ණය වෙලා මඟුල් කෑවා කියල මොනවද ලැබෙන්නේ | සිළුමිණ

ණය වෙලා මඟුල් කෑවා කියල මොනවද ලැබෙන්නේ

වටපිට බලපු ගමන් කාලය වෙනස් වෙලා තාලය අලුත් වෙලා කියල බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් වුණාට , වෙනස් වෙච්ච කාලයත් එක්ක අපි වයන තාලය මොන තරම් ගැළපෙනවද කියල බලන්න මිනිස්සුන්ට මතක් වෙන්නේ කාලය ගෙවිලා ගියාට පස්සේ තමයි.

මේකට හොඳම උදාහරණයක් තමයි “ලංකාවේ මඟුල්“

ගිය සතියේ ප්‍රේමය විවාහය දක්වා අරගෙන එන විදිහ කතා කරපු නිසා අද අපි ඒ විවාහය ගැන කතා කරමු. සරලවම කිවුවොත් අද කථාව මඟුල් කෑම .

ලංකාවේ තරුණ තරුණියෝ බහුතරයක් වැඩිපුරම ණය වෙන්නේ ඔන්න ඔතැනදි තමයි. සරලවම කිවු්වොත් තරුණ තරුණියෝ බහුතරයක් ජීවිතය කියන ගමන ඇතුළෙදි ණය කියන උගුලේ පැටලෙන්න ලොකුම හේතුව තමයි

“කසාදය“ කියල කියන්නෙ .

ඉපදුණ දවසේ ඉඳන් සතුට කියන දේ අද නොවිඳ හෙටට කල් දාන්න හුරු වෙලා ඉන්න මිනිස්සු විදිහට විවාහය කියන සන්දිස්ථානයට ආවම තමන්ට පුළුවන් උපරිමයෙන්ම ඒක සමරන්න හිතන එක එක අතකට මිනිස්සුන්ගේ වැරැද්දකුත් නෙමෙයි .

මිනිස්සු හිතන්නේ විවාහයෙන් පස්සේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත .

විවාහයෙන් පස්සේ තමයි ජීවිතේ ප්‍රශ්න පටන් ගන්නේ,

දෙමවුපිය රැකවරණයෙන් මිදිලා තමන් කුටුම්බයක් හදාගෙන සමාජයත් එක්ක ඍජුවම ගැටෙන්න පටන් ගත්ත දවසට තමයි මිනිස්සුන්ට ජීවිතේ කියන දේ නිවැරැදිවම පෙනෙන්න පටන් ගන්නේ.

හැබැයි ඒ වෙනකොට තමන් කවදාකවත් ගෙවාගන්න බැරි තරමේ ණය ගොඩකට හිරවෙලා නම්, එතැනින් එහාට තවදුරටත් ඒ අලුත් ජීවිතේ තුළ රසවත්භාවයක් විඳින්න තරම්වත් සැනසිල්ලක් හදවත්වල රැඳෙන්නේ නැහැ.

කුමක් හෝ අහේතුවකට අලුතෙන් කසාද ජීවිතවලට එකතු වෙන තරුණ තරුණියන්ට මේ ‘වෙඩින් මාෆියාව’ ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ.

කවුරුහරි කෙනෙක්ට වියදම් කරලා ඉවරයක් කරගන්න බැරි තරමට සල්ලි තියනව නම් තමන්ගේ හිතේ හැටියට කසාදයට වියදම් කරනව කියන එක එක්තරා විනෝදයක් වෙන්න පුළුවන්. ඊට අමතරව කෙනෙක්ගේ ජීවිතයේ සැබෑ කරගත් එකම හීනය, ලස්සනම ලස්සන විවාහයක් විතරයි. එතැනින් එහාට ජීවිතය ගැන අරමුණු අවම නම් එතැනදිත් කප්පරක් බරට ලෝකෙටම ණය වෙලා මඟුල් කෑවට කමක් නැහැ.

එහෙම නැතුව විවාහයෙන් පස්සේ සාමාන්‍ය ජීවිතයක් බලාපොරොත්තු වෙන මිනිස්සු විවාහය එක දවසක සැමරීමක් වෙනුවෙන් අනවශ්‍ය ණය බරක පැටලෙනවා කියන්නේ ජීවිතයේ සියලු රස එක වීදුරුවකට දාගෙන ඊට නීරස වස බිඳුවකුත් එකතු කරගත්තා වගේ තමයි .

විවාහය වෙනුවෙන් දරාගන්න බැරි තරමේ ණය ගොඩක හිරවෙලා එක දවසක් ලෝකයා සතුටු කරලා එදා රෑ ඉඳලා දෙන්නා එක්ක දුක් ගඟක ගිලිලා ගොඩ එන්න ක්‍රම හොයන එක තමයි වැඩියෙන්ම වෙන්නේ.

සමහරු ඉඩම් විකුණලා මඟුල් කනවා. තවත් සමහරු ගෙයක් ගන්න තියන සල්ලිවලින් මඟුල් කාලා ජීවිත කාලෙම කුලී ගෙවල් වල නැහෙනවා. තව කට්ටියක් ගන්න පුළුවන් හැම තැනින්ම ණය වෙලා මඟුලට වියදම් කරලා ඒ ණය ගෙවාගන්න තව තව ණයවල පැටලිලා ජීවිතේම ණයක් කරගන්නවා. තවත් අය කසාද බැඳලා දරුවෝ ලැබිලා දරුවෝ බඳින කාලේ වෙනකන්වත් වෙඩින් ඇල්බම් එක ගන්න බැරි වෙලා ඉන්නවා. සමහර වෙලාවට දරාගන්න බැරි ආර්ථික ප්‍රශ්න නිසාම දෙන්න දෙමහල්ලෝ අතර තිබ්බ ප්‍රේමය පළුදු වෙලා ආදරය අවම වෙලා පවුල් ජීවිත අවුල් වෙලා උපදේශනයට එන අවස්ථා ඕන තරම් තියනවා .

ආදරේ කරලා පෙරුම් පුරලා දෙන්නෙක් එක තැනකට එකතු වෙද්දී වඩාත්ම වැදගත් ආදරණීයන් එක්ක බෙදා හදා ගත්තට එකේ වැරැද්දක් නැහැ. හැබයි ඒ බෙදා හදා ගැනීම ඒ සතුට සැමරීම සිද්ද වෙන්නේ තමන්ගේ ජීවිතයේ ඉස්සරහට දශක ගණනාවක් උකසට තියල නම් ඒ තරම් අපරාධයක් තවත් නැහැ.

අනුන්ගේ හිත්වල පොඩි වෙලාවක මතකයක් වෙනුවෙන් ඔයාලගේ ජීවිතවල ලස්සන මතක රාශියක් මකා දමන්න කලින් තවත් සැරයක් හිතන්න.

විවාහය කියන කාරණාවේදී දෙන්නගේ අනාගතය සහ බලාපොරොත්තු ගැන හොඳින් හිතලා ඒ අනුව මංගල උත්සවය සැලසුම් කරන්න.

වෙඩින් එක දවසෙන් පස්සේ දවසෙත් ලස්සනට සැනසීමෙන් හිනා වෙලා ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් විදිහට ඔයාගේ ජීවිතයේ ලස්සනම දවස ලස්සනට සැලසුම් කරන්න .

එක දවසක් නිසා ජීවිතයම උකසට තියනවද මුළු ජීවිතයම ගැන සිතා එක දවසක් සැලසුම් කරනවද කියලා ආයේ ආයෙත් හිතලා බලන්න .

මඟුලකට ඔයාගේ මුළු ජීවිතයම කන්න ඉඩ නොදී විවාහයේ සතුට නියම සතුට අත්විඳින්න.

 අනිශා ජයකොඩි

Comments