
පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
අපේ ගමේ විහාරයට පෙරහැර එනවා
දැන් වේලාව පස්වරු හතරයි. දැන් මා සහ ඡායාරූප ශිල්පියා සිටින්නේ කෝට්ටේ රාජධානියට අයත් බෝගහ සහිත බුදු මැදුරක් ළඟය. අප මේ සිටින්නේ පෙරහරක් එනතුරුය. ඒත් ඒ පෙරහරේ ඇත්තු සිටියේ නැත. නැට්ටුවෝ ද නැත. බෝල බෝල වගේ එළි කැරකුණේත් නැත. ඒත් බෝල වගයක් නම් තිබුණි. ඒවා දමා තිබුණේ තඩි සුදු යකඩ බේසම්වලය. නමුත් පරහකට තිබුණේ ඒවා නිකම්ම නිකම් බෝල නොව බෝල කඩල වීමය.
හැමදාම හවසට කෝට්ටේ රාජධානිය බුදුමැදුර ළඟින් ඇරඹෙන මෙම පෙරහර කඩල කරත්ත පෙරහරකි. මේ කඩල ගෙන යන කරත්ත සාදා ඇත්තේ පාපැදි නොහොත් පුස්බයිසිකලේ රෝද තුනක් උපයෝගි කරගෙනය. තම්බපු කඩල, බයිට් කඩල, නාන් රොටි, මසාල වඩේ වගේම පරිප්පු වඩේ පිළිවෙළට අඩුක් කර ඇත. කරත්තය වටේට වීදුරු දමා ඇති බැවින් පාරේ යන ඕනෑ කෙනකුට තමන්ට අවශ්‍ය දේ තෝරාගත හැකිය.
අප මේ කඩල කරත්ත පෙරහරක් ලෙස මෙය හැඳින්වූයේ ඇතැම් දිනවල එකකට එකක් හේත්තු වී තල්ලු කරගෙන එන කඩල කරත්ත ගාණ දාහතරකටත් ආසන්න නිසාය. මේ කඩල කරත්ත තල්ලු කරගෙන යන දුර අසා අපව රැගෙන ගිය ලේක්හවුස් වාහනයේ රියැදුරු මවිතයට පත්විය. එක් කරත්තයක් නාවල හංදියේය. අනෙක මහරගම සහ බොරැල්ල හංදියේය. ඇතුල්කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ආදී කොළඹ බොහෝ ප්‍රදේශ කරා ඇදී යන බව අපට දැනගත හැකි වූයේ එම කඩල කරත්ත තල්ලු කරගෙන යන තරුණයන්ගෙනි.
හැම කඩල කරත්තයකම සුදු යකඩ දැමූ කඩල බේසම රත්වන්නට භූමිතෙල් ළිපක් කරත්ත ඇතුළේ ඇත. එය භූමිතෙල් ළිපට පැට්‍රෝල් මැක්ස් ලාම්පුවට වගේ හුළං ගැසිය යුතුය. කඩල කරත්තය තල්ලු කරන තරුණයා මුලින්ම කරන්නේ කරත්තේ ඇති භූමිතෙල් ළිපට හුළං ගැසීමය. හැම කරත්තයකම ටිලිං ටිලිං ගාන කුඩා සීනුවක් ද ඇත. කඩල කරත්තේ ඇති භූමිතෙල් ළිපේ පොම්පයට හුළං ගැසූ කඩල කරත්තය තල්ලු කරගෙන යන තරුණයා ඊළඟට කළේ හුළං පොම්පයක් ගෙන කරත්තයේ රෝද තුනට හුළං ගහ ගැනීමය. අප ගිය සැරේ ලියූ අච්චාරු කරත්තවලට නම් සවිකොට තිබුණේ මෝටර් සයිකල් ටයර්ය.
“හොඳට ගල්වෙන්න හුළං ගැහුව නම් තල්ලු කරන්න ලේසියි. මෝටර් සයිකලේ ටයර් නම් තල්ලු කරන්න ඊටත් ලේසියි. මෝටර් සයිකල් ටයර් එකක් දැන් අටදාහක් විතර වෙනවා. පුස් බයිසිකල් ටයරෙකුත් රුපියල් දෙදහක් විතර වෙනවා.”
“ගම කොහෙද?”
“නුවර තමා. කොළඹ ඇවිල්ල ජොබ් කීයක් කළාද, ඉතුරුවක් නෑ. කඩල වැඩෙන් ගේමක් ගහන්න පුළුවන්. ගෙදරට ගාණකුත් අරින්න පුළුවන්.”
මේ රෝද තුනේ මාලිගාව නිරීක්ෂණය කළ අපට පෙනී ගියේ එහි තිබුණ ආහාරපාන සියල්ල උණු උණුවේ ඇති බවය. මේ හැම කරත්තයකම දිග පළල එක සමානය. නාන් රොටියක් රුපියල් 100ක් වන අතර එයට කඩල හොදි හා අල හොද්දක් ද කුඩාවට ලැබේ. පරිප්පු වඩේ තුනක් රුපියල් 100/-කි. උළුඳු වඩේ දෙකක් රුපියල් 100කි. පොල් රොටි ලුණුමිරිස් දමා රැගෙන යාමට රුපියල් සියයක් අය කරනු ලැබේ.
දැන් ලංකාවේ ඇති සමිති සමාගම් අතර එක් සංගමයක් නම් ‘රැකියා විරහිතයන්ගේ සංගමය‘. මේ කඩල කරත්ත තල්ලු කරගෙන යන ජවසම්පන්න තරුණයින් දුටු විට මගේ මතකයට ආවේ රැකියා විරහිතයන්ගේ සංගමයේ සභාපති, ලේකම් පමණක් නොව සාමාජිකයන්ට ද මෙම කඩල කරත්ත වැරෙන් තල්ලු කරගෙන කොළඹ ගෙන්දගම් පොළොව සමඟ ගැටී ජීවන අරගලය ජයගත් මේ තරුණ පිරිස පෙන්විය යුතු බවය. කිලෝ මීටර් පහක දුර පැට්‍රෝල් එන්ජිමක් හෝ ඉලෙක්ට්‍රොනික් එන්ජිමක් නැතුව ජවසම්පන්නව මේ කඩල කරත්තය ඇතුල්කෝට්ටේ ෆුඩ්සිටිය අසලට තල්ලු කරන් එන්නේ යෝගාය.
“ඇතුල්කෝට්ටේ සුපිරි වෙළෙඳපලකට අරක්කු ලයිසන් එකක් හම්බ වුණා. වෙනදට වැඩිය සේල් එක වැඩියි. ගොඩක්ම ඉන්නෙ ඉතින් ගෙදර යන ගමන් මෙතැනින් බෝතලයක්, භාගයක් ගෙනියන අය. ගොඩක්ම බයිට් එකට ගන්නේ ටේස්ට් කඩල. සමහරු වැඩිපුරත් බැදපු වේලපු මිරිස් ඉල්ලනවා. සමහර අය ෂොපින් බෑග්වල දානවට කැමති නෑ. ඉල්ලන්නෙම කඩදාසි බෑග්. ටේස්ට් කඩල අඩුවෙන්ම දෙන්නේ රුපියල් සියයක තමයි.”
මේ කඩල කරත්ත කීපයක්ම නවත්වා ඇති තැන් නිරීක්ෂණයේදී අපට පෙනී ගියේ ඇතැම් බෝඩිං ජීවිත ගත කරන යුවතියන් තරුණයන් මෙන්ම වැඩිහිටියන් ද තම රාත්‍රී ආහාර වේල 'ෂේප්' කර ගැනීමට මෙම කඩල කරත්තවල ඇති ආහාර උපයෝගි කර ගන්නා බවය. මත්පැන් පානය සඳහා බයිට් එකට කඩල ගන්නා කස්ටර්මර්වත් රාත්‍රී ආහාරය ෂේප් කරගන්නට කෑම ගන්නා කස්ටර්මර්වත් වෙන්කොට හඳුනා ගැනීමේ විශ්වකර්ම පරිචිත්ත විජානන ඥානයක් මේ කඩල වෙළඳාමේ නියුතු තරුණයන්ට ඇත. අප එක් කඩල කරත්තයක් ළඟ ගැවසෙද්දී පාරිභෝගිකයාට කඩල අලෙවි කරන තරුණයා 'අවශ්‍ය මොනවාදැයි' අහන්නේවත් නැතුව කුඩා පාර්සල් දෙකක් ෂොපින් උරයක බහා දුන්නේය.
“ඒ මහත්තයා ඩේලි කස්ටමර් කෙනෙක්. ටේස්ට් කඩල රුපියල් 100යි. වඩේ 3යි ගන්නවාමයි.”
මේ කඩල කරත්ත අතරෙන් 'අප්පා' තම කඩල කරත්තය තල්ලු කරගෙන යන්නේ නාවල සුපිරි වෙළෙඳසලක් අසලටය.
“තාමත් සමහරු රුපියල් 20ට කඩල ඉල්ලනවා. රුපියල් 20ට කඩල වික්කේ කොරෝනාවටත් කලින්. මේක මස් මාළු කන්නැති අයට හොඳ කෑමක්. බයිට් එකට වැඩිය මේ පැත්තේ නම් අය බස් එකේ යන ගමන්, ගෙදර යන ගමන් කන්න තමයි කඩල ගන්නේ.”
මෙම කඩල කරත්තයක සේවකයකුට ඇති දවසේ 'සේල්ස් ටාගට්' එක රුපියල් 25,000/=කි. ඔවුනට නවාතැන් හා ආහාරපාන ද සපයන අතර ටාගට් එක කවර් කළහොත් රුපියල් 3000 - 3500ත් අතර ගෙවීමක් දෛනිකව ලබාගත හැකිය.
“ඔය කඩල, නාන් රොටි, වඩේ ඉතුරු වෙන දවස් එහෙම නැත්ද?”
“කොරෝනා කාලේ ඇඳිරිනීතිය දාන කොට විතරයි ඉතුරු වුණේ. ඒත් සමහර දවසට කීයැවුණත් මේ ටික ඉවර කරගෙන තමයි යන්නේ. මුලින්ම නාන් රොටි, වඩේ ටික ඉවර කර ගත්තම කඩල ටික විනාස වෙන්නේ (ඉවර වෙන්නේ) බලාගෙන ඉන්නකොට තමා!”
ඇත්තටම මේ කඩල කරත්ත ගැන හොයන්න ගිය විට 'කඩල' යනු කුමක්දැයි සෙවීමට ද අපට අවශ්‍ය විය. කඩල වඩාත් ජනප්‍රිය වීමට හේතුව එය යම් කාර්යයක නියැළී සිටින ගමන් ආහාරයට ගත හැකි පෝෂ්‍යදායී ආහාරයක් ලෙසය. කඩල දියවැඩියා රෝගීන්ට හොඳ ඖෂධයකි. ඇතැම් දියවැඩියා රෝගීන්ට දොස්තරවරුන් නිර්දේශ කරන්නේ රාත්‍රියට තැම්බූ කඩල බෝල 100ක් ආහාරයට ගන්නා ලෙසය. මෙම කඩල කරත්ත ජනප්‍රිය වීමට තවත් හේතුවක් වී ඇත්තේ නිර්මාංස හෙවත් වෙජිටේරියන් පුද්ගලයන්ට කඩල කදිම ආදේශකයක් නිසාමය. කඩල තැම්බූ වතුර දේශීය වෙදකමේ ඖෂධයක් මෙන් පෞරුෂ ග්‍රන්ථිය ඉදිමීම නැති කරයි. ඉන්දියාවේ නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ කඩල ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලස්ටරෝල් වර්ධනය අඩු කරන බවය.
අපේ බොහෝ යුවතියන් අලිගැටපේර, කැරට් වැනි දේ තලප ලෙස මුහුණේ තවරා ගන්නේ හමේ පැහැය වර්ධනය කර ගැනීමටය. එහෙත් ඔය හම පැහැපත් කරන්නට ඉන්දියාවෙන් එන විවිධ ආලේපනවල කඩල අන්තර්ගතව ඇත්තේ එය හම පැහැපත් කරන නිසා බව බොහෝදෙනා නොදන්නා කරුණකි.
අපට මේ කඩල අලෙවි කරන තරුණයකු අපූරු කතාවක් කිවුවේය. ඔහු දිනක් තම කරත්තය තල්ලු කරගෙන ගියේ රාජගිරිය හරහා බොරැල්ලේ වූ රැලියකටය.
“ආයුර්වේදය ගාව කීපදෙනෙක්ම කඩල ගත්තා. මම හිතුවේ කන්න කියල බැලුවම කඩල පොට්ටනි හදල තවන එක වාත රෝගවලට ප්‍රතිකර්මයක් කියල ඒ ගත්ත කෙනෙක් කිවුවා.”
මේ කඩල කරත්ත ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයා ප්‍රභාත්ය. ඔහුගේ උපන්ගම ඇල්පිටියයි. අපි ප්‍රභාත්ව කතාවට අල්ල ගත්තේ හතරපස්වතාවක් උත්සාහ කිරීමෙන් පසුවය. එහෙත් ඔහුගේ ඡායාරූපයක් ගැනීමට නම් එකඟ කරවා ගැනීමට නොහැකිවූ තැන විටින් විට ඔහු සමඟ කතාකොට මෙම ව්‍යාපාරයේ ඉතිහාසය ගැන හාරා අවුස්සා දැන ගැනීමට අපට හැකි විය.
“මං මේ කඩල කරත්ත බිස්නස් එක පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා. කොරෝනාවට කලින් කඩල කරත්ත පහළොවක් විතර තිබුණා. කොරෝනාවත් එක්ක ගොඩක් පාඩු වුණා. නැවතිලා හිටිය හෝටලයේ සමහරු ගම්වලට ගියා ගියාමයි ආවේ නැහැ.”
මේ කඩල කරත්ත ව්‍යාපාරයට පාරිභෝගිකයන් ඇද බැඳගෙන සිටින රහස අපට ඔහුගේ මුවින්ම දැනගත හැකි විය.
“අපි කවදක්වත් කලින් දවසේ ඉතුරු වෙච්ච කඩල, නාන් රොටි, වඩේ ඊළඟ දවසේ රත්කරලා දෙන්නේ නෑ. කොරෝනාවට කලින් කඩල කිලෝ එක තිබ්බ ගාණ අද ඩබල් වෙලා. කඩලවලට දාන්නේ හොඳම පොල්. පොල් ගණන්. කඩල බේසම රත්කරන භූමිතෙල් ළිපට දාන භූමිතෙල් හිතාගන්න බැරි විදිහට ගණන් ගියා. කඩල විකුණන්න දාන ෂොපින් බෑග් ගාණ මාර නැගිල්ලක්නේ නැග්ගේ.”
ප්‍රභාත් කියන්නේ තම්බන්න ගන්න ටිප් ටොප් එකට ගැළපෙන්නේ බෝල කඩල බවය.
“ඉස්සර තිබිල තියෙනවා චින්තාමනි කඩල, සිංහල කොණ්ඩ කඩල වගේ ඒවා. ඒවා බිස්නස් එකට හදන්න අමාරුයි.”
අප තවදුරටත් කරුණු විමසීමේදී දැනගත හැකි වූයේ ග්‍රීන්පීස් සහ යෙලෝපීස් ද කඩල ප්‍රභේද දෙකක් බවය.
අපේ බොහෝ ව්‍යාපාරිකයින් තම ව්‍යාපාරයෙන් ආර්ථික වශයෙන් යම් වර්ධනීය තත්ත්වයකට පැමිණි පසු ඒ වැඩේ ගෝලයන්ට පවරා බකන්නිලාගෙන සිටීම සිරිතය. එහෙත් ප්‍රභාත් එසේ නැත. කඩල කරත්ත රැගත් තම ගෝල බාලයන් හයහතක් පාරට ගිය විට ප්‍රභාත් කරන්නේ තමන් ද හොඳින් හැඳ පැලඳගෙන තමන්ගේ කඩල කරත්තය ඇති ජුබිලි කණුව වෙත නික්ම යාමය. සවස 4ට පමණ තම කඩල ඇතුළු නාන් රොටි, වඩේ බිස්නස් එක පටන්ගන්නා ප්‍රභාත් අවසන් වරට අප හමුවට ගත්විට රාත්‍රි 9 පමණ වන්නට ඇත. ඒ වනවිටත් ඔහු වටකරගෙන යුවතියන් මෙන්ම විවිධාකර පුද්ගලයන් සිටියේ කඩල මිලදී ගැන්මටය. ඔහු අවසන් වශයෙන් ඉතිරි වී තිබූ කඩල ටිකද එක්කොට අවසන් ගනුදෙනුකරුවකුගේ අතට දී අප ගිය විට කතා කළේ හැඟීම්බරවය.
ඔක්කොම බඩු ටික ඉවර වුණා. තව පොඩ්ඩක් කලින් ආව නම් කඩල ටිකක් දෙන්න තිබ්බායි කියමින් තම කඩල කරත්තයේ සවිකොට තිබූ දිගු LED ලයිට් පේළිය නිවා දැමුවේය. කඩල කරත්තයට ලයිට් ගන්නට වයර් ඇද තිබුණේ ඔහු පැමිණි කහ පැහැති ඩීසල් ත්‍රිරෝද රථයෙනි.
ප්‍රභාත් තම කඩල කරත්තය අස්කරන විට ජුබිලි කණුව හන්දියේ හවස්වරුවේ කඩල අලෙවියට ගිය කරත්ත එකින් එක නැවත තම මිරිහාන කනත්ත පාරේ නවාතැන වෙත ගමන් කෙරුණේ පෙරහරක් පරිද්දෙනි. එම කරත්ත මුඳුනෙහි දැල්වෙන විලක්කුවක් වැනි පන්දමක් දැල්වෙන්නේ පළාතම එළිය කරමිනි. ජුබිලි කණුව හංදියේ ආපසු පැමිණි කරත්තයක් නවතා ගෙන සිටින්නේ තරුණ අප්පාය.
“අද ටිකක් ඉතුරු වුණා. මෙතැන ටිකක් වෙලා හිටියොත් මේ ටිකත් ඉවර කරගන්න පුළුවන්”
එතැන් සිට මිරිහාන පොලිසිය දෙස බැලූවිට වැඩ නිමවා යන කරත්ත පේළිය සිහියට ගෙන ආවේ තාරකාවක් දිහා බලමින් කාන්තාරයේ ඉසව්වක් සොයා යන කරත්තකරුවන් පිරිසක් වගේය.
ඡායාරූප - සුදත් නිශාන්ත