
තාරුණ්‍යයේ ජවයත්, දේහධාරී කඩවසම් පෙනුමකටත් හිමිකම් කියන මේ යෞවනයා කලෙක මල්ලව පොර ශූරී රන් පදක්කම් ලාභියෙක්. ශ්‍රී ලංකා යුද හමුදා මල්ලව පොර සංචිතය නියෝජනය කළ ඔහු ක්‍රීඩකයෙකු පමණක් නොව නිවේදකයෙකු, හඬ කැවීම් ශිල්පියෙකු ලෙසත් දස්කම් දක්වනවා. වර්තමානයේ නම් වඩාත් ජනප්‍රිය වන්නේ රංගන ශිල්පියෙකු විදියට. ඔහු පසිඳු සිංහාරගේ. පුංචි තිරයෙන් රසික ප්‍රසාදය දිනූවෙක්.
ඔබ ඔබව හඳුන්වා දීමට කැමති කොහොමද?
පසිඳු සිංහාරගේ කියන්නෙ මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන අහිංසක චරිතයක්. හැබැයි අයුක්තිය, අසාධාරණය, දකින විට නිහඬව නොසිට එයට විරුද්ධව සටන් කරන නායකයෙක්. සැහැල්ලුව, විනෝදයට ගොඩාක් කැමතියි වගේම හැමෝම එක්ක එකමුතුව ඉන්න උත්සාහ කරන සමාජය දිහා සුබවාදීව බලන කෙනෙක්.
ඒ වගේම අරමුණක් වෙනුවෙන් උත්සාහයෙන් , අධිෂ්ඨානයෙන් වැඩ කරලා ජයග්‍රහණය කරා ගමන් කරන කෙනෙක්. අද මාව මෙතැනට රැගෙන ඇවිත් තියෙන්නෙත් ඒ කැපකිරීම්වල ප්‍රතිඵලය විසින්මයි.
රංගන ක්ෂේත්‍රයම තෝරා ගන්න හිතුවෙ ඇයි?
නළුවෙක් වෙන්න ඕන කියල කිසිම ආශාවක් හීනයක් මට තිබුණෙ නෑ. හැමදේම සිදු වුණේ අහම්බයකින් කීවොත් හරි. 2018 වෙද්දි මම සේවය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවෙ. එහි මල්ලව පොර සංචිතයෙ සාමාජිකයෙකුව සිටියා. මට වාසනාව ලැබුණා ජාතික ආධුනික මල්ලව පොර ශූරතා තරගාවලියෙ රන් පදක්කමක් දිනා ගන්න. ඒ විදියට ක්‍රීඩාව තුළින් මම මගේ රන් සලකුණ තැබුවා.
ඔය කාලයේ දී දවසක් මම ටෙලි නාට්‍ය රූගත කිරීමක් බලන්න ගියා. ඒ ගියෙ හිතේ තිබුණු ආසාවකට. නමුත් ඒ ගමන කෙළවර වුණේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීමෙන්. අන්තිමට මම යුද හමුදාවට ආයුබෝවන් කියල ස්ථිර රංගනයට එකතු වෙනවා හිතාමතාම. රංගන ශිල්පියෙකු වන අරමුණින් සැලසුම් සහගතව වැඩ කළේ නැහැ. නමුත් දැන් වැඩියෙන්ම කැමති රංගනයට . රංගන ශිල්පියෙකු නොවුනා නම් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි ක්‍රීඩකයෙකු වෙනවා.
ඔබව මේ වන විට සමාජය හඳුනාගෙන තියෙන්නෙ කොහොම ඳ?
සමාජය බොහෝ වෙලාවට පිටස්තර පුද්ගලයෙකු මනින්නෙ පිටතින් පේන ස්වරුපය මත. ඇත්තම කියනව නම් සමාජය මාව දකින්නෙ නපුරු රෞද්‍ර විදියට. ඒකට හේතුව නිතරම නපුරු රෞද්‍ර චරිත රඟපෑම. ඒත් මම සැබෑ ජීවිතයෙ දී පොඩ්ඩක්වත් නපුරු නෑ. අදාළ චරිතය සඳහා පමණක් ඒ විදියට පෙනී ඉන්නවා. චරිතය සාර්ථකව නිරූපණය වන නිසා තමා ප්‍රේක්ෂකයින්ට මාව ඒ විදියට පේනව ඇත්තෙ.
ආදරය, විවාහය , ජීවිතය මේ සියල්ල කළමනාකරණය කර නොගත්තොත් ජීවත් වෙන්න අමාරුයි නේද?
ආදරය අපට පුංචි කාලෙ දෙමාපියන්ගෙන්, ගුරුවරු හා වැඩිහිටියන් ගෙනුත් ලැබෙනවා. පසුව අපේ ජීවිතයට යොවුන් ආදරය පැමිණෙනවා. මාත් ඒ වගේ. මට ඇය මුණ ගැහෙන්නෙ නිසි වයසෙදි. පසුව අපි ආදරේ කරනවා. අවුරුදු හතක් ආදරේ කරලයි අපි විවාහ වෙන්නෙ. අනිත් එක තමා ප්‍රථම ප්‍රේමය විවාහයකින් තෙළවර කර ගන්න තරම් අපි වාසනාවන්ත වෙනවා. මේ වෙද්දි අපේ ආදරයට වසර දහයක් ගත වෙලා.
ඇය මා තේරුම් ගත් හොඳම බිරිඳක්. අපට පුළුවන් වෙලා තියනවා, දුක සතුට හැම දේම එකම විදියට දරා ගන්න. ඒ නිසා අපේ ජීවිතයට හොඳ පදනමක් තියනව කියල මට විශ්වාසයි. සතුටින් ජීවත් වීම තමා අපේ ආදරණීය කදැල්ලෙ රහස. ප්‍රශ්න, ගැටලු නම් නැතුවාම නොවෙයි. දහසකුත් ආර්ථික දුෂ්කරතා තියන කාලයක් මේක. නමුත් අපි එක පවුලක් විදියට එකතු වෙලා අපේ විසඳගන්න බලනවා. අපට පුංචි දුවෙක් ඉන්නවා. මගේ බිරිඳ ප්‍රබෝධි සෞම්‍යා ජයසූරිය. දුව පසිඳි පහන්යා. එයාලා තමා මගෙ ජීවිතය.
මේ වන තුරු ඉටුකර ගත නොහැකි වූ සැබෑ නොවූ හීන තියනවද?
සැබෑ නොවූ හීන නම් ගොඩක් නෑ. හැබැයි පුංචි කාලෙ ආසාවක් තිබුණා පොලිස් නිලධාරියෙකු වෙන්න. සමාජයෙ පීඩාවට , අසාධාරණයට ලක්වූ අයට සහනයක් වෙන්න. උප පොලිස් පරීක්ෂකයෙකු විදියට පොලිසියට බැඳෙන්න තුන් පාරක් උත්සාහ කළා. සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුණා. ඒත් ඒ ආසාව ඉෂ්ට කර ගන්න බැරි වුණා. තව පොඩි පොඩි ආසාවල් තිබ්බා, විද්‍යාඥයෙකු වෙන්න, බස් රියදුරෙක් වෙන්න වගේ ඒවා. නමුත් අවසානෙ හීනයක් නොවූ තැනකට හිත බැඳිලා එතැන නතර වුණා.
ඔබේ ගමන එන්න අත හිත දුන්නු , මඟ පෙන්වූ අය කවුද?
මම මේ වෙද්දි ටෙලි නාට්‍ය 39කට හා චිත්‍රපට 04 කට දායකත්වය ලබා දී තියෙනවා. මේ හැම නිර්මාණයකම අධ්‍යක්ෂවරයාගෙ ඉඳල ටී බෝයි වගේම කැමරාකරණය , වේශ නිරූපණය ආදී නාට්‍යයට සම්බන්ධ වෙන සියළු දෙනා ලබා දෙන සහයෝගය හරිම ඉහළයි.
නාට්‍යය කොතරම් ප්‍රමාණයක් රඟපාලා තිබුණත් අලුතින් සම්බන්ධ වන සෑම නාට්‍යයක්ම මට අලුත් එකක්. නාට්‍යයේ සියලුම සාමාජිකයින් මට ලබා දෙන උපදෙස්, මඟපෙන්වීම මම ආදරයෙන් බාර ගන්නවා. ඒක මගෙ ගමනට ලොකු හයියක්. විශාල පිරිසක් ඉන්නව ස්තුති කළ යුතු. ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අයියා, නඳුන් අයියා, සහාය අධ්‍යක්ෂ ප්‍රගීත් අයියා වගේම අධ්‍යක්ෂ සමන් ක්‍රමාරගේ අයියා ආදරෙන් මතක් කරනවා.
මගෙ තාත්තාගේත්, බිරිඳගෙ වගේම පවුලේ අයගෙ මඟ පෙන්වීමත් රසික ප්‍රතිචාරත් මට ගුරුවරයෙකු වගේ සහයෝගය ලබා දෙන අවස්ථා තියනවා.
ආදරය කරපු කෙනාම විවාහයට ලැබුණු නිසා ජීවිතේ සුන්දරව ගෙවෙනවද?
ආදරය නිසා තමා ජීවිතය සුන්දර වෙලා තියෙන්නෙ. ඔව්, ආදරය කරපු කෙනා විවාහයට හිමිවීම වාසනාවක්. අප දෙදෙනා අහම්බයෙන් මුණ ගැසුණු දෙන්නෙක්. 2020 දී අපි විවාහ වුණා. ඒ මගෙ උපන්දිනය යෙදුණු ජූලි 14 වෙනිදා. උපන් දිනයත් විවාහ සංවත්සරයත් එකම සැමරුමක්. දුක් කරදර ජීවිතයට ආවා කියල අපේ ආදරේ අඩුවක් නම් වෙලා නෑ.
මම මගේ අම්මට ගොඩක් ආරේ කරන කෙනෙක්. මගෙ අම්මාට පස්සෙ මම වැඩියෙන්ම ගරු කරන්නෙ මගෙ බිරිඳට. ඇය වෙලාවකට මවක්, සහෝදරියක්, මිතුරියක්. මට තරවටු කරල උපදෙස් දෙන වෙලාවලුත් තියනවා. මගෙ අතපසුවීම් , අඩුපාඩු හදාගන්න නිසි මඟ පෙන්වීමත් සහයෝගයත් ලබා දෙන්නෙ ඇය. මේක හැමෝටම හුඟක් අමාරු කාලයක්. අපට හැමදාම ටෙලි ඩ්‍රාමා වැඩ නෑ. ඒ වගේ කාලයට රට කජු, කැකිරි, මෑ කරල් වගේ ගොවිතැන් වැඩ කරනවා. මේ හැම දෙයක්ම මා සමඟ සම සිතින් දරාගෙන ඉන්නෙ මගෙ බිරිඳ. පෙර සසරේ කළ පිනක් නිසා තමා මට ඇයව ලැබී තියෙන්නෙ.
ආ මඟ පිළිබඳව හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නෙ?.
මේ වෙද්දි මම ක්ෂේත්‍රය තුළ ගොඩනඟා ගත් දේ පිළිබඳව සතුටක් තියනවා. සල්ලි වලට වඩා මිනිස්සු හම්බ කරළ තියනවා. පුංචි ළමයෙකුට දෙන සමරු සටහනක ඉඳල මඟ තොටේ දී මාව හඳුනා ගන්න ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අලුත් බලාපොරොත්තුවක් ජීවිතේට එකතු කරනවා. යුද හමුදාවෙ හිටිය නම් ජාත්‍යන්තර තරඟ ජය ගත් ක්‍රීඩකයෙක් වෙයි. නමුත් කලාකරුවෙකු ලෙස මා ලබන සතුටට එය සමාන කළ නොහැකියි.
මේ වසර හතර පුරා මම බොහෝ කැප කිරීම් කළා. ගොඩක් දුක් වින්දා. දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස මගේ හැකියාවන් උපරිමයෙන් පෙන්වීම මගෙ එකම අරමුණ. සැලෙනා නුවන් , සංසාරිනී, චණ්ඩි කුමාරිහාමි, සහ සන්තෑසි ලන් තෑරුම නාට්‍ය සමඟ මේ දිනවල පුංචි තිරයෙන් මා දැක ගන්නක පුළුවන්.