මගේ ජීවිතේ මට ටාගට් දෙකයි තියෙන්නෙ | සිළුමිණ

මගේ ජීවිතේ මට ටාගට් දෙකයි තියෙන්නෙ

 

කෝලම්කුට්ටම නරඹන ප්‍රේක්ෂක ඔබට නම් එහි යශෝධරාගේ චරිතය අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. යශෝධරාට පණ පොවන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක් වන අප්සරා ගුණතිලක.

 

මුලින්ම අප්සරා ගැන විස්තර ටිකක් කිවුවොත්

මගේ උපන් ගම හඳපාන්ගොඩ. පවුලේ ඉන්නේ අම්මා , තාත්තා, අයියා, අත්තම්මා, සීයා. අයියා නම් දැන් විවාහ වෙලා ඉන්නේ. මම පාසල් හතරක ඉගෙනගෙන තියෙනවා. පිළිවෙලින් කිවුවොත් හඳපාන්ගොඩ මහා විද්‍යාලය, සිරි පියරතන විද්‍යාලය පාදුක්ක, ශ්‍රී සුමංගල විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලය.

 

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?

කලාවට සම්බන්ධ වෙන්නේ මට අවු 19 දී. උසස් පෙළ අවසන් වීමත් සමඟම මම ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගාවලියට සම්බන්ධ වෙලා අවසන් 8 දෙනා අතරට තේරීපත් වෙනවා. ඒ තරගයෙන් පසුව තමයි මට කලා ලෝකෙට එන්න පාර හැදෙන්නේ.‍

පාසල් කාලෙත් කලා කටයුතුවලට වැඩි නැඹුරුවක් තිබුණ ද?

නැටුම් විෂය සහ නාට්‍ය විෂය කියන්නේ මගේ ජීවිතේ වගේ. ඒක මට උපතින්ම ආපු හැකියාවන් දෙකක්. පාසල් කාලයේ ඒකල නාට්‍ය භාෂණ තරගවලින් දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන සහ සමස්ත ලංකා තෙවන ස්ථානය ලබා ගෙන තියෙනවා. නර්තන තරගවලිනුත් මං ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. ඉතින් ලොකූ නැඹුරුවක් තිබුණා කලාවට පාසල් කාලයේ ඉඳලම.

 

ඒ කියන්නේ සිහින දැක්කේ නිළියක් වෙන්න?

හ්ම්... මෙහෙමයි. මගේ ජීවිතේ මට ටාගට් දෙකයි තියෙන්නේ. එකක් පරිපූර්ණ රංගන ශිල්පිනියක් වීම සහ මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නාට්‍ය හා රංග කලා ගුරුවරියක් වීම. ඉතින් ඒ රංගන ශිල්පිනියක් සහ ගුරුවරියක් වීම කියන්නේ මගේ ජීවිතයේ තිබ්බ හීනයක් නෙවෙයි. ඒක මගේ ටාගට් දෙකක්.

 

පළමු රංගනය මොකක් ද?

පළමු වතාවට රංගනයේ යෙදෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු තුෂාර තෙන්නකෝන් මහත්මයා අධ්‍යක්ෂණය කළ “මල් පිපෙන කාලේ“ ටෙලි නාට්‍යයේ මාධවී කියන චරිතය තුළින්.

 

කොහොමද ඒ අත්දැකීම?

ඒ අත්දැකීම නම් අමතක නොවෙන එකක්. ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණ දවසක්.

 

ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ගොඩක් අයගෙන් ලැබුණා.

 

මේ දවස්වල දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?

ස්වර්ණවාහිනී නාලිකාවේ කෝලම්කුට්ටම ටෙලි නාට්‍යයේ යශෝධරා චරිතයට සහ හිරු නාලිකාවේ ටෙලි ෆිල්ම් 9කට රංගනයෙන් දායක වෙලා තියනවා.

 

වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් ද?

හිරු නාලිකාවේ කැලුම් උඩුවාවෙල මහත්මයා අධ්‍යක්ෂණය කරපු මං “මුළා වූ සමනලියක්” ටෙලි ෆිල්ම් එකේ මම ජයන්ති කියලා දෙමළ ගැහැනු ළමයෙක්ගේ චරිතයක් රඟපෑවා. ඒකට ගොඩාක් දෙනාගේ ආදරය සහ හිතාගන්නවත් බැරි හොඳ ප්‍රතිචාර ලැබුණා. මට ඒකෙන් පස්සේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා කිහිපයක්ම ආවා.

 

ඔබ දැන් ආදරවන්තියක් ද?

ඔව්. මම ආදරවන්තියක්. මම හෙවුවේ කලාවට ආදරය කරන කෙනෙක්. මොකද කලාවට ආදරය කරන අයගේ හිත් ගොඩක් ආදරණීයයි. ඉතින් මටත් ආදරණීය කෙනෙක් හම්බෙලා තියෙනවා.

 

ක්ෂේත්‍රයේ ඉන්න කොට කටකතා ගොසිප් හැදෙන්න පුළුවන්. ඒ ගැන මොකද හිතන්නෙ

අනිවාර්යයෙන්ම කටකතා හැදෙන්න පුළුවන්. එහෙම කටකතා හැදෙන්නේ තමන්ව සහ තමන්ගේ චරිතය මේන්ටේන් කර ගන්න බැරි වුණොත්.

 

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

ඉදිරියට තව ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තු වෙනවා.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම තව නොබෝ දිනකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පළමු වසරට ඇතුළත් වෙනවා. එහිදී මම නාට්‍ය හා රංග කලාව වැඩි දුරටත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. පරිපූර්ණ සම්මානනීය රංගන ශිල්පිනියක් වීම තමා ලොකුම බලාපොරොත්තුව.

Comments