මනමාලියක් වගේ හොඳට ඇඳගෙන මා එක්ක කතා නොකර ඉන්නෙ ඇයි දුවේ... | සිළුමිණ

මනමාලියක් වගේ හොඳට ඇඳගෙන මා එක්ක කතා නොකර ඉන්නෙ ඇයි දුවේ...

- රෝහල්ගත වුණේ කොත්තුවක් කාලා හැදුණු බඩේ අමාරුවට බෙහෙත් ගන්නයි
- පවුලේ එකම දියණිය වූ චමෝදි කොරියාවේ රැකියාවකට යෑමට සිහින දුටු තරුණියක්
- මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහල මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින්
- පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු විවෘත තීන්දුවක්. මරණයට නිශ්චිත හේතුව කිව හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසු

නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් එම රෝහලේදීම එන්නතක් ලබා දීමෙන් අනතුරුව 21 හැවිරිදි තරුණියක් මිය ගියේ පසුගිය 11 වැනිදාය. උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගතවූ පොත්තපිටිය අල්ලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චමෝදි සංදීපනී මදුසිකා ජයරත්න නම් තරුණියට රෝහලේදී ලබා දී තිබුණේ සෙෆ්ට්‍රිඇක්සෝන් (Ceftriaxone) නැමැති ප්‍රතිජීවක ඖෂධයකි. ප්‍රමිතියෙන් තොර ඖෂධ පිළිබඳ බරපතළ කතාබහක් රටේ පවතින මොහොතක අදාළ එන්නත ලබා දී විනාඩි ගණනකදී සිදු වූ මෙම මරණය පිළිබඳ පුවත ළැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහලකට ඇතුළු වීම සම්බන්ධයෙන් ද දෙගිඩියාවක් ඇති කරමිනි. 

මරණයට පත් වූ චමෝදි සංදීපනී කොත්තු රොටී ආහාරයට ගැනීමෙන් පසු උදරාබාධයකට ලක්වීමෙන් පොත්තපිටිය කොතලිගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත්තේ පසුගිය 10 වැනිදා දහවල් ය. එතැන් සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ඇගේ මරණය සිදුවීම දක්වා අතර ගතවූ කාලය පැය 48කටත් අඩුය. දෙපයින් ඇවිද රෝහලට ගිය දියණිය හය දෙනෙකුගේ කර මතින් යළි නිවෙසට පැමිණියේ ඇයිද යන්න චමෝදිගේ මවුපියන්ට, සහෝදරයන්ට, ඥාතීන්ට පමණක් නොව බොහෝ දෙනෙකුට ප්‍රශ්නයකි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 2022 වසරේ මාර්තු 12 දින උපත ලද චමෝදි ඊට 21 වසරකට පසු එම රෝහලේදීම අකල් මරණයකට ගොදුරු වෙතැයි ඇගේ මවුපියෝ කිසිවිටකත් නොසිතන්නට ඇත. එසේ වුවත් එදා උපත සනිටුහන් කළ ස්ථානයේදීම අද ඇයගේ විපත ද සනිටුහන් ව තිබේ. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දක්ෂතා දැක්වූ චමෝදි පවුලේ බඩපිස්සිය. ඇය හැදී වැඩුණේ මවුපියන්ගේ පමණක් නොව වැඩිමහල් සහෝදරයන් දෙදෙනාගේ ද ආදරය හා රැකවරණය ලබමිනි. චමෝදිගේ 19 වැනි උපන් දිනයට වැඩිමහල් සහෝදරයාගෙන් ඇයට ලැබුණේ ස්මාර්ට් වර්ගයේ දුරකතනයකි. තම නැඟණිය නොසිතූ මොහොතක ජීවිතය හැර යෑම සිහිනයක් යැයි සිතෙන බව රොෂාන් කුමාර ජයරත්න කීවේය. එහෙත් එය සිහිනයක් නොව සැබෑවක් කියා දැනෙන හැම මොහොතකම ඔහුගේ දෙනෙතින් කදුළු කඩා හැලේ. නැඟණිය හා ගෙවූ අතීතයේ මතක සටහන් ඒ කඳුළුවල සැඟවී ඇති සෙයකි. එකම නැඟණියගේ වියෝව නිසා උපන් දුක යටපත් කරමින් ඔහු හඬ අවදි කළේ මෙසේය.

"මම මංගල උත්සවවල පෝරුව සකස් කිරීම, මල් සැරසිලි කිරීම තමයි වෘත්තිය විදිහට කරන්නේ. පසුගිය 09 වැනිදා මම මහනුවර වැඩකට ගිහින් එන ගමන් කොත්තුවක් අරන් ආවා. නංගි කොත්තු කන්න හරිම ආසයි. ගෙදර ඇවිත් වාහනේ බඩු ඔක්කොම බාලා තමයි අපි කෑවේ. මායි, මගේ නෝනයි, නංගියි, අම්මයි කොත්තු කෑවා. ඒක කාපු වෙලාවේ ඉඳන් අපිට බඩ එළිය යන්න පටන් ගත්තා. නංගී කිව්වා බඩ රිදෙනවා කියලා. ඊට පස්සේ මායි, නෝනයි, නංගියි පෞද්ගලික ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගත්තා. අම්මට ලොකු අමාරුවක් තිබුණේ නැති නිසා එයා බෙහෙත් ගන්න ආවේ නැහැ. ඒ බෙහෙත්වලට මටයි නෝනටයි සනීප වුණා. ඒත් නංගිට වමනයයි බඩඑළියේ යෑමයි දිගටම තිබ්බ නිසා 10 වැනිදා කොටලිගොඩ රෝහලට එක්කගෙන ගියා. ඒ රෝහලේදී සේලයින් දීලා තිබුණා. ඒත් සුවයක් නැති නිසා පහුවදා උදේ නංගිව රෝහලේ ඇම්බියුලන්ස් එකෙන්ම පේරාදෙණිය ඉස්පිරිතාලෙට මාරු කළා. අම්මත් ඒ ඇම්බියුලන්ස් එකෙන්ම නංගිත් එක්ක රෝහලට ගිහින් තිබුණා."

පේරාදෙණිය ශික්ෂණ රෝහල යනු නවීන පහසුකම් ඇති වෛද්‍යවරුන්ගේ ද හිඟයක් නොමැති රෝහලකි. එහිදී සිය දියණියට ඉක්මනින් සුව වනු ඇතැයි තමා විශ්වාස කළ බව කී චමෝදිගේ මව, මායා ඉන්ද්‍රානි එතැන් සිට සිදුවූ දේ අප හමුවේ පැවසුවේ කඳුළු අතරෙනි. 

"වමනය සහ බඩඑළිය කිහිපවරක් ගිහින් තිබූ නිසා දුව හිටියේ ටිකක් දුර්වල වෙලා. ඒ නිසා ඉක්මනින්ම ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දෙන්න වෛද්‍යවරු කටයුතු කළා. සේලයින් දීලා දවල් 12.30 ට විතර දුවව හතේ වාට්ටුවට ඇතුළු කළා. මම දුව ළඟ පුටුවක් තියාගෙන වාඩිවෙලා හිටියා. එයා මගෙත් එක්ක කතා කළා. ඒ වෙලාවේ නර්ස් නෝනා ඇවිත් දුවගෙ අතේ ගහලා තිබුණු කැනියුලා එකෙන් එයාට බෙහෙතක් විද්දා. ඒත් එක්කම දුව කිව්වා, "අම්මේ මගේ ඇස් දනවා, මොකක්දෝ වේගෙන එනවා, අතත් කැක්කුමයි" කියලා. "මේක ටිකක් සැර බෙහෙතක්" කියලා නර්ස් නෝනා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම දුවගේ ඇස් උඩ ගියා. ඉන්න බෑ කියලා කෑ ගහගෙන දුව සේලයින් එකත් උස්සගෙන ටොයිලට් එකට දිව්වා. මොකද මගේ දුවේ කියලා කෑගහගෙන මමත් එයාගේ පස්සෙන් දිව්වා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. මුහුණ අතපය නිල් පාට වෙලා, අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව ට්‍රොලියකට දාගෙන වාට්ටුවට අරන් ආවා. දුවගේ කටින් සෙම ඇවිත් තියෙනවා මම දැක්කා. එයාට සිහියක් තිබ්බේ නැහැ. දොස්තර මහත්තුරු පපුව තෙරපලා දුවට පණ ගන්න හැදුවා. ඒත් මගේ දුව එක පාරක්වත් ඇස් ඇරියේ නැහැ. මම කෑගහලා කිව්වා මගේ දුවගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒත් මගේ දුව අපිව දාලා ගියා. මේ වගේ දුකක් තවත් අම්මා කෙනෙකුට නම් වෙන්න එපා. කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඒ අයට දඬුවම් දෙන්න ඕන. මොකද හොඳට කතා කර කර හිටපු දරුවා තමයි මේ මනමාලියක් වගේ හැඩවෙලා අද අපි කා එක්කවත් කතා නොකර ඇස් පියාගෙන ඉන්නේ. ඒ ඉන්ජෙක්ෂන් එක ගැහුවේ නැත්නම් මගේ රත්තරන් දුව තාමත් අපිත් එක්ක ඉන්නවා." මව ඉකිබිඳිමින් හඬන්නට වූයේ තවත් මුවට වදන් නඟාගත නොහැකිවය.

කිරිබත්කුඹුර ස්වර්ණජෝති ජාතික පාසලේ ඉගෙනුම ලැබූ චමෝදි සංදීපනී 2021 වසරේදී උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිටියාය. විභාගය සමත් වූවත් විශ්වවිද්‍යාල වරම් නොලැබූ ඇය පාසල් සමයේ දක්ෂ ක්‍රීඩිකාවක් වූවාය. මීටර් 100, මීටර් 400, මීටර් 800 ඉසව්වලින් ප්‍රථම ස්ථානය මෙන්ම දිස්ත්‍රික් තරගවලින් ද ජයග්‍රහණය ලැබූ චමෝදි, ක්‍රිකට්, එල්ලේ හා වොලිබෝල් ක්‍රීඩාවලට ද දක්ෂතා දැක්වූවාය. එම තරගවලින් ජයග්‍රහණය කිරීමෙන් ඇය සතුව ඇති සහතික, කුසලාන හා රන් පදක්කම් තොගය චමෝදිගේ ක්‍රීඩා කුසලතාවට සාක්ෂි දරයි. කොරියාවේ රැකියාවක් කිරීමේ අරමුණින් එම රටට යෑමේ කැමැත්තෙන් පසුවූ චමෝදි ඉකුත් මාස කිහිපයේම වෙහෙසී ඇත්තේ කොරියානු භාෂාව ඉගෙන ගැනීමටය.

චමෝදිගේ පියා වයි.ජී ජයරත්න එකම දියණිය හදාවඩා ගත්තේ මලක් සේ ආරක්ෂා කර ගනිමිනි. එහෙත් නොසිතූ මොහොතක එම මල මිලින විය. තම එකම දියණියගේ වියෝව පිළිබඳ ඔහු කතා කළේ දරාගත නොහැකි ශෝකයෙනි.

"පුතාලා දෙන්නට පස්සේ තමයි දුව අපේ පවුලට එකතු වුණේ. පවුලේ බාලයා නිසා දුව හැදුණේ වැඩුණේ හැමෝගෙම ආදරය මැද්දේ. අපි කවදාවත් එයාට දුකක් දැනෙන්න තිබ්බේ නැහැ. දුවට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැහැ. හැම වෙලාවෙම දුවලා පැනලා විනෝදයෙන් හිටියේ. මේ මරණය ඇත්තටම අපිට සැකයි. බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න ඇවිදගෙන ගිය ලෙඩා ඉන්ජෙක්ෂන් එක ගහලා විනාඩි පහක් දහයක් වගේ කාලයක් තුළ මැරුණේ කොහොමද ? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලයි අපි කියන්නෙ. මම මේ ගැන පේරාදෙණිය රෝහල් පොලීසියටත් පැමිණිල්ලක් කළා."

පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් චමෝදිට ලබා දී තිබුණේ සෙෆ්ට්‍රිඇක්සෝන් නැමැති ප්‍රතිජීවක ඖෂධයකි. අදාළ ඖෂධය ලබා දී සුළු වේලාවකට පසු තම දියණිය මියගිය බවටත් එක් එන්නතක් ලබා දී සුළු වේලාවකට පසු තවත් එන්නතක් ඇයට ලබා දුන් බවටත් චමෝදිගේ මව කරන චෝදනාව සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න දැක්වූයේ මෙවැනි අදහසකි. 

"උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි මේ දියණියට කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය ප්‍රතිකාර නිසියාකාරව ලබා දී තිබෙන බව වෛද්‍ය ප්‍රතිකාර වාර්තා නිරීක්ෂණයේදී පැහැදිලිව පෙනෙනවා. රෝගියාට ලබා දී තිබෙන සෙෆ්ට්‍රිඇක්සෝන් නැමැති ප්‍රතිජීවක ඖෂධය රෝහලේ නිතර භාවිතයට ගන්නා එකක්. පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2,700ක් රෝගීන්ට ලබා දී තිබෙනවා. එකම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල්වලින් රෝගීන්ට ලබා දෙන එකක්. මේ ඖෂධයේ වරදක් නිසා මරණය සිදුවූ බවට කරන චෝදනා පිළිගන්න අමාරුයි. කොහොම වුණත් ඒ සම්බන්ධව ස්ථිර යමක් ප්‍රකාශ හැකි වෙන්නේ රස පරීක්ෂණ වාර්තා ලැබුණු පසුවයි. එන්නත ලබා දීමෙන් පසු ඉතාම කලාතුරකින් සිදුවන අසාත්මිකතා කම්පනය (Anaphylactic shock) කියන තත්ත්වය හේතුවෙන් මෙම මරණය සිදුව තිබෙන බවට සැක කරන්න පුළුවන්. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ලබා දී රුධිර පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා. රෝගියා රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට සිදු කළ ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තා සියල්ල එකින් එක මම පරීක්ෂා කළා. ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් අතින් යම් ප්‍රමාදයක් ඇති වූ බවට හෝ රෝගියාට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නැහැ. මේ දැරියට එන්නත ලබා දී තිබෙන්නේ 11 වැනිදා රාත්‍රී 9.00 ට විතර. ඉන්පසු ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු ඇතුළු හෙද කාර්ය මණ්ඩලය පැය 1 1/2 ක පමණ කාලයක් තිස්සේ උත්සාහ කර තිබෙනවා. නමුත් ඇය ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියා. "

එක් වරක් එන්නත ලබා දීමෙන් පසු සුළු වේලාවකට පසු හෙද නිලධාරිනිය යළිත් වතාවක් එම එන්නත ලබා දුන් බවට චමෝදිගේ මව නඟන චෝදනාව සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා මෙසේ පිළිතුරු දුන්නේය. "දැරියට අදාළ ප්‍රතිජීවක ඖෂධය ග්‍රෑම් 02 ක මාත්‍රාවක් ලබා දීමට වෛද්‍යවරයා නිර්දේශ කරනවා. ඒ අනුව ග්‍රෑම් එක බැගින් වූ කුප්පි දෙකක් රෝගියාට එන්නත් කර තිබෙනවා. මේ රෝගියාට මීට කලින් අසාත්මිකතා ඇති වූ බවක් හඳුනා ගෙන තිබිලා නැහැ. මේ ප්‍රතිජීවක ඖෂධය රෝගියාට නොදී ඉන්න කිසිදු හේතුවක් තිබී නැහැ. රෝගියාට නිර්දේශ කළ එන්නත මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජර රෝහලේ නොතිබූ නිසා අවස්ථා දෙකකදී එන්නත් කිරීමෙන් අදාළ මාත්‍රාව සම්පූර්ණ කර තිබෙනවා. එමඟින් රෝගියාට කිසිදු අයහපත් බලපෑමක් ඇති වන්නේ නැහැ. මේ සම්බන්ධව අපි විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සමඟ සාකච්ඡා වට ගණනාවක් පැවත් වූවා. ඖෂධය නිසා තත්ත්වය ඇතිවූ බවට සැක කරන්න හේතුවක් නැහැ. එක් එක් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පවතින යම් යම් වෙනස්කම් නිසා අසාත්මිකතා ඇතිවීමට පුළුවන්. කොණ්ඩය කළු කිරීමට යොදන ඩයි වර්ගයක් නිසා අසාත්මිකතාවක් ඇතිව අපේ රටේ ජනප්‍රිය ගායිකාවක් මියගිය සිද්ධිය මේකට හොඳ උදාහරණයක්. මේ වගේ අසාත්මිකතා ඉතාම කලාතුරකින් ඇති වීමට පුළුවන්. සිද්ධිය වූ අවස්ථාවේ වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරු, සීමාවාසික වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු පස් දෙනෙක් ඉඳලා තිබෙනවා. සියලු දෙනා ප්‍රමාදයකින් තොරව සියලු ප්‍රතිකාර ලබා දී තිබෙනවා."

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී, මහාචාර්ය උදය රළපනාව තරුණිය මියගිය වාට්ටුව භාර වෛද්‍යවරයාය. තරුණියගේ මරණය සම්බන්ධයෙන් නැඟෙන චෝදනා පිළිබඳ ඔහු මෙසේ කීවේය.

"උදරාබාධයක් සමඟ වමනය සහ බඩඑළිය යෑමේ තත්ත්වය එක්ක රෝහලට ඇතුළු කළ රෝගියාගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍ර ජීවීන් මඟින් ඇතිකර තිබෙන බලපෑම කොයි ආකාරද යන්න මැන බැලීමට සිදු කරන CPR පරීක්ෂණයට අනුව මෙම රෝගියාගේ එම අගය 270ක් වැනි ඉහළ තැනක තිබුණා. සාමාන්‍ය අයෙකුගේ මෙම අගය පවතින්නේ 06 ට අඩුවෙන්. එයින් පැහැදිලි වෙනවා ශරීරය තුළ බැක්ටීරියා ආසාදනයක ලකුණු තිබෙන බව. ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරනවා. මේ දැරියට ලබා දී තිබෙන්නේ එවැනි අවස්ථාවක බහුලව පාවිච්චි කරන ප්‍රතිජීවක එන්නතක්. මේක ලබා දීමේදී ඇතිවන අසාත්මිකතාව විවිධ විදිහට දකින්න පුළුවන්. කෙනෙකුගේ ඇඟ සුළු වශයෙන් කසන්න ඉඩ තිබෙනවා. සමහරුන්ට හතියක් වගේ එන්නත් රුධිර පීඩනය දැඩි ලෙස පහත වැටීමටත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක අසාත්මිකතාව සමඟ කම්පනය ඇති වී කෙනෙකු මිය යන්න හැකියාවක් තිබෙනවා. මේක ඉතාම කලාතුරකින් දකින්න ලැබෙන තත්ත්වයක්."

චමෝදිගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහල මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊට අමතරව මේ ගැන පිළිබඳ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇත. චමෝදිගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ විසින් සිදු කර විවෘත තීන්දුවක් ලබා දී ඇත. ඇගේ මරණයට නිශ්චිත හේතුව කිව හැකි වන්නේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුය.

ඡායාරූප - රුවන් මීගම්මන

Comments