ඔබත් ඔබේ සහකරුට මෙහෙම කියනවද? | Page 3 | සිළුමිණ

ඔබත් ඔබේ සහකරුට මෙහෙම කියනවද?

ඔයා විවාහ වෙලා ඉන්නවා නම් දෙන්නත් එක්ක එකට ජීවත් වෙන කොට පුංචි පුංචි රණ්ඩු, මත ගැටුම්, එකඟ නොවෙන තැන් එහෙම ඇතිවීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට එක්කෙනෙක් හිතාමතා නොකියන වචනයක් නිසා දෙන්නත් එක්ක රණ්ඩු වුණ අවස්ථාත් තියෙන්න පුළුවන්. හැබැයි දෙන්නත් එක්ක එකට ජීවත් වෙනකොට කියන සමහර වචන නිසා හිත රිදෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. කල් යනකොට මේ හිත් රිඳීම් හොඳ වුණත් ඒවායේ තුවාල කැලැල් හැමදාම තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් නොකියා ඉන්න. අද අපි මේ ලිපියෙන් අරගෙන ආවේ එහෙම නොකියා ඉන්න ඕන දේවල් 5ක් ගැනයි.

1.‘ඔයා නම් කවදාවත් හැදෙන කෙනෙක් නෙවෙයි’

ගොඩක් අය හිතන දෙයක් තමයි තව කෙනෙක් ළඟ ඇති කියලා හිතෙන නරක ගතිගුණ කාලයත් එක්ක වෙනස් වෙලා හොඳ කෙනෙක් වේවි කියන එක. සමහර වෙලාවට එහෙම වෙනස් වුණත් එහෙම වෙනස් වෙනවා කියලා හිතන එකම මෝඩකමක්. ෙහ්තුව තමයි බැන්ඳට පස්සේ ඉන්නෙත් පරණ කෙනාම තමයි. අන්න එතකොට නිතරම පුරුද්දක් විදියට කරන වැරැද්දක් සම්බන්ධයෙන් තමයි මේ වගේ කතාවක් කියවෙන්නේ. හැබැයි මෙහෙම කිව්වට කවදාවත් අනික් කෙනා වැරැදි හදාගන්නෙ නම් නෑ. 

2.‘කරුණාකරලා කට වහගන්න’

රණ්ඩුවක් වෙලාවේදී “කට වහගන්න” කියන එකෙන් අදහස් වෙන්නේ අනික් කෙනා කියන දේවල් සහ අනික් කෙනා හිතන දේවල් ඔයාට කිසිම වැඩක් නෑ කියලයි. ඒ වගේම අනික් කෙනාගේ අදහස්වලට හෝ හැඟීම්වලට ඔය දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළේ කිසිම ඉඩක් නෑ කියන එකත් ඒකෙන් අදහස් වෙනවා. රණ්ඩුවක් වෙලාවට අනික් කෙනාගේ කට වහලා දිනන්න හදනවා කියන්නේ ඒ සම්බන්ධතාවයේ කිසිම තේරුමක් නෑ කියන එකයි. ඇත්තටම වෙන්න ඕන දෙන්නගෙන් එක්කෙනෙක් කේන්තියෙන් ඉන්නවා නම් ඒ වෙලාවේ ඉවසිල්ලෙන් කටයුතු කරන එකයි. නැතිව බලහත්කාරය යොදලා ඒකෙන් දිනන්න හදන එක නෙවෙයි.

3.‘ඔයාට පිස්සුද?’

කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එක අපිට ඒ තරම් බරපතළ දෙයක් කියලා නොතේරුණාට ඒක කෙනෙක්ගේ මානසික තත්ත්වය අනුව ඒ කෙනාව පහළට ඇදලා දාන්න පුළුවන් වචනයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ යම් යම් විදියේ මානසික පීඩනයන් හෝ මානසික ආතතීන් එක්ක නිසා වෙන කෙනෙක්ගෙන් පිස්සුද කියලා අහන එකෙන් අපි ඒ කෙනාට ඉඟි කරන්නේ එයාට මානසික සංකූලතාවයක් තියෙන බවයි. ඒ වගේම ඒ මානසික සංකූලතාවය නිසා අපි එයාව පහත් කරන බවත් එයා හිතන්න පුළුවන්.

4.‘ඔයාගේ පෙනුම තව ටිකක් මෙහෙම වුණා නම් හොඳයි’

අපේ පෙනුම රූපලාවණ්‍ය පාවිච්චියෙන් හෝ ශාරීරික ව්‍යායාමවලින් යම්තාක් දුරකට වෙනස් කරගන්න පුළුවන්. ඒත් අපේ ඉන්ඳ්‍රියන්ගේ ප්‍රමාණය, සමේ පාට, මුහුණේ හැඩය වගේ දේවල් වෙනස් කරන්න ස්වභාවික ක්‍රමවලින් නම් බැහැ. අපි කෙනෙක්ව කසාද බැඳලා පෙනුම ගැන හෝ ඇඟේ එක එක දේවල් වෙනස් වුණා නම් කියලා හිතන එක හරිම නරකයි. ඒකෙන් වෙන්නේ එයාට තමන්ගේ පෙනුම ගැන දුකක් වගේම කලකිරීමක් ඇතිවෙන එක. සහකරු තරබාරුයි නම් ඇඟ ටිකක් කෙට්ටු කරගන්න වගේ ධනාත්මක උනන්දුවක් ලබාදෙන්න පුළුවන්.

5.‘අඬන්න, එච්චරයිනේ කරන්න පුළුවන්’

ගොඩක් දෙනෙක් පුංචි හිත රිදෙන දෙයක් වුණත් අඬනවා. තවත් සමහරු ඉන්නවා කිසිම දේකට අඬන්නෙ නෑ. හැබැයි ඒ මොනවා වුණත් අඬන එකෙන් සිද්ධ වෙන්නේ චිත්ත පීඩනයක් පිට කරන එකයි. හැබැයි ඒ වෙලාවට “තව අඬන්න, එච්චරයිනේ කරන්න පුළුවන්” වගේ දෙයක් කිව්වොත් හිත රිදෙනවාට අමතරව චිත්ත පීඩනය පිට කරන්න තියෙන මාර්ගයත් අහුරනවා. එහෙම වුණාම ඒ චිත්ත පීඩනය තව තව වැඩි වෙලා නොහිතන දේවලුත් වෙන්න පුළුවන්.

Comments