අවකාශයට අපි ආදරෙයි.
ආදරවන්තයෙක් ද?
ඔව්.
ඇය ගැනත් කියමුද?
ඇයත් රංගන ක්ෂේත්‍රයේම නියැෙළන කෙනෙක්. ඇය කසුනි කාවින්දි ප්‍රනාන්දු.
අනාගත බලාපොරොත්තු මොනවාද?
රංගනය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීම සහ පුද්ගලයා, නළුවා සහ චරිත කියන තත්වයන් තුන පෝෂණය කිරීම.