අද අපේ ප්‍රමුඛ මාතෘකාව ජනක රත්නායකය. අප ජනක රත්නායක යන නම දන්නේ අවුරුදු 50ක පමණ සිටය. එනමින් කීර්තිමත් චිත්‍ර කතා ශිල්පියෙක් මේ රටේ සිටින අතර අද වන විට විශ්‍රාම සුවයෙන් කල්ගෙවන බව දැනගන්නට තිබේ. එක්දහස් නවසිය හැත්තෑව, අසූව සහ අනූ ගණන් වලදී ජනක රත්නායක නාමය සුපිරි වෙළඳ නාමයකි. එහෙත් එයින් පසු පහළ වූ ජනක රත්නායකලාගෙන් වැඩිදෙනා කොපියක් හෝ ව්‍යාජ වෙළඳ නාමයක් ලෙස අපි සලකමු. මේ අතරතුර මීට අවුරුද්දකට පමණ පෙර හිටි ගමන් තවත් ජනක රත්නායක කෙනෙක් මතු විය. ඔහු වූකලී මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදාගෙන, මහජන උපයෝගිතා කොමිසමෙන් පලවා හරින ලද ජනක රත්නායකය. අද අපේ කතුවැකිය මේ උන්නැහැ ගැනය.
එහෙත් ඊට පෙර මේ රටේ ආර්ථිකය කඩාවැටෙන කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඊයේ පෙරේදා දවසක කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපගේ මතය පැවසීමට අපට ඉඩ දෙන්න. අද තෙල් පෝලිම් නැත්තේ රජය විසින් රට පුරා තෙල් බෙදීම නිසා නොව, තෙල් ගැනීමට මිනිසුන් අත සල්ලි නැති නිසා බව නිවාඩ් කබ්රාල් කියා තිබේ. ජනතාව තෙල් භාවිතය අවම කර ඇතැයි ඔහු කියයි. ඔහු කියන තරමට මේ රටේ ජනතාව තෙල් පාවිච්චිය අඩුකර ඇත්නම් මහ පාරවල්වලදී අපට දැකගැනීමට ලැබෙනු ඇත්තේ කාර්වල නැඟ යන මිනිසුන් නොව ඒවා තල්ලු කරගෙන ගමන් යන මිනිසුන්ය. මෝටර් බයික් තල්ලු කරගෙන හැතැප්ම තිහ හතළිහ වැඩට යන මිනිසුන්ය. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ ඩොලරය බලහත්කාරයෙන් රුපියල් 205 තබාගෙන සිටි කාලයේදීය. ඒ කාලයේදී උණ්ඩියල් ඉතාම ප්‍රචලිත විය. බඩු මිල බඹ ලොව දක්වා නැඟි අතර සල්ලි තිබුණත් බඩු ගැනීමට බැරි බඩු හිඟයක් රට තුළ ඇති විය. ඩොලරය රුපියල් 205 තබාගැනීමේ පාපය පී. බී. ජයසුන්දරගේ පිට මත දමන්නට කට්ටිය සෙට් වී සිටිය ද එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට යාම කිසිසේත්ම වැළැක්වීමට නොහැකිය. හිටපු ගමන් ෂෙඩ්වලට තෙල් බෑමට පරක්කු වන අවස්ථාවලදී දීර්ඝ තෙල් පෝලිම් හටගනී. එහෙත් තෙල් ගෙනා සැණින් ඒවා මුදාහැරීමට හැකි නිසා තෙල් පෝලිම් වහා අතුරුදන් වෙයි.
දැන් අපි ජනක රත්නායක ගැන කතා කරමු. ඔහු බිස්නස්කාරයෙකි. ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් සර්විසස් ලිමිටඩ්, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් පී.එල්.සී, ට්‍රිලියම් රෙසිඩන්සීස් ප්‍රයිවට් ලිමිටඩ්, රෙන්ට් අ කොම් ප්‍රයිවට් ලිමිටඩ් යනාදිය ඔහුට අයිති දේපළය. රාජපක්ෂවරුන්ගේ පාලන කාලයේදී අපනයන සංවර්ධන මණ්ඩලය, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා, මර්චන්ට් ක්‍රෙඩිට් ශ්‍රී ලංකා, එම්.බී.එස්.එල්. සේවින්ග්ස් බෑන්ක් සහ එම්. බී. එස්. එල්. ඉන්ෂුවරන්ස් යන ආයතනවල සභාපති සහ ප්‍රධාන විධායක ලෙසද ඔහු වැඩකර තිබේ. ඔහුට හිමි ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසස් සමාගම රුපියල් බිලියන 1.7 වටින බව ප්‍රයිස්වෝටර් හවුස් කූපර්ස් සමාගම විසින් තක්සේරු කරනු ලැබ ඇත. ඔහුට හිමි ට්‍රිලියම් හෝටලයේ වටිනාකම ඩොලර් මිලියන 4.5 කි.
මේ කියන ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස පත්කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසිනි. ඉන් ස්වල්ප කලකට පසු එනම් ගෝඨාභයගේ ආණ්ඩුව පෙරළීමත් සමඟම ජනක රත්නායක යනු ව්‍යාපාරිකයකු පමණක් නොව සර්කස්කාරයෙක් බව ද අපට අවබෝධ විය. ඒ කාලයේදී ලයිට් කැපිල්ල සැරටම තිබුණි. ආණ්ඩුව ලයිට් කපන විට ජනක රත්නායක ඊට විරුද්ධ විය. ආණ්ඩුව විදුලි බිල වැඩිකරන විට ජනක රත්නායක එකඟ විය. ඊළඟට ඔහු බලශක්ති ඇමති කංචන විජේසේකර සමඟ ආරවුලක් පටන් ගත්තේය. එමඟින් අපට හැඟී ගියේ ඔහු රජය අපහසුතාවට පත්කිරීමේ දේශපාලන භූමිකාවකට සෙට් වී සිටින බවය. අන්තිමේදී ඔහු ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩුව හැඟවීය. එහෙත් ඔහු ඉල්ලා අස්වුණේ නැත. ඔහු අයින් විය යුතු බව යෝජනා කරන්නේ ආණ්ඩුව විසිනි. අන්තිමේදී පාර්ලිම්නේතු බහුතරයකින් ඔහු සිය තනතුරින් ඔහු නෙරපා හරින ලදී.
පාර්ලිමේන්තු බහුතරයකින් රත්නායක එළවා දැමීමෙන් පසු මෙහි රහස අනාවරණය විය. තමාට ජනාධිපතිවරණයට එන්නැයි කට්ටිය බලකරන බව ඔහු කියා ඇත. ජනාධිපති කේස් එක ඔළුවට ගැසූ විට එය පිස්සුවක් බවට පත්වේ. එසේ ජනාධිපති වීමට ප්‍රාර්ථනා කර තැන තැන අලවුණු නායකයෝ අද මේ රටේ සිටිති. ජනකට එවැනි විපතක් නොවේවා!
රජයේ සේවකයා යනු රජය සමඟ අප්‍රමාණ ලිඛිත සහ අලිඛිත බන්ධනයක් ඇත්තෙකි. මෙය හඳුන්වන්නේ සාමූහික වගකීම ලෙසය. මහජන උපයෝගිතා කොමිසම වෙනම රාජ්‍යයක් ලෙස පාලනය කිරීමට ඔහු පියවර ගෙන තිබිණ. අන්තිමේදී ආණ්ඩුව එය මුදාගත් ප්‍රදේශයක් බවට පත්කර ජනක රත්නායකව අතරමං කර ඇත. මෙතැන් සිට ඔහුට සිදුවන්නේ තම ගෙදර හෝ ස්වකීය ඉඩමක වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමටය.