අපි දෙන්නා හරියට යාළුවෝ වගෙ ඒ අපි නිතරම එකට හිටපු නිසා | සිළුමිණ

අපි දෙන්නා හරියට යාළුවෝ වගෙ ඒ අපි නිතරම එකට හිටපු නිසා

- තමන්ගේ දරුවන්ව සංගීතය පැත්තට යොමු කරන්න තාත්තාට බලාපොරොත්තුවක් තිබු‍ණෙ නැහැ
- දවසක මගෙ දරුවෝ සංගීතය පැත්තට යොමු වුණොත් ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ

හෙන්රි කලදේරා ගායන කරන "කන විදින වෙලේ කඳුළු ගඟේ" ගීතයේ කියවෙන "සඳ" තමයි තුෂාරි කල්දේරා. ඇය හෙන්රි කල්දේරාගේ එකම දියණිය. තාත්තා ගැන අපූරු මතක රැසක් ඇය සතුව තියනවා. ඒ සියලු රසබර තොරතුරු එක්ක ඇය රසඳුන සමඟ මේ විදිහට කතාව පටන් ගත්තා.

තාත්තා මොන වගේ චරිතයක් ද?

තාත්තා හරිම දයාබර චරිතයක්. කිසිම කෙනෙකුට වෛර නොකළ ඊර්ෂ්‍යා නොකළ හැම කෙනාටම පුළුවන් විදිහට උදවු කළ ඉතාම අවංක කෙනෙක්. හැබැයි තාත්තා කිසිම බයක් සැකක් නැතිව ඕනෑම කෙනෙක්ට කියන්න ඕන දේ කෙළින්ම කිව්වා. ඒ වගේම තාත්තා එයාගේ දරුවන්ට ආදරය කළා වගේම තමන්ගේ රටට, ජාතියට සහ ආගමට දැඩි ලෙසම ගෞරව කළා. මගේ තාත්තා කලාව දැක්කේ මුදල් උපයන මාර්ගයක් විදිහට නෙමෙයි. කලාව, සම්පූර්ණයෙන්ම ජන හිත සුව පිණිස යොදා ගන්න පුළුවන් සෞන්දර්යාත්මක දෙයක් විදිහට තමයි දැක්කේ.

තාත්තා සහ ඔබ අතර තිබුණ සබඳතාවය කොහොමද?

අපි දෙන්නා හරියට යාළුවෝ වගේ. ඕනම ප්‍රශ්නයක් කිසිම බයක් සැකක් නැතිව තාත්තා එක්ක කියන්න පුළුවන් තරම් ළඟ සබඳතාවයක් අපි දෙන්නා අතරේ තිබුණා. මම හිතන්නේ ඒ අපි දෙන්නා නිතරම එකටම හිටපු නිසා වෙන්න ඇති. අනික තාත්තා හොඳ ඇහුම්කන් දෙන්නෙක්. ඒ නිසා එයා එක්ක ප්‍රශ්නයක් ගැන කතා කරන්න ලේසියි.

ඔබේ තාත්තා ගීත ලිව්වේ ඔබට විතර ද?

නැහැ. පුතාලා තුන්දෙනාටත් තාත්තා ගීත ලිව්වා. සමහර ගීත ලියලා තියෙන්නේ අපි ඉපදෙන්නත් කලින්. විශේෂම දේ තමයි ඒ හැම ගීතයක් ඇතුළේ සත්‍ය සිදුවීමක් තිබීම. කන විදින වෙලේ සින්දුව ලියැවෙන්න හේතු වෙන්නේ මට කරාබු දාන්න කන විදපු වෙලාවේ මං අඬපු හේතුවයි. තාර පැටියා සින්දුව ලියන්නේ අයියා ඉපදෙන්න කිට්ටුව. සමනල සිරිපා සිඹ සිඹ ගීතයත් ලියවුණේ ලොකු අයියා වෙනුවෙන්. එයාවත් වඩාගෙන එළියට ගිය වෙලාවේ උදේ ඉර එළිය දැකලා, සතුටු වුණ අයියාගේ හැඟීම් දැනිලා තමයි තාත්තා ඒ ගීතය ලිව්වේ. මිදුලේ සුදු වැලි තලයේ ලිව්වේ දෙවැනි අයියා වෙනුවෙන්. පොඩි අයියාගේ අතක් තාත්තාගේ ඇහේ වැදිලා ඒකට බෙහෙත් කරන කොට තමයි මල් නටු වැනි පොඩි දෑත දෙපා කියන ගීතයේ අදහස තාත්තාට ඇවිත් තියෙන්නේ. ඒ වගේම තාත්තා අම්මා වෙනුවෙනුත් ගීත ලියලා තියනවා.

ඔබේ තාත්තා දෘශ්‍ය‍යාබාධිත කෙනෙක්. නමුත් ඔහු ලියු ගීතවල ඉතාම අලංකාර පරිසර වර්ණනාවක් තියනවා. එ් කොහොමද?

තාත්තා උපතින්ම පූර්ණ දෘශ්‍යාබාධිත කෙනෙක් නෙමෙයි. අවුරුදු 10දී එයාට දුන්න බෙහෙතක් වැරදිලා තමයි පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්වෙන්නේ. ඒ අවුරුදු 10ක් තුළ දැකපු පරිසර සුන්දරත්වය තමයි ඔහු පසු කාලීනව ගීතවලට යොදා ගන්නෙත්.

අම්මා ගැනත් මතක් කළොත්?

අම්මාගේ නම බිසෝ මැණිකේ කල්දේරා. එයා දරුවන් හතර දෙනෙකුත් බලාගෙන තත්තාගේ වැඩවලටත් උදවු කරගෙන ජිවත්වුණ බොහෝම ධෛර්‍යවන්ත කාන්තාවක්. තාත්තාගේ හැම අවශ්‍යතාවයක්ම අම්මා අතින් නොඅඩුවම සිදු වුණා. පොඩි කාලේ ඉඳන්ම අපි ඒ දේවල් දැක්කා. තාත්තාගේ නිර්මාණ ලස්සන වෙන්න සහ ඒ නිර්මාණ කරන්න පුළුවන් නිස්කලංක පරිසරයක් හැදුවේ අම්මා. ඒ දෙන්නා අතර තිබුණේ එකිනෙකා තේරුම් ගත් ශක්තිමත් සම්බන්ධකමක්.

ඔබ ඇයි සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නැත්තේ?

ඒකට ලොකුම හේතුව තමයි තාත්තා. අපි කවුරුවත් සංගීත ක්ෂේත්‍රයට එනවට තාත්තා කැමති වුණේ නෑ. එහෙම අකමැති වෙන්න වැඩියෙන්ම බලපැවේ එයා මුහුණ දුන්න කටුක අත්දැකීම් ඒ නිසා තමන්ගේ දරුවන්ව සංගීතය පැත්තට යොමු කරන්න තාත්තාට බලාපොරොත්තුවක් තිබු‍ණේ නැහැ. 

තාත්තා කැමැති වුණේ ඔයාව කවුරු වගේ කෙනෙක් කරන්නද?

තාත්තා වැඩියෙන්ම කැමැති වුණේ මම රටට ලෝකෙට වැඩදායක යහපත් දරුවෙක් වෙන එක. එයාගේ හැම වචනයකම තිබුණේ ඒ විදිහට හැඩ ගැහෙන්නෙ, හැදෙන්න අවශ්‍ය කරන උපදේශ සහ අවවාද.

ඔබේ ජීවිතය ගැන තොරතුරු ටිකක් කියන්න?

මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. දුව සහ පුතා. ඒ දෙන්නම තාම පාසල් අධ්‍යාපනය හදාරනවා. මම ගෘහණියක් , බිරියක්, මවක් විදිහට මගේ යුතුකම් හා වගකීම් ඉටුකරගෙන සතුටින් ජීවිතය ගත කරනවා.

පියාගේ ගීත නව පරම්පරාව ගායනා කරන එකට මොකද හිතන්නේ

ඇත්තටම ඒකේ කිසිම ගැටලුවක් නෑ. නව පරම්පරාව ඒ ගීත ගායනා කරන්නේ යම් කිසි රසයක් එහි තිබෙන නිසානේ. ඒ නිසා මුල් නිර්මාණයේ ගුණයට හානියක් නොවන ආකාරයෙන් එය භාවිත වෙනවාට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.

ඔබේ දරුවන් දෙදෙනා අනාගතයේ දවසක සංගීතය පැත්තට යොමු වුණොත් ඔබ මොකද කරන්නේ?

සීයා ගැන මම ඒ දෙන්නට කියලා තියනවා. ඒ උරුමය එයාලටත් අයිතියි. කවදා හරි දවසක මගෙ දරුවෝ සංගීතය පැත්තට යොමු වුණොත් ඒකට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. එයාලා කැමති දේ තෝරගෙන එයින් ඉදිරියට යන්න ඒ දෙන්නට නිදහස තියනවා. එයාලා තමන්ගේ දක්ෂතා අනුව ඒ ගමන තිරණය කරයි.

Comments