
නීති විරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදු කළ විශේෂ මාධ්‍ය හමුවක් ඔස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බළකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්විණි.
ඔහුගේ මෙම සංචාරය සිදු වූයේ පසුගිය මැයි මස මුල දී වාලච්චේන ප්‍රදේශයේ සිට නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ඔස්ට්‍රේලියානු රජය විසින් සිදු කළ ස්වෛරී දේශසීමා මෙහෙයුමකින් පසු මෙරටට හරවා එවීමෙන් අනතුරුවය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස් මෙසේ පැවසීය. “නීති විරෝධී මිනිස් ජාවාරම් මැඬලීම උදෙසා ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය ඉතා වටිනවා. මෑතක දී දෙපාර්ශ්වය එක්ව සිදුකරන ලද අන්තර් නිරෝධනය එයට කදිම සාක්ෂියක්. එම ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ අදහස් දැක්වීය. මෙම නීති විරෝධී සංචාරවල ඇති අනතුරුදායක බව සහ ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කම එම මැඬලීමේ මෙහෙයුම් මගින් අපට අනාවරණය වුණා."
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අදහස් දැක්වූ අතර මෙසේ සඳහන් කළේය . “ජනතාව දුක් මහන්සියෙන් උපයාගත් ඉතුරුම් මෙවැනි නීති විරෝධි මිනිස් සංක්‍රමණ සඳහා යෙදවීමට පෙලඹෙන්නේ මෙම ජාවාරම්කරුවන් විසින් එම නීතිවිරෝධී සංක්‍රමණ සාර්ථක වන බවට පවසන බොරු විශ්වාස කිරීම නිසායි. එහෙත් ඒවා කිසිසේත්ම සිදු නොවන හුදෙක් වංචාකාරී ක්‍රියාවන් බව අප ජනතාවට අවබෝධ කරවිය යුතුයි. මෙවැනි ප්‍රජා දැනුම්වත් කිරීම් හරහා අප ඔවුන්ට එහි ඇති අනතුරුදායක බව සහ නෛතික පසුබිම පිළිබඳව සත්‍ය අවබෝධය ලබාදීම ඉතා අත්‍යවශ්‍ය කරුණක්."
මෙහි දී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව නීතිවිරෝධී මුහුදු ජාවාරම් වැළැක්වීම සහ මැඬලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින හවුල්කාරිත්වයේ සඵලතාවය ඇගැයීමට ලක් කළේය “පුද්ගල ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඔස්ට්‍රේලියාව සමඟ ඉතා සමීපව කටයුතු කරනවා. අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම නැවැත්වීම අරමුණ බව ද කීය.