අත්හරින්න හේතු තියෙනවා නම් නවතිනවා කියන්නේ නොකළ යුතු දෙයක් | සිළුමිණ

අත්හරින්න හේතු තියෙනවා නම් නවතිනවා කියන්නේ නොකළ යුතු දෙයක්

ප්‍රේම සම්බන්ධවලදී ඇතිවෙන ගැටලු ගැන කතා කරද්දි බොහෝ අය කියන දෙයක් තමයි යන්න ඕන කෙනා එක හේතුවක් හොයාගෙන හරි දාලා යද්දී, ඉන්න ඕනේ කෙනා දාලා යන්න හේතු දාහක් තියෙද්දිත් එකම එක හේතුවක් හොයාගෙන හරි ඉන්නවා කියන එක.

ඇත්තටම දාලා යන්න හේතු දහසක් තියන තැනක රැඳෙන්න එකම එක හේතුවක් ඇති කියලා ඔබ විශ්වාස කරනවද?

ආසියාතික මිනිස්සු ආදරේ කියල කියන්නෙ හිර වීමකට. එහෙමත් නැත්තම් කොටු වීමකට. කෙටියෙන්ම කිවුවොත් හොටු පෙර පෙර අඬ අඬ හැමදේම දරා ගැනීමට. 

වර්තමානයේ බොහෝ පෙම්කතා තනිකරම දණ්ඩ නීති සංග්‍රහයක්. තමන් කැමති ඇඳුම අඳින්න බැහැ. කැමති තැනක යන්න බැහැ. එකිනෙකාගෙ සිතුවිලිවලට හැඟීම්වලට ගරු කිරීමක් නැහැ. කොටින්ම ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා දෙන්නා එකිනෙකාව රාමුවක හිර කරලා පාලනය කරනවා. හේතුව මොනදේ වුණත් එයා මට ආදරෙයිනෙ. මේ හැමදේම කියන්නෙ ආදරේටනේ කියලා අනිත් කෙනා වෙනුවෙන් තමන්ව කැප කරලා රූකඩයක් වෙලා නැටවෙනවා. ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම මේක වෙනවා .

එයා මම ඩාන්සින් කරනවට කැමති නැහැ. ඒ නිසා මම ඩාන්සින් කරන එක නැවැත්තුවා. මම රස්සාවක් කරන්න මාර ආසයි. ඒත් එයා එපා කියපු නිසා ගෙදර නැවතුණා. එයා කතා කරන වෙලාවක මොබයිල් එක එන්ගේජ් වෙලා තිබ්බොත් එයාට යකා නගිනවා ඊට පස්සේ දවස් ගාණක් රණ්ඩු වෙනවා. කොටින්ම මම ස්ලීව්ලස් ඇඳුමක් අඳිනවටවත් අයියා කැමති නැහැ. ෆේස්බුක්, ඉන්ස්ට්‍රා ඕවාට මම කොච්චර ආස වුණත් එයා කියන්නේ ගෑනු ළමයි ඕවා කරන්න ඕනෙ නැහැ කියලා.

ඔන්න ඕක තමයි බොහෝ ප්‍රේම කතාවල යථා තත්ත්වය .

තමන්ට තමන්වත් නැති කරගෙන වෙන කෙනෙක්ගෙ හදවතක ඉඩ හොයන ඔහොම ගැහැනු ළමයි විතරක් නෙමෙයි පිරිමි ළමයිනුත් ඕන තරම් ඉන්නවා .

මේ ලෝකේ 100% සර්ව සම්පූර්ණ ගැළපීම් සහිත සම්බන්ධතා නැහැ කියලා උපකල්පනය කරමුකො. එහෙම වෙලාවට “Something is better than Nothing“ කියල අහුවෙන තැනකට මූට්ටු වෙන එක හරියට ගින්දරට ආස වෙලා ඇඟට ගිනි තියාගන්නවා වගේ වැඩක්. රැල්ල ලස්සනයි කියලා මුහුදට පනිනවා වගේ වැඩක්. ඔය දෙකෙන්ම වෙන්නෙ විනාශයක්. නැත්තටම නැති වීමක් විතරයි.

ප්‍රේමය කියන්නෙ දැනීමක්. ඒ දැනීම අපිට පහසුවක් වෙන්න ඕන. හැමදේම නොගැළපුනාට කමක් නැහැ. හැබැයි ගැලපෙන ප්‍රමාණය නොගැළපෙන ප්‍රමාණයට වඩා වැඩි වෙන්න ඕනේ. අන්න ඒකයි වැදගත්

80 % ගැළපෙන තැනක නොගැළපෙන 20 % කොහොමහරි හිත හදාගෙන කැප කළා කියමුකෝ. ඒත් 20% ගැළපෙන හිතක් වෙනුවෙන් 80% කැපකරනවා කියන්නේ තමන් විසින්ම තමන්ව අහිමි කර ගැනීමක්. එහෙම අසීමිත කැපකිරීම් බොහොමයක් අවසානය බොහෝවිට මානසික රෝහලක ඇඳක හෝ මනෝ ව්‍යාධියක මුල් අවධියක වෙන්න තියන ඉඩකඩ වැඩියි .

තාවකාලික බැඳීම් මොන තරම් රසවත් වුණත්, අපි ඒවට ඉතා තදින් ඇබ්බැහි වුණත් මම ඔයාට මගෙ පණටත් වඩා ආදරෙයි කියලා වචනවලින් කිවුවත් අපි කවුරුත් වැඩියෙන්ම ආදරේ කරන්නෙ තමන්ට.

දරුවො, බිරිඳ, සැමියා, පෙම්වතා මේ හැමෝම ඉන්නෙ තමන්ට පස්සෙන්. තමන්ට තියන ආදරයේ පරිමාණය වැඩි වෙන්න වැඩිවෙන්න තමන්ට ආදරේ ලැබෙන සහ තමන් ආදරේ කරන අයට තියන බැඳීම තදට දැනෙන්න පටන් ගන්නවා.

ඇත්තම කිවුවොත්, ප්‍රේමය වෙනුවෙන් තමන්ට තමන්ව නැති කරගැනීම තේරුමක් තියනවද ? 

ප්‍රේමය තුළ විඳවීම් තියන බව ඇත්ත. ප්‍රේමය වෙනුවෙන් කැපවීම් කළ යුතුව ඇත. ප්‍රේමය තුළ දරා ගැනීම තිබිය යුතුමය. ප්‍රේමය නිසා ඇසට කඳුළු පිරෙනු ඇත, ප්‍රේමය නිදි වර්ජිතය , සමහර විටෙක ප්‍රේමය වෙනුවෙන් හූල්ලන්නට ද විය හැකිය.

නමුත් විඳවීම්වලට වඩා විඳීම් තියන තැනකදී විඳවූවට කම් නැත. කැපවීමේ අගය තේරුම් ගත හැකි හිතක් වෙනුවෙන් කැප වුවාට කමක් නැත. තමාව දවසෙම හිනස්සන කෙනෙක් වෙනුවෙන් ඉඳ හිටක හැඬුවාට කමක් නැත. තමා වෙනුවෙන් සිහින බලන කෙනෙකු ගැන නිදි වර්ජිතව කල්පනා කලාට කමක් නැත. දැනෙන්න ආදරේ කරන තමන්ගෙ නියම වටිනාකම දන්නා ආත්මීය ප්‍රේමයක් වෙනුවෙන් එවැනි කැපකිරීම් සිදු කළාට වරදක් නැහැ. හැබැයි ඔබ මේ සියලු කැපකිරීම් කරන්නේ මේ කිසිවක්ම නැති, දුක, වේදනාව, කලකිරීම, අහිමි කරවීම් පමණක්ම තියන තැනක නම් ඒ ඔබ විසින් ඔබටම කරගන්නා අසාදාරණයක් මිස වෙන කිසිවක් නම් නොවේ .

ප්‍රේමය ගනුදෙනුවක් නෙමෙයි කියන එක ඇත්ත.

ඒත් ප්‍රේමය නැති තැනකට බලෙන් ප්‍රේමය අලවගෙන රැඳෙන්න හේතු හොයන එක, මාළු පාන්වල මාළු හොයනවා වගේ දෙලොවටම නැති හිස් වැඩක් නෙමෙයිද?

ඇපල් ගෙඩියම පණුවෝ ගහලා තියෙද්දී නැට්ට හරිය හොඳයි කියලා ගෙඩිය පිටින් බදාගත්තම වෙන්නෙ තමනුත් කුණු වෙලා යන එක විතරයි ...

සමස්තයක් විදිහට නොගැළපෙන තැනක් ඇබින්දක් ගළපගෙන වේදනාබරිත බැඳීම්වල හිර වෙනවට වඩා ඒ ගැළපෙන පොඩ්ඩත් අමතක කරලා නිදහස් වෙන එක මොන තරම් සැනසීමක්ද කියලා නිවැරදිව ඔබට තේරෙනකොට සමහරවිට ඔබ පරක්කු වැඩි වෙන්න පුළුවන් ,

ඔන්න ඔතැනදි තමයි හැඟීම් පැත්තකින් තියල බුද්ධියෙන් තීරණ ගන්න ඕනේ. ප්‍රේමය නෙමෙයි ජීවිතයේ මොන තීරණයෙදි වුණත් තමන්ට තමන්ව අහිමි වෙනවා නම් ලැබීම්වලට වඩා අහිමි වීම්වල ප්‍රතිශතය වැඩියි නම්, සතුටෙන් ඉන්න පුළුවන් දවස් ගාණට වඩා දුකෙන් ඉන්න වෙන දවස් ගණන වැඩියි නම්, ඒ තීරණය ගැන ආයෙත් හිතන්න , දෙසැරයක් නෙමෙයි කීප සැරයක් හිතලාහරි නිවැරදිම තීරණය ගන්න .

සරලවම කිවුවොත් අතහරින්නට හේතු දහසක් තියෙන තැනක එක පුංචි හේතුවක් හොයාගෙන නවතින්න හිතනවා කියන්නෙම කිසිම කෙනෙක් නොගත යුතු තීරණයක්.

Comments