ගොඩක් අය අහනවා මේච්චරකල් කොහෙද හිටියේ කියල | සිළුමිණ

ගොඩක් අය අහනවා මේච්චරකල් කොහෙද හිටියේ කියල

2008 වර්ෂයේ පුංචි රියැලිටි තරු බිහි වූ දෙරණ ලිට්ල්ස්ටාර් හී ආරම්භක ජනප්‍රිය ම හා දක්ෂතම තරුව කාටත් මතකයි තවම. අවුරුදු පහේදී මයික්‍රෆෝනය අතට අරගෙන සප්තස්වර හරි තාලයට ගැයු ඔහු හිමාෂ මනුප්‍රිය. ලංකාවම කතා කළ ඒ පුංචි කොල්ලා දැන් ඉලන්දාරියෙක්. අමතක වෙලා ගිය මතක එක්ක ආයෙමත් ඔහු ගැන කතා කරන්න පටන් අරගෙන.

ප්‍රවීණ ගායක අමරදේවයන්ගේ තන්හා ආශා ගීතය ගායනා කරමින් සුවහසක් හිත් දිනාගත් රියැලිටිකරණ වෙනස් කළ හිමාෂට දැන් මොකද හිතෙන්නේ කියලම අපි කතාබහ පටන් ගමු..?

ඇත්තටම දෙරණ ලිට්ල්ස්ටාර් තරගයට මාව ඉදිරිපත් කරන්න නෙමෙයි ඉදලා තියෙන්නේ අයියව ඉදිරිපත් කරන්න. එහෙම ඉන්නකොට අම්මා තමයි තාත්තාට කියලා තියෙන්නේ “අපි චුටි පුතාව යවමු“ කියලා. ඒ විදිහට තමයි මාව ලිට්ල්ස්ටාර් එකට යොමු කරන්නේ. එදා මුලින්ම කිව්වේ පණ්ඩිත් අමරදේව සර්ගේ තන්හා ආශා ගීතය. ඒක කියලා ඉවර වෙද්දී මට තේරුණා ජජ් බෝඩ් එක ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒ සින්දුවේ කොටස් නිතරම විකාශය වුණා. ඒ විදිහට ටික ටික මම ජනතාව අතරට ගියා. ඒක අහඹු සිදු වීමකින් වුණු දෙයක්. ඒ අතීතය මතක් වෙද්දී අදත් හරි සතුටුයි.

වයස අවුරුදු 20ක තරුණයෙක් , එදා වැඩිහිටි පරම්පරාව ආදරේ කරපු හිමාෂට දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ..?

ලිට්ල්ස්ටාර් යද්දී මගේ වයස පහක් විතර. මම පෙර පාසල් යනවා. මැදි වියේ නැන්දලා මාමලා වගේම ආච්චිලා සීයලත් මට ආදරේ කළා ඒ කාලේ. අද වගේ 2008 වර්ෂයේ ෆේස්බුක් යූටියුබ් හෝ අනෙකුත් ෂෝෂල් මිඩියා ලොකුවට තිබ්බේ නැහැ . ඒත් මාත් එක්ක ෆොටෝස් ගත්තා මතකයි. මගෙත් එක්ක කතාබහ කළා. අදත් මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. නමුත් ඒ කාලෙට සාපේක්ෂව අඩුයි. ඒකට හේතුව මගේ හැඩ රුව වෙනස් වීම වෙන්න පුළුවන්. මාව අඳුනගෙන කතා කරන පිරිස අඩුයි. මම පසුකාලීනව කරපු ගීත එතරම් ජනප්‍රිය වුණෙත් නැහැ.

මෙච්චර කාලයක් හැංගිලා හිටියේ ඇයි, අලුත් නිර්මාණ කරන්න ඕන කියලා හිතන්නේ නැද්ද ..?

මම උසස් පෙළ කළා මේ අවුරුද්දේ ඒ වැඩ එක්ක තමයි මගේ කාලේ ගෙවුණේ. නමුත් මගේ යූටියුබ් චැනල් එකේ මගේ ගීත වගේම මමයි අයියයි කියන ගීතත් තියෙනවා . මහන්සි වෙලා කරපු අලුත් ගීතත් තියෙනවා. නමුත් ඒවා හිතපු තරම්ම ජනතාව අතරට ගියේ නැහැ කියලා නිහතමානී ව කියන්න ඕන. දැන් ආයෙමත් ගීත ටිකක් කරලා මාව මතක් කරලා දෙන්න හිතාගෙන ඉන්නවා. මගේ පුංචි කාලේට ආදරේ කරපු රසිකයින්ට. ගොඩක් අය අහනවා මෙච්චර කල් කොහෙද හිටියේ කියලා . ඒ නිසා දැන් ගීත කරන්න කාලේ හරි කියලා හිතනවා.

හිමාෂව තරුවක් කරන හීනේ හිටියේ තාත්තා නේද .?

තාත්තා නිසා තමයි මමත් අයියත් සංගීත ගමනේ යම් තැනක ඉන්නවා නම් ඉන්නේ. ඒ වගේම අම්මත් අපිට හයියක් වුණා . ඒ දෙන්නට මම ස්තූතිවන්ත වෙනවා. අයියා පොඩි කාලේ නිදි කරලා තියෙන්නේ හින්දි සින්දු දාලා. රාගධාරි සංගීතය වගේ. මම පොඩි කාලේ මට අහන්න දීලා තියෙන්නේ වෙස්ටන් පැත්තට බර සින්දු. ඒ කාලේ අම්මා තාත්තා දුන්නු පන්නරය එක්ක තමයි අපි දෙන්නා සංගීතය කරන්නේ. අපි දෙන්නත් පුංචි කාලේ ඉදලා හරි ආසයි සංගීතයට. වෙන දේවල් කරන්න හිත යොමු කළේ නැහැ .

තාත්තා දවසට පැය කීයක් සංගීතය පුහුණු කරනවද..?

තරගයට හිටිය කාලේ දවසට පැය හතරක් පුහුණු කළා. තරග ජයග්‍රහණයට තාත්තා අපට දුන්නු පුහුණුව උපකාරි වෙන්න ඇති. ඊට පස්සේත් සංගීතය කරනවා නම් ප්‍රැක්ටිස් කරන්න ඕන කියන එක ඔළුවට කාවැද්දුවා. එළියට යන්නේ නැති හැම දවසක්ම මම ප්‍රැක්ටිස් කරනවා. ඒක ජීවිතේ කොටසක් වෙලා. තාත්තත් තවම ප්‍රැක්ටිස් කරනවා. අපේ ගෙදර තුන්දෙනෙක් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ දවසම ගෙදර සංගීත හඩ තමයි. මම නම් පාන්දර තුන හතරටත් ප්‍රැක්ටිස් කරන දවස් තියෙනවා .

පුංචි කාලේ හිතුණේ නැද්ද සංගීතයේ එල්ලිලා හිටපු නිසා ළමා කාලේ මගා හැරුණා කියලා ..?

තරග ජයග්‍රහණය එක්ක ඒ කාලේ මට ගොඩක් සංගීත ප්‍රසංග වලට සම්බන්ධ වෙන්න ආරාධනා ආවා. විදෙස් සංචාර වලටත් සහභාගි වුණා. මේ වෙද්දී රටවල් 25ක විතර සංචාරය කරලා තියෙනවා. අනිත් ළමයින්ට සාපේක්ෂව බලද්දී මගේ මානසික මට්ටම තිබ්බේ වෙනම තැනක. ඒ හැම තැනකදිම අම්මයි තාත්තායි මට හයියක් වුණා. ඒත් මම තනියම හිතින් දුක් වුණු අවස්ථා තියෙනවා. එක සිංහල අවුරුද්දක මම තාත්තා එක්ක ප්‍රසංගයකට පිටරට හිටියේ. මට ඕන වුණේ අවුරුදු දවසේ ගෙදර අය එක්ක එකට ඉන්න. එදා මම ඇස්වල කඳුළු පුරෝගෙන ඉද්දී තාත්තා මගෙන් ඇහුවා මොනාද කල්පනා කරන්නේ කියලා. මම අඬනවා තාත්තා දැක්කේ නැහැ. මම මොකුත් නැහැ කියලා ශේප් වුණා. සමහර දවස් තිබ්බා රෑ ෂෝ වලට ගිහින් ඇවිත් උදේ ඉස්කෝලේ ගිය. හෝම් වර්ක් කරන්න බැරුව ඉස්කෝලේ ගිහිං ගුරුවරුන්ගෙන් ගුටි කාලා බැණුම් අහලා තියෙනවා. ඒ වගේ ගමන් ආවා. සංගීතය වගේම අධ්‍යාපනයත් කරගත්තා අම්මා තාත්තා නිසා . ළමා කාලේ මග ඇරුනා කියලා දුකක් නැහැ. මගෙ සින්දු අහලා මට ආදරේ කරන අය ගොඩක් සතුටු වෙනවා මම දැක්ක නිසා.

ඔබ ජනප්‍රිය සැක්සෆෝන් වදකයෙකුගේ පුතෙක්. තාත්තා වගේම ඔබේ අතටත් සැක්සෆෝනය හුරු ඇති..?

මට වයස 13ක් වගේ තියෙද්දි තමයි මම හිතුවේ තාත්තා වගේ සැක්සෆෝනය වාදනය කරනවා කියලා. මුල් අඩිතාලම තාත්තා දාලා දුන්නා. ලෝක ප්‍රකට ගායක කෙනජිගේ සින්දු මම සෑහෙන්න අහනවා. ඉස්සර මම සැක්සෆෝනය අතට ගන්නවට ගෙදර අය කැමති නැහැ සද්දෙට ප්ලේ කරන නිසා. පස්සේ සද්දෙත් හදා ගත්තා. මට දැන් එය වාදනය කරන්න පුළුවන්.

දැන් රැකියාව සංගීතයද, එහෙම නැත්තම් වෙනත් මාවතක් තෝරා ගත්තද..?

ඔව්. සංගීත නිර්මාණ කටයුතු කරනවා. මම තනු නිර්මාණය කරනවා. උසස් පෙළ කළා විතරයි. සංගීත ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. මම අයියා තාත්තා එක්ක එකතු වෙලා බෑන්ඩ් එකක් පටන් ගත්තා. ආයෙත් ඉල්ලුමක් එන විදිහට වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.

තාත්තා නැත්තම් අද හිමාෂ කියලා ගායකයෙක් නැතුව ඇති, එහෙම ද,..?

මම වගේම අයියත් සංගීතය තුළ දකින්න නැහැ තාත්තා නොහිටියා නම්. අම්මා තිරය පිටි පස්සේ ඉදලා දක්වන සහයත් අපිට මේ ගමන යන්න හයියක් වුණා. ඔවුන් නැත්නම් හිමාෂ කියලා ගායකයෙක් අද නැහැ.

Comments