මම මේකට මුල ඉඳන්ම සූදානම් වුණා | සිළුමිණ

මම මේකට මුල ඉඳන්ම සූදානම් වුණා

ලෝක විවාහක මිහිකත රූ රැජන -2023 කිරුළ මෙවර භිමිකර ගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගි වූ සශ්මි දිසානායකයි. පසුගිය ජූලි 18 වැනිදා සිට පිලිපීනයේ මැනිලා නුවර ඇරැඹුණු මෙම තරගය සඳහා රටවල් 45ක තරගකාරිනියන් 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටීම ද විශේෂත්වයකි. මිනි ඉවෙන්ට්ස් හතරක ජය අත්කර ගනිමින් තරගයේ ජයග්‍රාහිකාව වූ සෂ්මි සිය ජයග්‍රහණයේ සතුට අප හා බෙදා ගත්තාය.

ලෝක විවාහක මිහිකත රූ රැජන කිරුළ ලංකාවට හිමිකරදීම ගැන මොන වගේ හැඟීමක්ද සශ්මිට දැනෙන්නේ?

මේ වගේ ජයග්‍රහණයක් ලබාගෙන මගේ රටේ නම ලෝකය ඉදිරියේ කියන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම නිහතමානී ආඩම්බරයක්. ඇත්තටම ගොඩක් හොඳ පෙර සූදානමක් ඇතුව තමයි මං මේකට සහභාගි වුණේ. ඒ නිසා ජයග්‍රහණය ගැන බලාපොරොත්තුවක් නොතිබුණාම නොවෙයි. මේ තරගය පැවැත්වුණේ කැටගරි තුනක් යටතේ. ඒකෙදි මං ඉදිරිපත් වුණු අවුරුදු 21-35 අතර පැවැති මිසිස් අර්ත් ඉන්ටර්නැෂනල් කැටගරි එක තමයි ප්‍රධාන එක විදිහට සලකනු ලැබුවේ. ඒකෙත් මිනි ඉවෙන්ට්ස් දහයක් විතර තිබුණා. ඒකෙන් හතරක ජය මට හිමිවුණා.

 

මොනවද ඔබ ජයග්‍රහණය කළ ඉවෙන්ට්ස් ?

Best in catwalk

Best in talent

Overall best in resort wear

Overall best in evening gown

 

මේ වගේ තරගයක් පැවැත්වීමේ අරමුණ මොකක්ද කියල ඇහුවොත්?

මේක අර්ත් රිලේටඩ් පැජෙන්ටා එකක්. ස්වභාව ධර්මය ගැන තමයි අවධානය. පරිසරය ආරක්ෂා කර ගැනීම තමයි ප්‍රධානම ඉලක්කය. ඒ සඳහා අපිට CRS ප්‍රොජෙක්ට් ගොඩක් කරන්න තියෙනව. දැනටමත් බීච් ක්ලීනින් වගේ කිහිපයක් පටන් අරගෙන තියෙනවා. ඉදිරියටත් ඒ වගේ ගොඩක් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. මගේ මේ ජාත්‍යන්තර ටයිට්ල් එකත් එක්ක මට කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩියි. මේ හරහා ලංකාවෙ එකෝ ටුවරිසම් වගේ දේවල් ප්‍රමෝට් කරන්න ගොඩක් පහසුයි.

 

සශ්මි මේ වගේ ෆීල්ඩ් එකක් තෝරගන්න හේතුව?

මගේ ගම අම්පාර වුණාට මං පොඩි කාලෙ ඉඳන්ම පාසල් ගියේ නුවර ගේට් වේ ජාත්‍යන්තර පාසලට. පොඩි කාලෙ ඉඳන්ම මගේ ආසාව වුණේ මොඩ්ලින් පැත්තට. අම්ම කියනව චූටි කාලෙත් මං එයාගෙ හීල්ස් දාගෙන, ලිප්ස්ටික් ගාගෙන ඉන්නව කියල. ටීවී එකේ, යූ ටියුබ් එකේ වුණත් බලන්නෙ ඒවගේ මොඩ්ලින් පැත්තට යන ඒවලු. ගෙදර අයට දැනිලා තිබුණා මගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා කියල. ලොකු වෙලා කවුරු වෙන්නද ආස කියල ඇහුවම අනිත් අය ඩොක්ටර්ස්ල, ලෝයස්ල කියද්දි මං කියල තියෙන්නෙ මොඩ්ල් කෙනෙක් වෙනවා කියල.

 

එතකොට මේ ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද?

සාමාන්‍ය පෙළ ඉවර වෙනවත් එක්කම මං සර්ච් කරල බැලුවෙ මොනවද තියෙන හොඳ මොඩ්ලින් ක්ලාස් කියල. ෆේස්බුක් එකෙන් තමයි රුක්මාල් සේනානායක සර්ගේ ක්ලාස් එක ගැන දැනගත්තෙ. සර්ට කතා කරල ඒ පන්තියට සම්බන්ධ වුණා. ඒ 2021 දෙසැම්බර් මාසෙ. එදා මං ක්ලාස් එකට සම්බන්ධ වුණේ නම් මේ වගේ පැජෙන්ටා එකකට යනවා කියල හිතල නෙවෙයි. මට ඕන වුණේ මොඩ්ලින් කියන්නෙ මොකක්ද, මොඩ්ල් කෙනෙක් වෙන්නෙ කොහොමද කියල ඉගෙනගෙන මොඩ්ල් කෙනෙක් වෙන්න. ඔය අතරෙ ෆේස්බුක් එකෙන්ම තමයි මේ තරගය ගැන දැනගන්න ලැබුණේ. ඊට පස්සෙ සර් එක්ක කතා කරල තරගයට අයදුම් කළා.

 

ජයග්‍රහණය වෙනුවෙන් විශේෂයෙන් මොනවහරි කළාද?

ඒක නම් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්. මුල ඉඳන්ම මං මේකට සූදානම් වුණා. මම ඕනෙම දේකට පෙර සූදානමක් ඇතුව තමයි වැඩ කරන්නෙ. අවුරුදු එකහමාරක් විතර මං හොඳටම පුහුණු වුණා. කැට් වෝක් එක පර්සනල්ටි ඩිවලොප්මන්ට් මේ හැමදේම පුහුණු වෙලා තමයි මං තරගෙට ඉදිරිපත් වුණේ. මුලින්ම ලෝකල් තරගෙට ඉදිරිපත් වුණා. ඒකෙත් තරගකාරිනියන් 35ක් විතර හිටියා. ඒ තරගෙ මිනි ඉවෙන්ට්ස් අටක ජය හිමි වුණා. ඒ ජයග්‍රහණයෙන් පස්සෙ තමයි ජාත්‍යන්තර තරගයට යන්න අවස්ථාව ලැබුණේ.

 

ඔබේ සැමියාගෙන්, ගෙදර අයගෙන් ලැබුණු සහයෝගය ගැනත් සඳහන් කරමු?

මගේ සැමියා මිහාන් ලෝෂිත තමයි මගේ ලොකුම ශක්තිය වුණේ. එයා ව්‍යාපාරිකයෙක්. අපේ තාත්තත් ව්‍යාපාරිකයෙක්. තාත්ත මුලදි අකැමැති වුණා මං මේ දේවල් කරනවට. මිහාන් තමයි කතා කරල යන්න අවස්ථාව හදල දුන්නෙත්. එයා මාව තේරුම් ගත්තා. විශ්වාස කළා. ඒ තේරුම් ගැනීම, විශ්වාසය පවුල් ජීවිතය තුළ තියෙන්නම ඕනෙ සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන්න නම්. මම ඒ අතින් හරිම වාසනාවන්තයි මිහාන් වගේ සැමියෙක් ලබන්න. ඒ වගේම රුක්මල් සේනානායක සර්, තාරක සර් මතක් කරන්නම ඕනෙ. මගේ පවුලේ අය වගේම සැමියගෙ පවුලෙ අයත් විශේෂයෙන්ම මගේ නැන්දත් ආදරෙන් මතක් කරනවා. අපේ හැම වියදමක්ම අපිමයි දරාගත්තෙ. එතැනදි පවුලේ අය මට ගොඩක් උදවු කළා.

 

 

ඡායාරූප - තිලක් පෙරේරා

Comments