
ජන සභා වැඩසටහන සහ රටේ ඉදිරි සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදි, මූලික වශයෙන් මෙහිදී ජනසභාව යනු කුමක්ද යන්න හඳුනාගත යුතුය. ජනසභාව යනු ගමක ජනතාවට සිය සංවර්ධන තීන්දු ගැනීමට ලැබෙන සුවිශේෂි අවස්ථාවකි. එහිදී ගමේ සම්පත් පදනම තේරුම් ගැනීමටත් ඒ අනුව තමන්ගේ ජීවනෝපාය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහාත් අවශ්‍ය යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමටත් ලැබෙන අවස්ථාවක් ලෙස මෙය විග්‍රහ කළ හැකිය. ඉතිහාසයේදී මීට පෙරත් සංවර්ධන ක්‍රියාවලින් යෝජනා වී ක්‍රියාත්මක විය. ඒවා ඉදිරිපත් වී තිබුණේ දේශපාලන නායකත්වයේ යෝජනා හෝ නිලධාරී යෝජනා ලෙසය. බොහෝ විට ප්‍රදේශයේ බලපෑම් කළ හැකි අය ප්‍රභූන් වැනි පිරිසකගේ මතය අනුව එවැනි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වූ බව අධ්‍යයනවලින් පෙනි යයි.
එහිදී ගමේ අවශ්‍යතා ඒ යෝජනාවලින් ඉටු වුණත් බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවිතවලට බලපාන තීරණාත්මක යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට ලැබෙන්නේ සීමිත ඉඩකඩකි. තමන්ගේ අවශ්‍යතා මත නොව වෙනත් අයකුගේ තීරණය ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කෙරෙන විට ඒවා පිළිගන්න ජනතාවට සිදු වෙයි. බදු ආදායම් ලෙස ජනතාවගෙන් එකතු වෙන අරමුදල් ඔවුන්ගේ සැබෑ වුවමනා සපුරා ගැනීමට යොදා ගත නොහැකි වීම ගැන දුක්ගැනවිල්ලක් නිරන්තර ජනතාව තුළ තිබිණි.
මෑත කාලීනව ජනතා සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් රටට අවශ්‍ය බවට වූ සංවාදය වෙනත් කිසිදු කලකටත් වඩා සමාජය තුළින් මතු විය. එය සිදු වන්නේ කොවිඩ් 19 ව්‍යසනයත් සමඟය. රටම බිඳ වැටී සෑම ක්ෂේත්‍රයක්ම බිඳ වැටී අඩපණ වීමත් සමඟ 2020 වසරේදී මේ විදිහට රට අඩපණ වීම කවුරුත් දන්නා කරුණකි. එය මෙරටට පමණක් නොව, මුළු ලෝකයටම බලපාන ලද කරුණකි.
එම තත්ත්වයට තනිව මුහුණ දීමට අපේ රටට අසීරු විය. සෑම ක්ෂේත්‍රයකම විශාල බිඳ වැටීමක් සිදු විය. එහිදී මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට පවා අසීරු තත්ත්වයක් විය. මේ අතර රටේ ජන ජීවිතය අඩාළ වීමත් සමඟ රටේ ලොකු කලබැගෑනියක් ඇති විය. ඇතැම්හු අරගලයකට එකතු විය. එහිදී ඔවුන්ට බලපාන ප්‍රශ්න විසඳා ගැනීමට පාර්ලිමේන්තුවෙන් පරිබාහිර තීරණ ගැනීමට සඳහා ඔවුන්ට දායකත්වය දිය හැකි වේදිකාවක අවශ්‍යතාව මතු කරන ලදි. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපති කරු ජයසූරිය මැතිතුමා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසකගේ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මේ ජනසභා සංකල්පය මතුවිය. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, විවිධ විද්වතුන් ඇතුළු මේ ගැන උනන්දු වූ පිරිස් සිය ගණනකගේ යෝජනා සාරාංශ ගත කර ඒ යෝජනා වූ කරුණුවලින් සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කර එය රජයට ඉදිරිපත් කිරීමට මෙම ව්‍යාපාරය විසින් පියවර ගන්නා ලදි. ඒ සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය යහපත් ප්‍රතිචාරයක් දැක්වීමත් සමඟ අද අපි කතා කරන ජනසභා ක්‍රමවේදය රටේ අත්හදා බැලීමට පසුබිම සකස් විය. මේ පිළිබඳ වඩා පුළුල් අර්ථයෙන් පැහැදිලි කළහොත් 2022 ඔක්තෝබර් 17වැනිදා අමාත්‍ය මණ්ඩලය ජනසභා සංකල්පයකට මූලික එකඟතාව ලබා දෙන ලදි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කරන ලද සංකල්ප පත්‍රිකාව අනුව ඉදිරියට ක්‍රියත්මක වීමට ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබා දෙන ලදි. ඒ සංකල්ප පත්‍රිකාව වැඩි දියුණු කිරීමටත් ඒ අනුව කෙටුම්පත් පනතක් ඉදිරි පත් කිරීමටත් එහිදී තීන්දු කෙරිණි.
පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මූලික හේතු සාධකය වන්නේ මේ ක්‍රියාවලිය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පදනම සැකසීමටය. එනම් එයට අවැසි නීතිමය බලයක් ලබා දීමටයි. නොඑසේ නම් ග්‍රාමිය ප්‍රජාවට තමන්ට බලපානු ලබන නිවැරැදි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට බලයක් නැතිවීම මෙන්ම සුපුරුදු ආකාරයට වෙනත් අය තීන්දු කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක වීම්වලට අකමැත්තෙන් හෝ එකඟ වීමය. එහිදී ග්‍රාමිය ජනතාගේ ප්‍රශ්න යටපත් වී තිබිම නැවත වරක් සිදුවීමය.
ඒ අනුව රටේ අනාගතයේ සාමාජීය දියුණුව තීරණ කර ගැනීමට ඒ අයට ඉඩ ප්‍රස්ථා හිමි නොවනු ඇත. එය වෙනත් ආකාරයකට විග්‍රහ කළහොත් නැවතත් කොවිඩ් 19 වැනි වසංගතයක් හෝ එවැනි වෙනත් කම්පනයක් ඇති වුවහොත් එවැනි ව්‍යසනයක් ඉදිරියේදී නැවත රටක් ලෙස ඇද වැටිමක් සිදු වනු ඇත.
ජන සභා ක්‍රියාත්මක වීමෙන් සිදු වන්නේ ඒ ගමේ පවතින සම්පත් පදනම නිවැරැදිව හඳුනාගන්නත් ඒ සම්පත් පදනම අනුව තම ගම දියුණු කර ගැනීමට අවැසි සංවර්ධන යෝජනා හදුනා ගැනීමටත්, ඒවා ප්‍රමුඛතා අනුව පෙළ ගස්වා ගැනීමටත් ඉඩ ප්‍රස්ථා හිමි වෙයි. එසේ ප්‍රමුඛත්වය ලකුණු කරන ලද යෝජනා අනුපිළිවෙළින් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලබා දීමට අදාළ අමාත්‍යංශ, පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනවලටද යොමු කිරීමේ හැකියාව ඇත.
එය සිදු වන්නේ සෑම වසරකම මේ සංවර්ධන යෝජනා හඳුනා ගෙන ඒවා පිළිවෙළින් පෙළ ගස්වා ගැනීමට ඒ වසමේ සිටින රජයේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව මතය. එය ජනසභාවට සහාය වන නිලධාරි කමිටුවයි. එහිදි ජනසභාව යනුවෙන් මෙහිදි හඳුන්වන්නේ එම වසමේ සිටින අවුරුදු 16වැඩි සියලු ජනතාවගේ එකතුවයි. ඒ අය එකතු වී තමන්ගේ ගම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කාරක සභාවක් පත් කර ගනු ලබයි. උපරිම වශයෙන් එහි 25 දෙනකුට නොවැඩි විය යුතුයි. ඒ ඒ වසමේ තත්ත්වය අනුව එය තීරණය වෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ ජාති, ආගම්, පක්ෂ කුල භේද නොසලකා සමානව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තීන්දු ගත හැකි පිරිසක් පත්වීම සහ පත් කර ගැනීම සිදුවෙයි.
එහිදී කිසිවකුට සිය ජාතිය ආගම කුලය විශේෂයෙන් පක්ෂ යන සාධක අනුව බලපෑමක් නොවන ආකාරයට අපක්ෂපාතිව සාධාරණව මේ සඳහා පත් කර ගැනීම ජනසභාවේ සම්මුතියෙන් හැකිවෙයි. ඉදිරිපත් කෙරෙන පිරිස වැඩි වුවහොත් අහඹු තේරීම් ක්‍රමයකට කළ හැකිය. එනම් තුණ්ඩු ඇදීම වැනි ක්‍රමයකින් කළ හැකි කිසිදු බලපෑමකින් තොරව එම තෝරා ගැනීම කළ හැකියි. එපමණක් නොවෙයි. වසම වෙනුවෙන් තීන්දු ගැනීමේ ක්‍රියාවලියට තරුණ ප්‍රජාවට සහ කාන්තාවන්ට අනිවාර්ය ඉඩක් දීම මේ ක්‍රියාවලිය තුළ සිදු වෙයි. කාන්තාවන්ට 30% ප්‍රතිශතයකුත් තරුණයන්ට 25% අවස්ථාවක්වත් අවම වශයෙන් දිය යුතුය.
එසේ මේ පිරිස් වලට ප්‍රමුඛ නියෝජනයක් ලබාදීමෙන් අපේක්ෂා කරන්නේ තමන්ගේ ගම්බිම් දියුණු කිරීමට මුල්වන්නේ තරුණ පෙළට සහ කාන්තාවන්ට ඉඩක් ලබා දීම අවශ්‍යම කරුණක් හෙයිනි. තරුණ ප්‍රජාවගේ මැසිවිල්ලක් වි තිබුණේ ද ඔවුන්ව රටේ කළමනාකරණ ක්‍රියාවලියෙන් ඉවත් කර තැබීම අසාධාරණයක් බවයි. එසේ ම කාන්තාවන්ට රටේ කළමනාකරණ ක්‍රියාවලියට ඇති ඉඩ ඉතා සීමිත බව නිතර අසන්නට ලැබෙයි. තවද පරිදියේ ජනතාවට වන හානිය පිළිබඳ අධ්‍යයන ගණනාවකින්ද පැහැදිලි වී ඇත. මේ තත්ත්වයට පිළිතුරු සෙවීමද ජනසභා ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණක් වි ඇත. මේ රටේ අනාගත සංවර්ධනය සඳහා දායක විය හැකි ඇතැම් බලවේග එම ක්‍රියාවලියෙන් ඉවත් කර තිබීම වැනි කරුණු ගැන ද මෙහිදී තොරතුරු අනාවරණ වෙයි. ඒ ගැටලු ගණනාවකට මෙම ක්‍රියාවලිය තුළින් මනා පිළිතුරු ලැබෙයි.
කෙසේ වෙතත් මෙවැනි වැඩපිළිවෙළක් පිළිබඳ මීට වසර දහයකට පෙරත් යෝජනා වී තිබිණි. එය ග්‍රාම සභා නමින් වැඩපිළිවෙළකි. එහෙත් එම යෝජනාවලට වඩා මේ යෝජනා ඊට වඩා වෙනස් වෙයි. මේ වැඩපිළිවෙළ පනතකින් බලගන්වනු ලබන වැඩපිළිවෙළක් ලෙස ඊට වඩා නෛතික රාමුවක් සකස් කර ඇත. එසේ ම මේ තුළ ප්‍රභූ බලපෑම් නිලධාරි බලපෑම් මෙන්ම දේශපාලන අධිකාරීවාදය වැනි දේවලට ඉඩකඩ නොමැති වෙන ආකාරයට ගමේ සැබෑ අවශ්‍යතා නිවැරැදිව හඳුනාගැනීමට හා අදාළ ආයතන ලවා ක්‍රියාත්මක කරවා ගැනීමට ඇති ඉඩකඩ මෙහිදී සුවිශේෂ වෙයි. මේ ක්‍රියාවලිය සඳහා නීතිමය බැඳීමක් පවතී. ජන සභාව සම්මත කරන ලද නිවැරැදි යෝජනා නිලධාරී කමිටුවේ ඒ ඒ ආයතනවල දත්ත තොරතුරු මඟින් වඩාත් නිවැරැදි වී ප්‍රාදේශීය ලේකම් මට්ටමේදී තවදුරටත් පෝෂණ කර දිස්ත්‍රික්ක මට්ටම දක්වා ඉහළ තලයට යොමු කරනු ලබයි. එහිදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමේ සංවර්ධන සැලසුමක් ලෙස එයට ලැබෙන අගයත් ඒ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ආර්ථික ඒකකයක් ලෙස හඳුනා ගැනෙන සංවර්ධන ප්‍රමුඛතාත් දිස්ත්‍රික් සැලසුමට දායක වෙයි. මේ ආකාරයට සකස් වන දිස්ත්‍රික් සැලසුම ආයෝජන සැලසුමක් ලෙස වැදගත්කමක් අත්කරගනු ලබයි. ඒවා ඒ ඒ ක්ෂේත්‍ර භාර අමාත්‍යාංශවලට යොමු වෙයි. එහිදී එම යෝජනා ප්‍රමුඛතා ලෙස ගෙන ඒ ඒ අමාත්‍යාංශවල වාර්ෂික ප්‍රතිපාදනවලින් එම යෝජනා ඉටු කිරීමට බැඳීමක් ඇති වෙයි. එය නීතිමය බැඳීමකි. එය නොසලකා හැරිය නොහැකිය. යම් හේතුවකට එම සැලැස්ම අනුව සහ එම ප්‍රමුඛතා අනුව මුදල් වෙන් කිරීමට නොහැකි සාධාරණ කරුණ නම් ඒ බව පෙරළා එම ජන සභාවට දැනුම් දීමට බැඳීමක් මෙම වැඩපිළිවෙළ තුළ තිබීම මෙම වැඩපිළිවෙළෙහි විශේෂත්වයකි. මේ වර්ෂයේ එම යෝජනාව ඉටු කිරීමට නොහැකි වන යම් බැඳීම් පවතින්නේ නම් ඊළඟ අයවැයෙන් හෝ වෙනත් ආකාරයකට ඊට ප්‍රමුඛත්වය දීම ගැන විකල්ප යෝජනා දිය යුතුව තිබේ.
එසේ ම මෙම පනත තුළ නීතිමය බැඳීම් පවතින්නා සේම එම බැඳීම් කඩා දැමීමට එරෙහි නීතිමය පියවරයන් ද යෝජනා වෙයි. ඒ නිසා මේ ඓතිහාසික අවස්ථාව රටේ සංවර්ධන ක්‍රියාවලිය දීප්තිමත් කර ගැනීමට නිවැරැදි මඟට ගැනීමට රටට ලැබෙන ලොකු අවස්ථාවකි. ඓතිහාසිකව සිදුවූ වරදක් නිවැරැදි කර ගැනීමට මේ යුගයේ දේශපාලන නායකත්වයේ සිටින පක්ෂ විපක්ෂ කිනම් දේශපාලන නායකත්වයකට වුව ද ලැබෙන මේ අවස්ථාව සුවිශේෂ වෙයි. ඒ වගකිව යුතු පාර්ශ්ව සතුටින් මේ ඓතිහාසික පියවර අනුමත කරනු ඇති බව අපි කාගේත් විශ්වාසය වෙයි. එසේ නොකොට මේ සම්පත් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන විභවය රටේ අනාගත යහපත වෙනුවෙන් යෙදවිය නොහැකි වෙයි. පටු ආකාරයට මේ ප්‍රශ්නය දෙස බැලීමට තරම් දුර්වල තත්ත්වයකට වැටීමට කිසිවකු කැමැති නොවනු ඇත.
එසේ නම් 2022 ඔක්තෝම්බර් 17 වන දින රජය ප්‍රතිපත්තියක් ලෙස ජනසභා සංකල්පය පිළිනොගනු ඇත. ඒ නිසා මේ වැනි ප්‍රගතිශීලි යෝජනාවක් අනුමත නොකර සිටීමට උත්තරීතර පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.