කිලෝමීටර් 800ක් - දවස් 46ක් තිස්සේ පා ගමනින් කතරගම එන වේල්සාමිගේ පිරිවර | Page 3 | සිළුමිණ

කිලෝමීටර් 800ක් - දවස් 46ක් තිස්සේ පා ගමනින් කතරගම එන වේල්සාමිගේ පිරිවර

ළි උපන්නාක් බඳු හැඟීමක් විඳිමි. ඔකඳ දේවාල භූමියේ ගැඹුරු ශාන්තිමත් පරිසරය මහා සජීවී බවකින් පිරී ගොස් ඇත. දිරා යමින් ඇති පංචස්කන්ධය සරසන නිස්සාර සාටෝපයන්ගෙන් මිදී ගුරු පැහැති වස්ත්‍ර සහිතව නිරුවත් දෙපා මහ පොළොව මත සැහැල්ලුවෙන් තබමින් සොබා දහමේ යථාව ස්පර්ශ කරන සැදැහැවත්හු දිවයිනේ නන් දෙසින් දෙවියන් දකිනු රිසිව යන මේ ගෞරවනීය පාද යාත්‍රාවට ඔකඳ දේවාල භූමියට ඇදෙමින් සිටිති. එහෙත් මේ පෞරාණික ජීවන සම්ප්‍රදාය සහිත පාද යාත්‍රාව පුරා දින 46ක් තිස්සේ දිවෙන දැවැන්ත ප්‍රතිපදාවකි.

පාද යාත්‍රාව ආරම්භ කරන්නේ යාපනයෙනි. යාපනයේ සිට කතරගම දක්වා කිලෝ මීටර 800ක පමණ දුරක් දුර්ග මං පෙත් ඔස්සේ පැමිණෙන බැතිමතුන් මෙවර එම පාද යාත්‍රාව ආරම්භ කර තිබුණේ ඉකුත් මැයි මස 06 වැනි දිනය. ඒ යාපනය තොණ්ඩමනාරු සෙල්වශාන්ති මුරුගන් හින්දු කෝවිලෙනි. එය පේදුරු තුඩුවට බටහිර දෙසින් සමුද්‍රාසන්නව පිහිටි මනරම් කෝවිලකි. 

මාස දෙකක් පමණ මත්ස්‍ය මාංසයෙන් වැළැකී පේවි ගුරු පැහැති වස්ත්‍ර දරාගෙන ඔවුන් මේ ගමන අරඹා ඔකඳ දේවාලයට එන විට කිලෝ මීටර 650කට ආසන්න දුරක් ගෙවා හමාරය. ඔවුන්ට මෙය වීර චාරිකාවක් නොවේ. දෙවියන් සඳහා කරන අාධ්‍යාත්මික පූජාවකි. මේ පාද යාත්‍රාවේ අාධ්‍යාත්මික හරය රූපණය වන්නේ ඔවුන්ගෙනි. ගමනේ සමුද්‍රාසන්න දුෂ්කරම ශුෂ්ක කලාප පසු කර එන්නේ ඔවුන්ය. තොණ්ඩමනාරු, කිලිනොච්චි, මුලතිව්, වැලිඔය, තිරියාය, කුච්චවේලි, ත්‍රිකුණාමලය, කින්නියා, තෝපූර්, වෙරුගල්, කතිරවේලි, කල්කුඩා, එරාවුර්, මඩකලපුව, කල්මුනේ, සයින්දමරුදු, අක්කරෙයිපත්තු, තිරුක්කෝවිල්, පොතුවිල් පානම හරහා මේ බැතිමත් පිරිස ඔකඳ දේවාලය වෙත පැමිණෙති. චණ්ඩ හිරු රැසින් අවට රත් වූ වැලි තලා පසුකර, කටු පඳුරු වන ළැහැබ හරහා දුර්ග මං පෙත් ඔස්සේ පැමිණෙන මේ ගමන යා හැක්කේ දෙවියන් දකිනු රිසිවූ මහත් සිත් ඇති මනුෂ්‍යයන්ට පමණක් බව සිතමි.

යාපනයෙන් පැමිණි ඒ බැතිමත් පිරිසක් ඒ වනවිටත් ඔකඳ දේවාල භූමියේ වෙති. ඔවුන්ගේ මුහුණුවල ඇත්තේ නිවී ගිය උපශාන්ත ලකුණුය. කුඩා දරුවන්ගේත්, වියපත් වැඩිහිටියන්ගේත් දෑස්වල විඩාවක සේයාවකුදු නොවේ. මේ ගමනට එක් වී සිටින කිරි දරුවන් සහිත තරුණ මවුවරුන්ගේ දසුන් මා තිගැස්සීය. කිසිම අතුරු අන්තරාවක් නොවන බවට වූ මහා විශ්වාසයක් සහිතව මේ මිනිස්සු මේ ගමන පැමිණ සිටිති.

මේ ගමන ආරම්භ කරන කණ්ඩායමේ ප්‍රධාන අාධ්‍යාත්මික නායකයා වේල් සාමි ය. එතුමෝ ගමන ආරම්භයට පෙර මේ ගමනට අවශ්‍ය පූර්ණ රැකවරණය පතා කතරගම දෙවියන්ට භාරයක් වෙති. ගමන ආරම්භ කළ පසු දෙවියන්ට කැප කළ පූජනීය වේලායුධය ද සහිතව ඔහු ගමන් කරයි. වේල්සාමි ගමන ආරම්භ කර දීමෙන් අනතුරුව පිරිස් සිය චාරිකාව ආරම්භ කරති. මෙම කණ්ඩායම් ලැගුම් ගන්නා ප්‍රධාන ස්ථානවල පූජනීය වේලායුධය තැන්පත් කිරීම සඳහා කොළ අතුවලින් කුඩා දේවාලයක් ඉදිකිරීම මුලින් යන පිරිස් විසින් සිදු කරනු ලබති.

ඔකඳ දේවාල භූමිය පාද යාත්‍රාවේ දෙවැනි කොටස අරඹන ස්ථානයයි. ධාරිතාවට ප්‍රමාණවත් නොවුණද විධිමත් වැසිකිළි පද්ධතියක්, කුඩා ජංගම රෝහලක්, ආහාර බෙදා දෙන දන්සල් කීපයක් භූමිය තුළ වේ. මේ දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වේ. මේසා විශාල ජනතාවක් එක්රොක් වන තැනක සෞඛ්‍යාරක්ෂාව, වසංගත පාලනය උපරිම අයුරින් මේ සෞඛ්‍ය නිලධාරීහු සිදු කරති. ලාහුගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එස්.පුනිදරාජන් අප සමඟ කතා කළේ කාර්යබහුල බව අතරේමය.

“සෞඛ්‍ය පහසුකම් වගේම දන්සල් ගැනත් අපි ඉතාම සැලකිල්ලෙන් බලනවා. කුමනට යනතුරු දන්සල් දෙන්න පුළුවන් ඔකඳ දේවාලයේ විතරයි. ඒ අවසරය ලැබෙන්නේ විධිමත්ව අපට ඉල්ලීමක් කරලා ලියපදිංචි වුණාට පස්සේ අපේ අධීක්ෂණය යටතේ පමණයි. ඒ වගේම මේ මොහොත වනතුරු අපට වසංගත රෝග තත්ත්ව වාර්තා වෙන්නේ නෑ. මැසි මදුරු උවදුර අවම කරන්න ඔකඳ දේවාලය අවට අපි දවසකට දෙපාරක් ධුමායනය කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ජන වහර අනුව ඔකඳ දේවාලය යනු කතරගම දෙවියන් ලංකාවට ගොඩබට තැනය. එතුමෝ වඩින්නේ රන් ඔරුවකිනි. රන් ඔරුව මිනිස්සුන්ගේ ඇසින් සඟවා තැබීම සඳහා ගල් ඔරුවක් බවට පත් කර ඇතැයි ජනවහරේ පැවසේ. මුහුදු සීමාවේ පෙනෙන ගල් තීරුව ඒ රන් ඔරුව යැයි සැලකේ. මිනිසුන් එය හඳුන්වන්නේ රන් ඔරු ගල ලෙසය. මේ වනවිට මේ ගමනට ඉන්දියාවෙන් පැමිණි විදේශිකයන් මෙන්ම දෙස් විදෙස් ප්‍රභූවරුන් ද එක්වෙමින් සිටිති. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් සේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද පාද යාත්‍රවට එක් වී සිටි බව සැල විය. මේ ගමනේ ඇති බහු සංස්කෘතික විවිධත්වය වර්ණනය කරනු පමණක් නොව, මිනිසුන් අතර මිනිසුන් ලෙස ඇති සමානත්වය ද විචිත්‍රවත් කරන අයුරු අත්දකිමි.

පාද යාත්‍රාවේ ප්‍රධාන ප්‍රවේශය ලෙස සැලකෙන්නේ කුමන වන දහනට ඇතුළු වීමය. මේ වන දොර විවෘත වන්නේ නැකතකටය. වන දහනට මුලින්ම ඇතුළු වන්නේ වේලායුධය රැගත් වේල් සාමිය. අනතුරුව සොබා දහමට හුරු ගුරුපැහැති ඇඳුමින් සැරසුණු බැතිමත් මිනිස්සු මහා වන දහන තුළ ගිලී යති. “හරෝ හරා” නාදය ද ඇසේ. දෙවියන්ට බැතිමතුන්ගේ ගමන දැන්වීම, වනසතුන්ට මිනිසුන්ගේ ගමන ගැන සන්නිවේදනය කිරීම, පේළියට යන නඩයේ ආරක්ෂාව තහවුරු කිරීම ඒ හඬේ අරමුණය. පාද යාත්‍රාවේ අවසන් ඉලක්කය කතරගම මහා පෙරහර දිනයට කතරගමට එක් වීමය. බොහෝ දෙනා කලින් පාද යාත්‍රාව සම්පූර්ණ කරන්නේ නම්, මහා පෙරහරට නොසිට සිය ගම්දොර බලා ගමන් කරති.

ඒ මහා හරිත වන වියන යට මහා සැනසීමක් දැනේ. වෙහෙස පිළිබඳ හැඟීමක් නැත. උස් පහත් භේදයක් නැත. කිසිදු වාර්ගික භේද නැත. පරිසරය තුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත මෙන්ම අභියෝගාත්මක තත්ත්වය තුළ සාමූහිකත්වයක් නිර්මාණය වනු දුටිමි. හැමෝම හැමෝටම උදවු කරති. කුමන වන දහන මැදින් වැටී ඇති ඒ ගමන කෙළවර වන්නේ මනරම් බගුරාවල විල්ලුවෙනි. හරිත විල්ලුව මැදින් ගංගාව ගලා ගෙන යයි. ඒ විල්ලුවම කුරුලු විමනකි. විසල් තුරු සෙව­‍ෙණහි තැනෙන කූඩාරමක රැය පහන් කළ යුතුය. මේ වනවිට පිරිසක් වේලායුධය තැම්පත් කිරීමට මණ්ඩපයක් තනති. මෙතැන් සිට ගමන කෙටි දුරකට සීමා වේ. වනජීවී සංරක්ෂණ බලධාරීන්ගේ මෙන්ම පළපුරුදු පාද යාත්‍රිකයන්ගේ අත්දැකීම් මත ගමන හවස තුන පමණ වනවිට නවතී. සවස 04 පමණ වනවිට වන දහන තුළ කිසිම සංචරණයක් නැත.

සවස හය වනවිට සියල්ලන්ම උයා පිහාගෙන ඇඟපත පිරිසුදු කරගෙන අවසන්ය. සවස හත වනවිට බොහෝ විට ආහාර අනුභවයත් අවසන්ය. ඉන්පසු ඇසෙන්නේ භජන් ගායනාය. මහා වනයට රාත්‍රී 8 යනු කෑලි කැපෙන තරම් කළුවරය. සියල්ලෝ නින්දට සැරසෙති. බගුරාවල යනු කිඹුල්ලු වැඩියෙන්ම ගැවසෙන තැනක් වුවද උන්ගෙන් ද කරදරයක් නැත. පාද යාත්‍රාව පටන් ගන්නා අවස්ථාවේදීම කතරගම දෙවි හාමුදුරුවො කිඹුල්ලුන්ට තහන්චියක් දමතියි බැතිමත්හු විශ්වාස කරති. එය කිඹුල් තහන්චිය ලෙස හැඳින්වේ. මෙම විල්ලුව වන සතුන්ගේ පාරදීසයකි. මේ සීමාවේ කොටියෙක් සැරිසරයි. වනජීවී නිලධාරීන් එම කොටියාව හඳුන්වන්නේ බාගූර් ලෙසය. බාගූර් මිනිස්සුන්ට බය සතෙක් නොවීම වනජීවි නිලධාරීන්ට ද ගැටලුවකි. එහෙත් ජනතාව රකින්නට සමූහයේ සිටින තරුණ පිරිසක් නිදි නොලබා රැය පහන් කරති. වනජීවිය මෙන්ම ආරක්ෂක අංශ ද අවට සිටින බැවින් අනාරක්ෂිත බවක් නොදැනේ. 

පසුදා ගමන ඇරඹෙන්නේ අලුයම හතර හමාරට පමණය. මේ ගමන නවතින්නේ කුඹුක්කන්ඔය, පුංචි කැබිලිත්තෙනි. මෙම භූමිය තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නුදුරෙහි වන මැද තාවකාලික නාවික හමුදා සහ හමුදා කඳවුරු දෙකකි. පුංචි කැබිලිත්තේදී විශේෂ පුද පූජා විධි පවත්වනු දුටුවෙමි.

ඉන් ඉදිරියට ඇත්තේ ඔකඳින් ගමන් ගත් මේ පාද යාත්‍රාවේ අතිශය දුෂ්කරම ගමනය. මේ මඟ වැටී ඇත්තේ හිසට සෙවණක් නොමැති ගිනිගත් වැලි තලාවක් මතිනි. හමා එන සුළං රැලිවල පවා ඇස් කෙවෙනි දවාලන දුහුවිල්ලකි. පා ගිනි ගත්වැලි තලාවේ එරී යද්දී ආයාසකර ගමනක යෙදුණෙමි. අසා ඇති ආකාරයට මේ වැලි මත සැඟවී විෂඝෝර සර්පයෝ වෙති. එහෙත් උන්ගෙන් කිසිවකුට හානියක් වූ බව නොදනිමි. ඒ වෙහෙසකර ගමන කෙළවර නාවල්අඩි බිම හමුවේ. සිංහල බැතිමත්හු මේ බිම ළිං තුන ලෙස හඳුන්වති. විසල් දම් ගස් පෙළක් මේ භූමියේ වේ. භූමිය පසෙක පැරණි දෙවොලකි. කිසිදාක අමතක නොවන සත්කාරයක් මෙතැනදී ලැබේ. ඒ ලංකාවේ කිසිම තැනක කිසිදා විඳින්නට නොහැකි තරම් මිහිරි ඖෂධීය තේ පානයකි. මේ සද් කාර්යය කරන්නේ මඩකලපුව මහරෝහලේ විශේෂඥ වෛද්‍ය අල්ලගෙයි ලතාහරන් විසින් පවත්වාගෙන යන ‍විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේම ආදරණීය මිනිසුන් විසිනි. වෛද්‍ය ලතාහරන්ගේ හමුවීම මේ ගමන සේම වැදගත් වටිනා අත්දැකීමක් සේ සිතමි. ඔහු මේ හදිසි ප්‍රතිකාර ඒකකය ළිංතුනෙහි පටන් ගන්නේ වර්ෂ 2014 දීය.

“මේ සද්කාරය පටන් ගන්න කලින් මමත් පිට පිට හය වතාවක් මේ පාද යාත්‍රාව කළ සාමිවරයෙක්. මේ ගමන අතරෙදි එක් අත්දැකිීමක් තිබුණා කුළු හරකෙක් ගහලා කෙනෙක් මැරුණා. තවත් කාන්තාවක් මැරුණා දිවියා කාලා. එතකොට මට හිතුණා වෛද්‍යවරයෙක් ලෙස මට තියෙනවා නේද වෙනස් භූමිකාවක් කියලා. ඒ සිතිවිල්ල තමයි අතිවිශාල බාධක ප්‍රමාණයක් මැද්දෙ මට සැබෑ කරගන්න පුළුවන් වුණේ.” ඔහු කියූ ලෙස තේ වතුර කෝප්පය සහ බේකරි විස්කෝතුව ලබා දීමට ඔහුට සිත් පහළ වූයේත් මේ ගමනේ දුෂ්කරම කොටස ගෙවා පැමිණෙන විට ඇතිවූ සිතිවිලිය.

මේ වනවිට රජයේ සහ ස්වේච්ඡා කණඩායම්වලත් සහයෝගය සහිතව විශේෂඥ වෛද්‍ය ලතාහරන් මහා සේවයක් ස්වේච්ඡාවෙන් කරන්නේය. මේ සද් කාර්යයට වෛද්‍යවරු 30ක් පමණ වෛද්‍ය ලතාහරන් සමඟ එක්වෙන අතර, ඔවුහු පැය විසි හතරේම මේ සද් කාර්යයේ යෙදෙති. තේ කොප්ප අසූදාහක් ලක්ෂයක් සකස් කිරීම, බේකරි විස්කෝතු හැත්තෑ දාහක් අසූදාහක් බෙදා දීම සෙල්ලමක් නොවේ. ඒ සියල්ල ප්‍රතිකාර විධිවලට අමතරවය. තවත් දිනයක් මෙහි විඩා හැරීමෙන් අනතුරුව ඉදිරියට යෑමට අපි තීන්දු කළෙමු. ඉදිරියෙන් යළිත් රූස්ස වන දහනය. එහි කිමිදීමට පෙර ගමනට සූදානම් විය යුතුය. කුමක් නිසාද යත් මේ ගමන වෙනදාට වඩා වැඩි දුරක් ගෙවා පැමිණි ගමනකි. කුඹුක්කන් ඔයේ සිට පොත්තන ළිං තුනට මේ ගමන එන්නට දුර වූයේය. ඒ යාල කලාප අංක දෙකේ ‘කලපු’ කිහිපයකම ජලය පිරී තිබීම හේතුවෙනි. මඩමේතොට-ඇඳකුඹුක-කිවුලඑළිය-හාල්පන්ඕඩේ-ඇත්ට්‍රැක්ම-පහළ ගජබාව-උඩ ගජබාව-වළස්කෙම හන්දිය-මහිරාව-පල්ලේපොත්තන-පොත්තන ආර පසුකර එන ගමනට එබැවින් කිලෝමීටර 12ක් පමණ වැඩිපුර එක් වූයේය. යාල වන දහන තුළ කිමිදෙමින් මෙතැන් සිට මැණික් ගඟ දක්වා යන ගමනට තවත් කිලෝමීටර් 16කි. මේ යන මඟෙහි කටුපිලආර පසුකළ විට හමුවන දන්සල පවත්වාගෙන යන්නේ දළදා මාලිගාවෙනි.

මේ ගමන සොබා දහමට අනුගතව සොබා දහමේ නියාම පිළිගෙන කළ යුතු චාරිකාවක් විය යුතු බව ඉකුත් 13 වැනිදා සවස වන අලි ප්‍රහාරයට ලක්ව මියගිය ත්‍රිකුණාමලය ඊච්චලම් ප්‍රදේශයේ සිට පැමිණි 63 හැවිරිදි තිලකම්මා රාසදොරෙයි කාන්තාව සනාථ කර තිබිණි. ඇය මේ අනතුරට ලක් වී තිබුණේ පොත්තන ළිං තුන රැඳී නොසිට සවස් යාමයේ කෙළින්ම යාල කලාප අංක 02 කැටගල්වළ, මැණික් ගඟ වෙත පැමිණීමට ගත් වැරදි තීරණය නිසා යැයි සිතුණි.

මැණික් ගඟේ දියවර සහිත දැකුම මහා අස්වැසිල්ලක් සහිත ප්‍රීතියක් ගෙන එන්නේය. ඒ ගමන අප නිමා කර ඇති බවට වන අප්‍රකට ජයග්‍රාහී හැඟීමක් සමඟිනි. මෙතැන් සිට ඇත්තේ එකම සංස්කෘතික මංගල්‍යයකි. මුරුතැන් පූජාවක් සහිතව විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන මනරම් සැනකෙළියකි. පසුදා මැණික් ගඟේ එකගොඩ වී කතරගම දේවාලයට ප්‍රවිශ්ට විය යුතුය.

මිනිසුන් පසු කර එන කිලෝ මීටර 92ක් පමණ වන වනජීවී රක්ෂිත භූමිය තුළ මේ පිරිස් නිසා සිදු වන හානිය අවම කරගැනීමට දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සිදු වූ බව කුමන ජාතික වනෝද්‍යාන භාරකරු අර්. ඒ. ජී. ඩී. සමරනායක අප සමඟ කීවේය.

මේ ගමන ආරම්භයේදී පානම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. කේ. තිලකරත්න කී කතාවක් සිහිවේ. තිස් පන් දහසක් හතළිස් දහසක් එකිනෙකා නොදන්නා, විවිධ පළාත්වලින් එන මින්සුන් අතරේ කිසිම කලකෝලාහලයක්, අපරාධයක්, අපචාරයක් වාර්තා වන්නේ නැත. ඇසෙන්නේ යම් ස්වාභාවික හදිසි අනතුරු අතළොස්සක් පමණි.

ඔහු කී දේ යළි සිහි කරමි. තවමත් දෙවියන් දකින ශික්ෂිත මිනිසුන් අප අතර සිටිති. ඒ සතුට මැද කරතගම දේවාලයේ ඝංඨා නාදය සිතින් අසමින් දෑස් පියා ගනිමි.



ඡායාරූප - සුලෝචන ගමගේ

Comments