වසර 150ක් පිරෙද්දී පානදුරාවාදය රිදී තිරයට | සිළුමිණ

වසර 150ක් පිරෙද්දී පානදුරාවාදය රිදී තිරයට

සිංහල බෞද්ධකමට එරෙහිව නැඟී සිටි අබෞද්ධ මෙන්ම විජාතික බලවේග හමුවේ නැඟී සිටි භික්ෂූන් වහන්සේලා ගැන ඉතිහාසයේ ලියැවුණු අවස්ථා ඕනෑ තරම්ය. මතවාදීව එවන් බලවේග පරාජය කළ අවස්ථා ඒ අතරින් සුවිශේෂීය. උදන්විට වාදය, බද්දේගම වාදය, ගමපල වාදය, පානදුරාවාදය සහ ඌරුගොඩවත්තේ වාදය ලෙස පැවැත්වුණු පංච මහා වාදයන් ඒ අතරින් කැපී පෙනුණි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් 1873 අගෝස්තු මස පැවැති පානදුරාවාදය බෞද්ධ ජනතාවට සුවිශේෂී වාදයක් ලෙස ඉතිහාසගත විය. 2023 වසරට පානදුරාවාදය සිදුවී වසර 150ක් සපිරේ. ඒ සඳහා නායකත්වය ලබාදුන් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ 200 වැනි ජන්මදිනය යෙදී තිබෙන්නේ ද 2023 වසරේදීය.

මෙම සුවිශේෂී කරුණු දෙකම පාදක කරගෙන පානදුරාවාදය, සිනමා පටයක් ලෙස රිදී තිරයට ගෙන ඒමට සිසිල් ගුණසේකර ගත් උත්සාහය අගය කළ යුතුය. එහි තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා ද ඔහුය. නිෂ්පාදනයෙන් කෝසල ගමගේ, සංගීත සංයෝජනයෙන් නිලන්තසිරි පතිරණ සහ කැමරාකරණයෙන් කපිල සුගත් මේ සඳහා දායකත්වය ලබා දී ඇත. ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ, විජේරත්න වරකාගොඩ, දයා තෙන්නකෝන්, සංජය වික්‍රමසිංහ, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා, විමලිද්‍රා කුමාරි, වසන්ත විට්ටච්චි, සෝමවීර ගමගේ, ආනන්ද වික්‍රමගේ, සුරංග රණවක, පී. බී. ගංගොඩතැන්න, රමණී සිරිවර්ධන ඇතුළු පිරිසේ රංගන දායකත්වයෙන් පානදුරාවාදය නුදුරේදීම මහජන ප්‍රදර්ශනය සඳහා නියමිතය.

පානදුරාවාදය සඳහා පාදක වී ඇත්තේ 1873 ජුනි මස 12 වැනිදා පානදුර බැස්ටියන් දේවස්ථානයේ ප්‍රධාන දේවගැති දාවිත් ද සිල්වා බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් වැරැදි ලෙස අර්ථකථනය කරමින් බුදු දහමට නොගැළපෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර තිබීමයි. එය බෞද්ධ පක්ෂය සහ ක්‍රිස්තියානී පක්ෂය අතර වාදයක් පැවැත්වීම දක්වා දුරදිග යෑමට හේතුවක් විය. 1873 අගෝස්තු මස 26 සහ 28 දෙදින ඒ සඳහා වෙන්වූයේ දෙපාර්ශ්වයේ ම කථිකාවකිනි. පානදුර ගල්කන්ද විහාරස්ථානය අසළ ඒ වෙනුවෙන්ම අලංකාරවත් සුවිශාල මඩුවක් ඉදිවිය. බෞද්ධ පාර්ශ්වය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් ද ඇන්ග්ලිකන් පාර්ශ්වය දාවිත් ද සිල්වා පාදිලිතුමාගේ නායකත්වයෙන් ද මෙහෙයවුණු අතර මෙය ඉතාම සාමකාමී වාදයක් ලෙස පැවැතුණු බව ද සඳහන් වේ.

ඇන්ග්ලිකන් පාර්ශ්වය විසින් බෞද්ධාගමට එරෙහිව නඟා තිබූ සියලු දුර්මත ඉතා ශූර අයුරින් තර්කානුකූලව බිඳ දැමූ ගුණානන්ද හිමියන් බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳ මනාව පැහැදිලි කරමින් සාමකාමී වාදයක් පැවැත්වීමට කටයුතු කර ඇත. විරුද්ධ පාර්ශ්වය නැඟූ ප්‍රතිතර්කවලට ද ශූර ලෙස පිළිතුරු දෙමින් සිය නායකත්වය යටතේ බෞද්ධ පාර්ශ්වය සාමකාමී ජයග්‍රහණයක් කරා ගෙන යෑමට සමත් වී ඇත.

වාදය අවසන් වීමත් සමඟින් බෞද්ධ පක්ෂයේ ජයත්, ගුණානන්ද හිමිගේ ශූර කථිකත්වයත් එහි පැවැති සාමකාමීත්වයත් අගය කරමින් විවිධ පුවත් පළවී ඇත. වාදය නැරඹීමට ගොස් සිටි සිලෝන් පුවත්පතේ කර්තෘ ජෝන් කූපර් මහතා, ළඟ සිටි නීතිඥ එඩ්වර්ඩ් පෙරේරා මහතා ලවා එය ඉංග්‍රීසියට පරිවර්තනය කරවාගෙන 1873 අගෝස්තු 31 වැනිදා සිලෝන් ටයිම්ස් පුවත්පතේ පළ කර ඇත. මෙරට මෙන්ම ඇමෙරිකාව වැනි විදෙස් රටවල ද පානදුරාවාදය ප්‍රචලිත වීම හේතුවෙන් ඕල්කොට්තුමා, බ්ලැවැස්කි මැතිනිය ආදීන් මෙරටට පැමිණ බුදු දහම වැලඳ ගත් බව ද සඳහන්ය.

ගුණානන්ද හිමියන් එදා පානදුරාවාදයේ දී එසවූ ධර්මචක්‍රය සහිත ධජය වත්මන් බෞද්ධ කොඩිය නිර්මාණය වීමට හේතුවක් වූ බව ද ඉතිහාසයේ සඳහන් වේ. එකල කුඩා දරුවෙක්ව සිටි අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගම හා දේශීය හැඟීම් පිබිදවීමට ද පානදුරාවාදය උත්තේජකයක් වූ බව ද කියැවේ.

පානදුරාවාදය යනු මෙරට බෞද්ධ සංස්කෘතිය කඩා වැටීම නවතා ලූ ප්‍රබලම සාධකය බවට අතීතය සාක්ෂි සපයයි. එවන් ඓතිහාසික සාක්ෂියකට නව ජීවයක් දෙමින් එහි තීර්ථකයාණන් වූ ගුණානන්ද හිමියන්ට ගෞරව කරනු වස් පානදුරාවාදයට නැවත පණ දෙන සිසිල් ගුණසේකරයන් මේ සිදු කරන්නේ ජාතික සේවයක් බවත් සඳහන් කළ යුතුය.

 

Comments