ඒ හඬ ද නිහඬ විය | සිළුමිණ

ඒ හඬ ද නිහඬ විය

 

කලාවේ විවිධ පැතිකඩ ස්පර්ශ කරමින් ඒ ඔස්සේ ලාංකීය කලා සහෘද හදවත් ආමන්ත්‍රණය කළ ඔහු ආදරණිය දෙමාපිය යුවළට දාව පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් දරුවා විය. මව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වින්නඹු මාතාවක් වූ නිසා වරින්වර දිවයිනේ විවිධ පළාත්වල පදිංචිය මාරු කරමින් පාසල් 10කට පමණ ගිය අතර, අවසානයට අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයෙනි.

ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් හඬකැවීම් ශිල්පියෙකු ලෙස ප්‍රකට වු ඔහු මාධ්‍යය ක්ෂේත්‍රයට පැමිණියේ 1978 දී ගුවන් විදුලි සංස්ථාවේ සහහ තාක්ෂණ පරිපාලන ශිල්පියෙකු ලෙසිනි.

එකල ගුවන් විදුලියේ ප්‍රවීණයකු වූ කරුණාරත්න අබේසේකර වැනි දැවැන්ත ශිල්පීන් සමඟ වැඩ කරන්නට අවස්ථාව ලද ඔහුට ගුවන් විදුලි නාට්‍ය කලාවේ ප්‍රවීණයෙකු වීමට මඟ පෑදුණ ආකාරය ගැන මින් පෙර කියා තිබුණි. එනම්, තමා නොසිතූ මොහොතක දයා ද අල්විස්ගේ කාන්තා වැඩසටහනක් වූ ලාලන රේඛාවෙ නාට්‍යයක හඬකැවීම් ශිල්පියෙකු වීමට අවස්ථාව ලැබුණ බවත් එතැන් සිට තමාට ලැබුණ ඇගයීම් සමඟ නාට්‍ය ශිල්පියෙකු බවට පත්වූ බවත්ය.

ඉන් අනතුරුව වැඩසටහන් නිෂ්පාදකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, නිවේදකයෙකු, බාහිර විස්තර විචාරකයෙකු ආදී ලෙස විවිධ භූමිකා ගුවන් විදුලියේදී සිදු කළ ඔහු 1994 දී සිරස එෆ් එම් ගුවන් විදුලි නාළිකාව ආරම්භයේදීම ඊට සම්බන්ධ විය. එහි වැඩසටහන් නිෂ්පාදකයෙකු, ඉදිරිපත් කරන්නෙකු හා හඬ කැවීම් ශිල්පියෙකු ලෙස මහත් කාර්යභාරයක් ඉටු කරන්නට සමත් විය.

මැක්ස් නාළිකාව ආරම්භ කළ කාලයේ එහිද සේවය කළ ලාල් සරත් කුමාර ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙස සහ ටෙලිනාට්‍ය නළුවෙකු ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු දක්ෂ හඬ කැවීම් ශිල්පියෙකු ද විය.

1978 දී ගුවන් විදුලි සංස්ථාවේ සහන තාක්ෂණ පරිපාලන ශිල්පියෙකු ලෙස රැකියාව අරඹන සමයේදී ම ගුවන් විදුලි සංස්ථාවේ සේවයට එක් වූ කුසුම් සමඟ අතිනත ගත් ලාල් සරත් කුමාරට දියණියන් දෙදෙනෙක් සිටි.

මාධ්‍යවේදියෙකු සතු වගකීම් සහගත බව මැනවින් ඉටු කළ ලාල් සරත් කුමාර මෑත කාලීනව හඬ කැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය. එදා මෙදා තුර ඔහු සතු දැනුම ලබා ගත් පරම්පරාව මෙතකැයි කිව නොහැක. ගුවන් විදුලි නාට්‍ය කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ලාල් නාට්‍ය හඬ කැවිම් වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබ තිබේ.

වසර ගණනාවක් කට හඬින් රටක් හැඩ කළ මෙම අපූරු මිනිසා පළමු වනදා ජිවන ගමනින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැටනවයකි.

 

Comments